TT Ads

පහුගිය සතියේ ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුව තුළදී හිටපු ඕස්ටේ‍්‍රලියානු අගමැතිනි ජූලියා ගිලාඞ් විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකුට ”ස්ත‍්‍රී විරෝධියා” කියමින් ප‍්‍රසිද්ධියේ නිග‍්‍රහ කරනු ලැබුවා. ඇය එහෙම කළේ අදාල මන්ත‍්‍රීවරයා විසින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡුාවකදී කාන්තාවන්ට අපහාස වන අන්දමේ කරුණු කීපයක් ඉතාම අශෝභන ලෙස ඉදිරිපත් කිරීම නිසායි. ඉන් දවස් කීපයකට පස්සේ ඇගේ සහකරු වන ටිම් මතීසන් සමග ”නිව්ස් බයිට්ස්” වෙබ් අඩෙවිය මේ සිදුවීම ගැන කතා කරනු ලැබුවා.
පාර්ලිමේන්තුවේ දී මන්ත‍්‍රීවරයෙකුට නිග‍්‍රහ කරන්න ගිලාඞ් පාවිච්චි කළ වචන සුදුසුයි ද?
ඔබට පුළුවන් නම් ඊට කලින් මට කියන්න අදාල මන්ත‍්‍රීවරයා ප‍්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ කාන්තාවන්ට අපහාස කරන්න පාවිච්චි කළ වචන සුදුසුයි ද කියලා.
ඇය ඔබේ බිරිඳ නිසා ඇයව බේරා ගන්න ද එහෙම අහන්නේ?
අංක එක, ඇය මගේ බිරිඳ නෙවෙයි සහකාරිය. අංක දෙක ඇයව බේරා ගන්න ඕනෙ මොනවයින් ද කියලා මට පැහැදිලි නැහැ.
ඇය නිර්භීත කාන්තාවක් විදියට ද ඔබ දකින්නේ?
කොහෙත්ම නැහැ. නමුත් ඇයට අසාධාරණයට විරුද්ධ කතා කරන්න පුළුවන් විදියේ ධෛර්යයක් සහ පෞරුෂයක් තියනවා. කාන්තාවක් නිර්භීත විය යුතු නැහැ. ධෛර්යමත් වීම ප‍්‍රමාණවත්.
කලින් ඔබ කිව්වා ඇය ඔබේ බිරිඳ නෙවෙයි සහකාරි කියලා. මොකක්ද ඒකේ තේරුම?
බිරිඳ වෙන්න නම් විවාහයක් සිදු වෙන්න ඕනෙ. අපි විවාහ වෙලා නැහැ.
හේතුව?
දෙන්නෙකුට ආදරය කරන්න, දුක සැප බෙදා ගන්න විවාහ වෙන්න ඕනෙ නැහැ. අපි පොතක අත්සන් කරන්නේ නැතිව වුණත් එකම ගෙදරක ඉතාමත් හොඳින් ජීවත් වෙනවා.
ඒක කාගේ යෝජනාවක් ද?
2004 අවුරුද්දේ අපි මුණ ගැහුණු කාලෙ ඉඳලාම අපිට විවාහ වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒ වගේම දරුවන් ලබන්න ඕනෙ කියලා හිතුවෙත් නැහැ. එකිනෙකාට ගරු කරමින් ඇහුන්කම් දෙමින් ජීවත් වෙන්න අවබෝධය පමණක් තිබීම ප‍්‍රමාණවත්.
ඔබ ඇගේ කොණ්ඩය කපන කරණවෑමියා නිසා ඇයට ඔබව සැමියා කරගන්න ඕනෙ වුණේ නැහැ කියලා මම කිව්වොත්?
ගිලාඞ්ගේ සහකරු සැලොන් එකක කොණ්ඩය කපන කරණවෑමියෙක් කියලා නොදන්න කෙනෙක් ඉන්නවා කියලා මම නම් හිතන්නේ නැහැ. ඉතින් ඇයට මම සැමියා ද සහකරුද කියන එක අදාල වෙයි ද?
ඇය පුංචි කාලෙ ඉඳලාම විවාහ වෙන්න සහ දරුවන් හදන්න කැමති කෙනෙක් නෙවෙයි කියන එක ප‍්‍රසිද්ධ කාරණයක් නේද?
