TT Ads

විවාහකයන් අතරේ අනියම් සම්බන්ධතා ඇති වන්නේ ඉබේ නොවෙයි. මේක හරිම සංකීර්ණ තත්ත්වයක්. මේ ගැන කරුණු කිහිපයක් අපි පසුගිය සතියේත් සාකච්ඡා කළා. මේ තවත් කරුණු කිහිපයක්.

ඔබ කුළු ගෙඩියකින් කළු ගලක් කඩන්නේ යැයි සිතන්න. මෙහිදී පළමු පහරින් ගල නොකැඩෙන්නට පුළුවන්. ඒ සඳහා පස් වතාවක් කුළු ගෙඩියෙන් කළු ගලට පහර දෙන්නට සිදු වූයේ යැයි සිතමු. පස්වෙනි කුළු ගෙඩි පහරින් පසුව ගල කැඩුණු විට ගල කැඩුණේ පස්වෙනි පහර නිසා යැයි ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් සත්‍යය එය නොවෙයි. පළවෙනි කුළුගෙඩි පහරේ සිටමයි කළුගල දෙදරීමට ලක් වන්නේ. ඒ නිසා තමයි පස්වෙනි කුළුගෙඩි පහරේදී ගල වෙන්වන්නම කැඩුණේ.

 

ඒ වගේ අනියම් සම්බන්ධතාවකට අත්තිවාරම වැටෙන්නේ හේතු ගොඩක ප්‍රතිඵලයක් විදිහට. අපි අදත් මේ සඳහා බලපාන හේතු කිහිපයක් විමසා බලමු.

 

 දෙදෙනා අතරේ සහජීවනයක් නැතිවීම

විවාහ ජීවිතය කියන්නේ හරියට ඉංග්‍රීසි A අකුර හැඩයට හිටවපු ඉනි දෙකක් වගේ. ඒ ඉන්න මේ ඉන්නෙනුත්, මේ ඉන්න ඒ ඉන්නෙනුත් රැකෙනවා. ඒ අනුව ඉනි දෙකම ඉනි දෙක වෙනුවෙන් සමාන වගකීම් දරනවා. ඒකට තමයි සහජීවනය කියන්නේ. පවුල් ජීවිතය තුළ අඹුසැමි දෙදෙනාම එකිනෙකාගෙන් බලාපොරොත්තු වන දේවල් තිබෙනවා. දෙදෙනා බලාපොරොත්තු වන සතුට ලබා ගන්න නම් ඒ සතුට ලැබෙන්නේ මොන විදියේ දේවල්වලින්ද යන්න දෙදෙනාම සිතිය යුතුයි. එවිට තමයි මේ බැඳීම දෙදෙනාටම සතුටක් වන්නේ.

අඹු සැමියන් කියන්නේ තනි පුද්ගලයෙක් නෙමේ. පුද්ගලයන් දෙදෙනෙකුගේ එකතුවක්. එනිසා දෙදෙනාගේ සිතුම් පැතුම්වල වෙනසක් තිබීම ස්වාභාවිකයි. අවශ්‍ය වන්නේ මේ වෙනස දෙදෙනාම හඳුනාගෙන තිබීමයි. තමන්ගේ විදියට අනෙකාව හදන්න යාම කිසිසේත් හිතකර වන්නේ නෑ. දෙදෙනාම දෙදෙනාට ගැළපෙන ආකාරයේ එකඟතාවකට පැමිණීමයි කළ යුතු වන්නේ. නැතිනම් මෙවැනි හේතු රැසක එකතුව අනියම් සම්බන්ධතාවකට මං එළිපෙහෙළි කිරීමට හේතු විය හැකියි.

 අපේක්ෂා කරන සතුට නොලැබීම

සතුට එක් එක්කෙනා ලබන්නේ එක එක විදිහට. බොහෝ විට කාන්තාවන් තමන්ගේ සැමියා සමග කාලය ගත කිරීමෙන් සතුටක් ලබනවා.

 

පවුල් උපදේශනවලට පැමිණෙන බොහෝ අඹු සැමියන් පවසන දෙයක් තමයි “මට දැන් එයාව එපා වෙලා තියෙන්නේ” කියන එක. නමුත් “මට එයාව එපා වුණේ ඇයි? මට වැරදුනේ කොතනද?” කියන එක ගැන මේ බොහොමයක් දෙනා හිතන්නේ නෑ.

 

“ඇයි ඔබට ඔබේ සැමියාව එපා වෙලා තියෙන්නෙ” කියලා කාන්තාවකගෙන් ඇහුවොත් ඇය බොහෝ විට දෙන පිළිතුර “එයා මට සලකන්නෙ නෑ. මං ගැන හිතන්නෙ නෑ. මං ගැන බලන්නේ නෑ” වැනි දේවල්.

