TT Ads

අපේ ආහාර රසකාරක අතර ලුණු වැජඹෙන්නේ ඉහළම තැනකය. එසේම ආහාරයක රසවත් බව විස්තර කරන විට “හොඳට ලුණු, ඇඹුල් දාලා හදල තිබුණා” යන විශේෂණය යෙදෙන්නේද එනිසාමය. ඈත අතීතයේ සිටම අපේ ආහාරවල රසය ඉස්මතු කිරීමට යොදා ගත් මේ ඇඹුල කෙසේ වෙතත් ලුණු නම් මේ වන විට අපේ සමාජයේ බොහෝ සෞඛ්‍ය ගැටලු ඉස්මතු කරන්නට හේතු වී තිබේ. ආහාර වලට අනවශ්‍ය ලෙස එකතු කරනු ලබන ලුණු නිසා සේම කෘත්‍රීමව සකස් කර තිබෙන අධික ලුණු සහිත ආහාර නිසා අධි රුධිර පීඩනයෙන් පෙළෙන සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අපේ සෞඛ්‍ය අංශ එකමුතුව කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ අපේ සමාජයේ 52% ක් පමණ දෙනා බත් පිසින විට එයට ලුණු එකතු කරන බවය. අප සාමාන්‍යයෙන් බත් ආහාරයට ගන්නේ පිසගත් ව්‍යංජන කීපයක් සමගය. ඒවාට ලුණු එකතු කරන නිසා බතට ලුණු එකතු කිරීම අවශ්‍ය නොවේ. එසේ බතට ලුණු එකතු නොකළද, රසයේ වෙනසක් ඇති වන්නේ නැත. විශේෂයෙන් අපේ වැඩිහිටියන් මේ ආකාරයට බත් පිසින විට ලුණු එකතු කිරීමට පුරුදුව සිටීම නිසා අනවශ්‍ය තරමට ලුණු ශරීරගත වීමක් සිදු වෙයි. අපේ ලුණු පරිභෝජනය ඉතාම වැඩිය. මෙය බෝ නොවන ලෙඩ රෝග රැසකට මග පාදා තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙකුගේ ලුණු අවශතා සපුරාගැනීම සඳහා දිනකට ලබාගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5කි. එනම් ලුණු තේ හැන්දකට මඳක් අඩු ප්‍රමාණයකි.

නිරෝගීව ජීවත් වීමට නම් ගත යුතු මේ ලුණු ප්‍රමාණය දවස පුරා ලබා ගන්නා සියලුම ආහාර පාන වල එකතුවක් සේ ලබාගත යුත්තකි. නමුත් සමීක්ෂණ හරහා හෙළිව තිබෙන්නේ අපේ අය මේ නියමිත ලුණු ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා ආහාර වේලට එකතු කර ගන්නා බවය.

එසේම අද සමාජයේ අය කෘත්‍රීම රසකාරක සේම අධික ලුණු අඩංගු ආහාර ගැනීමට නැඹුරුවීමද වැඩිපුර ලුණු පරිභෝජනයට හේතු වී තිබේ. නිවසේ පිළියෙළ කරනු ලබන ආහාර වලට ලුණු එකතු කිරීම හැකි තරම් අඩු කිරීම පවුලේ යහපත් සෞඛ්‍යයට හේතුවෙයි. එසේම බත්, රොටී, ඉඳිආප්ප, පිට්ටු, තෝසේ වැනි වෙනත් ව්‍යංජන සමග ආහාරයට ගන්නා කෑම වර්ග වලට ලුණු එකතු නොකිරීමෙන්ද ලුණු පරිභෝජනය අඩු කර ගත හැකිය.

 

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයට අපගේ ස්තුතිය
නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>