TT Ads

සත්‍ය ක්‍රියාවක් මගින් අපට ප්‍රාර්ථනාවක් හෝ තවත් කෙනකු වෙනුවෙන් ආශිර්වාදයක් කළ හැකිද යන්න පිළිබඳව අපි මීට පෙර කතා කළෙමු. මෙහිදී වඩාත් වැදගත් වන්නේ සත්‍ය ක්‍රියාවක් කිරීම සඳහා ඔබ විසින් ඉතා අවංකව මහත් කරුණාබර සිතකින් කරන ලද පුණ්‍ය ක්‍රියාවක් තෝරා ගැනීමය.

නමුත් සත්‍ය ක්‍රියාවක් කිරීම සඳහා ඔබ තුළ කිසිදු ගුණයක් නොතිබෙන්නට බැරි කමක් නැත. මෙයින් අදහස් කරන්නේ ඔබ කිසිදු යහපත් ක්‍රියාවක් මෙතෙක් කර නැති බවක් නොවේ. ඕනෑම නරක යැයි සම්මත පුද්ගලයකු වුවද සිය ජීවිතයේ යම් යම් අවස්ථාවල යහපත් ක්‍රියාවන් කර තිබෙන්නට පුළුවන. නමුත් මෙහිදී වැදගත් වන්නේ කරන ලද ක්‍රියාව පමණක්ම නොවේ. එම ක්‍රියාව කිරීමේදී ඇති වූ චේතනාවයි. සැබෑම කරුණාවකින් අනුකම්පාවකින් සහ අවංක චේතනාවකින් ඔබ එම ක්‍රියාව කර තිබිය යුතුය.

ඒ අනුව සත්‍ය ක්‍රියාවක් කිරීමට සුදුසු ගුණයක් ඔබ ළඟ නොමැති නම් එවැනි අවස්ථාවක තෙරුවන්ගේ ගුණවලින් එක් ගුණයක් ගැන හෝ එසේත් නොමැති නම් පන්සිල් පද පහෙන් එක සිල් පදයක් හෝ තෝරාගෙන “මම මෙතැන් පටන් මගේ ජීවිතයට මේ ගුණය එකතු කර ගන්නවා” යනුවෙන් තමන් තමන්ටම අවංක වී අධිෂ්ඨානයක් ඇති කර ගන්න. එය සත්‍ය ක්‍රියාවක් ලෙස කර ප්‍රාර්ථනාවක් හෝ ආශිර්වාදයක් කළ හැකිය. විවිධ රෝග පීඩා සහ නොයෙකුත් කරදර වෙනුවෙන් බාරහාර වීමද මෙයට සමානය. මෙලෙස තමන් තුළ මෙතෙක් නොතිබූ ගුණයක් මෙතැන් සිට ඇති කර ගන්නා බවට සපථ වෙමින් කරනු ලබන සත්‍ය ක්‍රියාවකදී ඉතා අවංකව සත්‍ය ලෙසින්ම එම ගුණය රැකිය යුතු වෙයි. නැතහොත් සත්‍ය ක්‍රියාවෙහි ප්‍රතිඵල ලැබීම අසීරු වනු ඇත.

 

  • ඇතැම් විට සත්‍ය ක්‍රියාවකින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබෙන්නේ ඇයි?

සත්‍ය ක්‍රියාවක් කිරීම සඳහා ඔබ විසින් කරන ලද යහපත් ක්‍රියාවක් තෝරා ගන්නා විට එම ක්‍රියාව කළේ සැබෑම අවංක චේතනාවකින්ද යන්න මුලින්ම සිතා බලන්න. “ඇත්තටම මං ඒක කළේ අවංකවද?” යනුවෙන් ඔබම ඔබෙන් ප්‍රශ්න කර ගන්න. මෙහිදී ඔබ තුළ ඔබේ අවංකභාවය පිළිබඳ මඳ හෝ සැකයක් ඇති වුවහොත් සත්‍ය ක්‍රියාව කරන මොහොතේදී එම සැකය ඔබේ සිතට වද දෙනු ඇත.

අපි මෙය තවදුරටත් නිදසුනක් මගින් පැහැදිලි කර ගනිමු.

