TT Ads

සහෝදරයන් සිව් දෙනෙකු සිටින පවුලක බාල දරුවා වූයේ සමන්ය. ඔහු කාන්ති නමැති කාන්තාවක හා විවාහ වී සිටියත් ඔවුන්ට දරුවන් ලැබුණේ නැත. මේ අතර හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත සමන් මිය ගියේය. ඒ වන විට සමන්ගේ මව සිටියේද සමන්ගේ නිවසෙහිය. ඔහුගේ මිය යාමෙන් පසු කාන්ති සමන්ගේ සියලු දේපළ තමන් සන්තකයට ගත්තේ සමන්ගේ මවද එම නිවසින් පිටමං කරමිනි. මේ දේපළවල හිමිකාරිත්වය කාටද?

සාමාන්‍ය නීතිය යටතේ දේපළ උරුම වන්නේ කෙසේද?

තම ජීවිත කාලය තුළදී හිමිකරගත් දේපළ වල අයිතිය, තමා මිය ගිය පසු හිමිවන්නේ හෝ අයිති වන්නේ කාහටද යන්න තීරණය කර දේපළ උරුම විය යුතු ආකාරය අන්තිම කැමති පත්‍රයක් මගින් ලියා තබා මිය යන පුද්ගලයන් ඇතුවා මෙන්ම එසේ නොතබා මිය යන පුද්ගලයන්ද වේ.

අන්තිම කැමති පත්‍රයක් ඇත්තේනම් ඒ අනුව උරුමය හිමිවේ. දේපළ උරුම වන්නේ කෙලෙසද, කා හටද යන්න පැන නගින්නේ මෙවැනි අන්තිම කැමති පත්‍රයක් මගින් දේපළ උරුමය ලියා නොතබා මිය යන අවස්ථාවන්හිදීය.
ලංකාවේ දේපළ උරුම නීතිය විවිධ නීති ක්‍රම මගින් පාලනය වේ. එනම්, උඩරට පළාත් වල ජීවත් වන උඩරට නීතියට යටත් වන සිංහල ජනයාට උඩරට නීතියත්, යාපනය ප්‍රදේශයේ ජීවත් වන තේසවලාමේ නීතියට යටත් වන දෙමළ ජනයාට තේසවලාමේ නීතියත්, මුස්ලිම් නීතියට යටත් වන මුස්ලිම් ජනතාවට මුස්ලිම් නීතියත් දේපළ උරුමය සම්බන්ධයෙන් බලපාන අතර, ශ්‍රී ලංකාවේ වාසය කරන අනෙක් සියලුම ජනතාව සාමාන්‍ය නීතියට යටත් වේ.

ඒ අනුව සාමාන්‍ය නීතියට අනුව වර්තමානයේ අන්තිම කැමති පත්‍රයක් රහිත දේපළ අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් අදාළ වන්නේ වර්ෂ 1989 අංක 2 සහ 1992 අංක 18 දරන පනත් වලින් සංශෝධිත 1876 අංක. 15 දරන වෛවාහක අයිතිවාසිකම් හා උරුම ආඥා පනතයි. අන්තිම කැමති පත්‍රයක් රහිත දේපළ අනුප්‍රාප්තිය මෙම පනතේ 20 වන වගන්තියේ සිට 36 වන වගන්තිය දක්වා විස්තර කර ඇත.
එසේම, මෙම පනත නිහඬ වන අවස්ථා වලදී රෝම ලන්දේසි නීති සිද්ධාන්තයන් දේපළ උරුමය සම්බන්ධයෙන් අදාළ වන බව පනතේ 36 වන වගන්තියේ දක්වා ඇත.

දේපළ අනුප්‍රාප්තිය යන්නෙන් අදහස් වන්නේ, යම් පුද්ගලයකුගේ ඇවෑමෙන් පසු උරුමකරුවකු හෝ උරුමකරුවන් නම් නොකර අන්තිම කැමති පත්‍රයක් ලියා නොතබා මියගිය විට එම දේපළේ අයිතිය හිමි වන හෝ බෙදෙන ආකාරයයි. එබැවින් මෙහිදී යම් පුද්ගලයකු අන්තිම කැමති පත්‍රයක් ලියා නොතබා මිය යන අවස්ථාව සලකනු ලබයි.

ජීවත්වන සැමියාගේ/බිරිඳගේ (කලත්‍රයාගේ) උරුමය

යම් පුද්ගලයකු තම කලත්‍රයා (ස්වාමිපුරුෂයා හෝ භාර්යාව) ජීවත්ව සිටියදි මිය ගිය හොත් ජීවත්වන කලත්‍රයාට, මිය ගිය අයගේ දේපළ වලින් 1/2ක පංගුවක් උරුම අයිතියට ලැබේ. මේ බව පනතේ 22 වන වගන්තියේ දක්වා ඇත.