ඇය මට එහෙම දෙයක් කියලා නැහැ. නමුත් ඇය මන්ත‍්‍රීවරියක ලෙස තේරීපත් වුණු අලූත ඇගේ අම්මා මාධ්‍යයට එහෙම දෙයක් කියලා තිබුණා. විවාහය කියලා කියන්නේ ආදරයටම නෙවෙයි. දරුවන් කියලා කියන්නේ අපේ තෝරා ගැනීමක් නෙවෙයි. නමුත් ආදරය කියලා කියන්නේ අපේ තෝරා ගැනීම. ඉතින් ඇය මගේ තෝරා ගැනීම සහ මම ඇගේ තෝරා ගැනීම.
ඇය නිරාගමිකයෙක්. ඒ නිසාද ඇය හැම ආගමකටම අපහාස කරන්නේ?
ඔබට පුළුවන් ද කොතැනක හෝ ඇය ආගමකට අපහාස කරපු අවස්ථාවක් ගැන මට මතක් කරලා දෙන්න. ඇය හැම තිස්සේම කියන්නේ ඇය දෙවියන් ගැන විශ්වාස කරන්නේ නැහැ කියලා විතරයි. ආගමකට අපහාසයක් කරනවා මම නම් අහලා නැහැ.
වරක් ඇය ආගමික විශ්වාසයන් ගැන ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් නිකුත් කළා?
ඔව්. ඇය කිව්වේ ”මම ආගමික විශ්වාසයන්ට ගරු කරනවා. හැබැයි ඒවා මගේ විශ්වාසයන් නෙවෙයි” කියලයි. එතන අපහාසයක් හෝ පහර ගැසීමක් තියනවා ද?
ඇය ඔබේ සැලොන් එකට එන්නේ දේශපාලනය කරන්න කලින් ඉඳලාද?
ඇයට වෘත්තීය කොණ්ඩා සැකසුම් ශිල්පියෙකුගේ වුවමනාව ඇති වෙන්නේ දේශපාලනයට ගියාට පස්සේ. ඊට කලින් ඒක කර ගත්තේ ඇය විසින්මයි. වෘත්තීය කොණ්ඩා සැකසුම් ශිල්පියෙකු විදියට තමයි මම ඇයට හමු වෙන්නේ.
ඔබ ඇයට විවාහ යෝජනාවක් කරන්න කැමති නැද්ද?
දවසක් මම වැඩ කරන සැලෝන් එකේ මම ඇගේ කොණ්ඩය සකස් කරමින් ඉද්දි ඇගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළා. ඒ වෙද්දි අපි වෘත්තීය මට්ටමේ දෙන්නෙක් විතරයි. එතකොට ඇය කිව්වා විවාහය කියන්නේ ඇය කතා කරන්න අකමැතිම මාතෘකාවක් කියලා. ඉන් ටික කාලෙකට පස්සේ අපි පෙම්වතුන් වුණා. මේ වෙද්දිත් අපි පෙම්වතුන්.
පෙම්වතුන් විදියටම දිගටම ඉන්න ද හිතාගෙන ඉන්නේ?
අපි අපේ සම්බන්ධතාව ගැන මිස විවාහය ගැන කතා කරලා නැහැ. ඒක අත්‍යවශ්‍යත් නැහැ.
තාමත් ඔබ කරණවෑමියෙක් ද?
අපොයි ඔව්. නමුත් වෙනත් අයගේ සැලෝන්වල නම් නෙවෙයි. මගේම සැලෝන් කීපයක්ම මේ වෙද්දි පවත්වාගෙන යනවා.
ඔබ දේශපාලනයට එන්න අදහසක් නැද්ද?
මම හොඳටම දන්න දේ තමයි මම දැන් මේ කරන්නේ. බාගෙට දන්න දේවල් කරන්න ගිහින්, බාගෙට දන්න දේවල් ගැන කතා කරන්න ගිහින් අර මන්ත‍්‍රීවරයෙක් ලෝකෙන්ම අපහාස විඳින විදිය පේන්න තියනවානෙ.
දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>