කුසගින්නේ බලා හිඳින සුනඛයකුට ඔබ ආහාරයක් දුන්නේ යැයි සිතන්න. එම ආහාරයෙන් උගේ කුස ගින්න නිවෙන්නට ඇත. ඌ බොහොම සතුටින් ඔබ දුන් ආහාරය අනුභව කර ආපසු යන්නටත් ඇත. නමුත් ඔබ එම ආහාරය දුන්නේ ඌ ඔබ ආහාර ගන්නා දෙස බලමින් කෙළ ගිලින නිසා ඔබට බඬේ අමාරුවක් හැදේවි දැයි බියෙන්ද? එහෙම නැත්නම් “කෑම ටිකක් කන්නත් බෑ. කොහේ ඉඳල හරි මොහුනුත් එනව” යනුවෙන් නොරිස්සුම සහගත් හැඟීමකින්ද? එසේ නම් ඔබ අන් අයුරින් සතාගේ කුසගිනි නිවුණත් ඔබ ඒ ක්‍රියාව කර ඇත්තේ එම සතා කෙරෙහි සැබෑ කරුණාවකින් නොවේ. මෙවැනි තත්ත්වයකදී සත්‍ය ක්‍රියාව කරන අවස්ථාව වන විට “ඇත්තටම මට ඒ සතා ගැන තරහක් මිසක් කරුණාවක් ඇති වුණද?” යන සැකය ඔබට ඇති වනු ඇත. මෙහිදී සත්‍ය ක්‍රියාව සාර්ථක නොවීමට පුළුවන.
ඔබ තුළ ඇති කිසියම් ගුණ ධර්මයක් සත්‍ය ක්‍රියාව සඳහා තෝරා ගැනීමේදී එම ගුණ ධර්මයේ ස්වභාවය පුරුදු පුහුණූ කළ කාලය අනුව සත්‍ය ක්‍රියාවේ බලය වැඩිවෙයි.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ විශේෂයෙන් සිතා පින්කම් නොකරන කෙනෙකු විය හැකිය. නමුත් ඔබ සාමාන්‍ය ජීවිතයේදී අනුන්ට කරදරයක් අයහපතක් නොකරන කෙනෙකු නම් එයද සත්‍ය ක්‍රියාවක් කිරීම සඳහා තෝරාගත හැකිය.තව දුරටත් ඔබට මෙය පැහැදිලි කිරීම සඳහා මෙබඳු උදාහරණයක් ගනිමු. ඔබ සිල්ලර වෙළෙඳසැලක් පවත්වාගෙන යන අයෙකු යැයි සිතන්න.

“මං කවදාවත් දැන දැන මිනිස්සුන්ට නරක බඩු විකුණලා නෑ.”
“මං කවදාවත් හොරට බඩු කිරලා තරාදියෙන් වංචා කරල නෑ.”

ඔබට මේ අයුරින් ඔබේ ව්‍යාපාරය පිළිබඳව අවංකව සිතිය හැකිද? එවැනි ගුණධර්මයන් ඔබ ළඟ තිබේ නම් එයින්ද සත්‍ය ක්‍රියාවක් කිරීමට පුළුවන.

ඔබ විසින් කරන ලද යහපත් කර්මයන් නරක කර්ම මගින් යටපත් වී එම නරක කර්මයන්ම විපාක දෙමින් පවතින අවස්ථාවක සත්‍ය ක්‍රියාවක බලයෙන් එම නරක කර්ම යටපත් වී හොඳ කර්ම ඉස්මතු වී යහපත් විපාක දීම ආරම්භ විය හැකිය.

නමුත් කොපමණ සත්‍ය ක්‍රියා කළත් අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවන අවස්ථා තිබේ. එයට හේතුව කුමක් විය හැකිද?

ඔබ කර ඇති අකුසල කර්ම බලවත් නම් ඔබ අපේක්ෂා කරන යහපත් තත්ත්වය ළඟා කර ගැනීම සඳහා සත්‍ය ක්‍රියාවේ බලය ප්‍රමාණවත් නොවන්නට පුළුවන. එලෙස සත්‍ය ක්‍රියාවේ බලය බල ගැන්වෙන්නට නොහැකි අවස්ථාවක වුවත් සත්‍ය ක්‍රියාව මගින් ඔබට පිහිටක් ආශිර්වාදයක් හිමි වන බව අමතක කළ යුතු නොවේ.

මේ නිසා සත්‍ය ක්‍රියාව අත හැර නොදමා දිගින් දිගටම කරගෙන යන්න. සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට මෙය දැනෙයි. එවිට එම දෙවිවරුන් ඔබට උපකාර කරනු ඇත. “මං කරලා තියෙන පව්වලට මට සත්‍ය ක්‍රියා කළාට වැඩක් වෙන්නේ නෑ” යනුවෙන් සිතමින් මන්දෝත්සාහී නොවන්න. දිනපතා බුදුන් වැඳ සත්‍ය ක්‍රියාවක් කරන්න. එවිට කාලයක් ගත වන විට ඔබ කළ අකුසල කර්ම ගෙවී ඔබ අපේක්ෂා කළ යහපත ඔබට උදා වනු ඇත.

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ

සැකසුම – ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>