ජීවත්වන කලත්‍රයාගේ ඉහත කී අයිතියට යටත්ව, මිය ගිය පුද්ගලයා සතු දේපළ වල ඉතිරි 1/2ක පංගුවක හිමිකම හා අයිතිවාසිකම පිළිවෙළින් පැවත එන්නන්ට නොහොත් දරුවන්ට, ඔවුන් නොමැත්තේ නම් මියගිය අයගේ පූර්වගාමීන්ට නොහොත් දෙමාපියන්ට, එසේත් නොමැත්තේ නම් සමගාමින්ට නොහොත් සහෝදර- සහෝදරියන්ට හිමි වන බව පනතේ 23 වන වගන්තියේ දක්වා ඇත.

ඒ අනුව පනතේ 22 වන වගන්තියේ දක්වා ඇති ඉහත කී ජීවත් වන කලත්‍රයාගේ උරුමයට යටත්ව මිය ගිය පුද්ගලයා සතු දේපළ වල හිමිකම හා අයිතිවාසිකම පිළිවෙළින් පැවැත එන්නන්ට, දෙමාපියන්ට, සහෝදර – සහෝදරියන්ට හිමි වේ.

යම් හෙයකින් එකී පුද්ගලයා මිය යන අවස්ථාව වන විට මිය ගිය අයගේ කලත්‍රයාද ජීවතුන් අතර නොමැති නම් එකී මිය ගිය අයගේ සම්පූර්ණ දේපළ වල හිමිකම හා අයිතිවාසිකම පිළිවෙළින් පැවැත එන්නන්ට, දෙමාපියන්ට, සහෝදර- සහෝදරියන්ට හිමි වේ.

වෛවාහිකව දරුවන් සිටින විට

මේ අනුව යම් පුද්ගලයකු තම කලත්‍රයා හා දරුවන් සිටියදී මිය ගියහොත් එම දේපළින් ජීවත් වන කලත්‍රයාට ½ ක්ද , ඉතිරි ½ ක අයිතිය තම දරුවන් අතර සමසේ බෙදී යාම සිදු වේ.
යම් හෙයකින් එකී පුද්ගලයා මිය යන අවස්ථාව වන විට මිය ගිය අයගේ කලත්‍රයාද ජීවතුන් අතර නොමැති නම් එකී මිය ගිය අයගේ සම්පූර්ණ දේපළම දරුවන් අතර සමසේ බෙදී යා යුතුය.
එසේම යම් අවස්ථාවකදී යම් පුද්ගලයකු මිය යාමට පෙර ඔහුගේ හෝ ඇයගේ දරුවකු අවිවාහකව සිට මිය ගොස් සිටියේ නම් එකී මිය ගිය දරුවාට හිමි නියමිත පංගුව අනෙකුත් දරුවන් අතර බෙදේ.
එසේම යම් අවස්ථාවකදී යම් පුද්ගලයකු මිය යාමට පෙර ඔහුගේ හෝ ඇයගේ දරුවකු විවාහකව සිට දරුවන් සිටියදී මිය ගොස් සිටියේ නම්, එකී මිය ගිය දරුවාට හිමි නියමිත පංගුව එම මිය ගිය දරුවාගේ කලත්‍රයාට හා මියගිය දරුවාගේ දරුවන්ට බෙදී යාම සිදු වේ.

වෛවාහිකව දරුවන් නොසිටින විට

එලෙස යම් හෙයකින් මිය ගිය පුද්ගලයා විවාහක වුවද, දරුවන් නොසිටියේ නම් මිය ගිය පුද්ගලයා ගේ කලත්‍රයාගේ අයිතියට යටත්ව එනම් ½ ක පංගුව හැර ඉතිරි ½ ක පංගුව මිය ගිය පුද්ගලයාගේ පූර්වගාමීන් හෙවත් දෙමාපියන් ජීවත්ව සිටී නම් ඔවුන්ට සම සමව හිමි විය යුතුය.
මිය ගිය පුද්ගලයාගේ මව හෝ පියා අතරින් එක් අයෙකු පමණක් ජීවත්ව සිටී නම්, එම ජීවත්ව සිටින මව හෝ පියාට එකී ඉතිරි ½ න් ½ ක් එනම්, දේපළින් ¼ක් හිමි වන අතර, ඉතිරි ¼ක කොටස මිය පුද්ගලයා ගේ පූර්ණ සහෝදර/සහෝදරියන්ට මෙන්ම මිය ගිය මව හෝ පියාගේ පාර්ශ්වයේ සිටින අර්ධ සහෝදර සහෝදරියන්ට ප්‍රමාණුකූලව හිමි වේ. යම් පුද්ගලයකු මිය යන අවස්ථාවකදී එම තැනැත්තාගේ දේපළ උරුමය ඉහත කී පරිදි ලබා ගැනීමට පූර්ණ සහෝදර සහෝදරියන් කිසිවෙකුත් ජීවතුන් අතර නොමැති නම් එම පූර්ණ සහෝදර සහෝදරියන්ගෙන් පැවැත එන්නන් සිටියත් මිය ගිය අයගේ ජීවත් වන දෙමාපියන්ට එම තැනැත්තාගේ දේපළ හිමි වේ.

ජ්‍යෙෂ්ඨ නීතීඥ
මහින්ද ලොකුගේ

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>