 

ඒ අයගේ ස්වාමි පුරුෂයන්ව කැඳවලා ඒ ප්‍රශ්නයම ඇසුවොත් ඔවුන් බොහෝ විට කියන්නේ මෙබඳු දෙයක්.
“මං එයාට කන්න අඳින්න දෙනවා. ලෙඩට දුකට බලනවා. මගෙ පඩිය දෙන්නෙත් එයා අතට. තවත් මොනවද මට කරන්න කියන්නේ.”

 

බොහෝ වෙලාවක් කතා කරන කොට බිරිඳට සැමියාව එපා වුණු හේතුව හොයා ගන්න බැරි වෙන්නේ නෑ.
මේ අනුව බොහෝ භාර්යාවන්ට තමන්ගේ සැමියා මොන තරම් යුතුකම් ඉටු කළත් ඔහුව එපා වෙන්න බලපාල තියෙන්නේ පුංචි හේතුවක්.

 

“දවසට සැරයක් ටික වෙලාවක් හරි මං ළඟට වෙලා කතා කර කර ඉන්න එයාට කිසිම වුවමනාවක් නෑ. ඉස්සර ඔහොම නෑ එයා. දැන් එයාට මාව එපා වෙලා.”

 

මෙයින් පැහැදිලි වන්නේ අනිත් හැම දේටම වඩා මේ පුංචි දෙය තුළින් ඇය සතුටක් ලබන බවයි. ඒ පුංචි දේ නොලැබීම තුළ අනිත් හැමදේම ලැබුණත් ඇයට සතුටක් ලබන්න බෑ. මේ වගේ තත්ත්වයන් බොහෝ විටම දකින්න ලැබෙන්නේ කාන්තාවන් තුළයි. මේ අනුව ඇය ගැන වඩාත් අවධානය දක්වන, ආදරයක් පෙන්වන අන් පිරිමියකු හමු වුණොත් එම ඇසුර අනියම් සම්බන්ධතාවක් දක්වා දුර දිග යන්න බැරි කමක් නෑ.

 

 ලිංගික ජීවිතය

බොහෝ දෙනෙක් හිතන්නේ අනියම් සබඳතාවලට හේතුව ලිංගික ජීවිතයේ ගැටලු කියලයි. මේ කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් ඒකම නෙමෙයි හේතුව. සමහර පුංචි සිදුවීම් නිසා සිතට කලකිරීමක් තරහක් ඇති වුණාම ඒ කලකිරීම සහ තරහ යටි සිතේ තැන්පත් වෙනවා. කලක් ගත වන විට එම හේතු අපේ උඩු සිතට අමතක වෙලා යනවා. නමුත් යටි සිතේ තැන්පත් වූ තරහ සහ කලකිරීම් ඒ විදිහටම පවතිනවා. “මට දැන් එයාව එපා වෙලා තියෙන්නේ” කියලා සමහරු කිව්වට ඒකට ප්‍රබල හේතුවක් දක්වන්න ඔවුන් අසමත් වන්නේ ඒ නිසයි. නිශ්චිත හේතුවක් කියන්න බැරි වුණත් හිත ඇතුළේ එපා වීම්, කලකිරීම් රාශියක් ගොඩ ගැහිලයි පවතින්නේ. මේ හේතුව කාන්තාවන් අනියම් සබඳතා කරා යොමු වීමට බලපෑ හැකියි.

අපේ සංස්කෘතියේ හැටියට පිරිමින් වගේ නෙවෙයි කාන්තාවන් තමන්ගේ කායික අවශ්‍යතාවන් ගැන සෘජුව කතා කිරීමට පසු බානවා. ඒ ගැන තියෙන දැනීමත් සමහර කාන්තාවන්ට අඩුයි. එවිට
ලිංගික ජීවිතය ඒකාකාරී වෙනවා. මේ ඒකාකාරි බව කාන්තාවක් ඉවසුවත් පිරිමින් ඉවසන්නේ නෑ. ලිංගික ක්‍රියාව කායිකව සිදු වන දෙයක් වුණත් සතුට හා තෘප්තිය තීරණය වන්නේ මනසින්. ඒ අනුව ලිංගික සතුටක් නොලැබීමට කායික දුර්වලතා බලපාන්නේ ඉතා කලාතුරකින්. ඇත්තෙන්ම ඒ සඳහා 80%ක් පමණම බලපාන්නේ මානසික හේතූන්. විශේෂයෙන් පිරිමින්ට ලිංගික සතුටෙහි අඩුපාඩුකම් තිබීමද අනියම් සබඳතාවලට යොමු කරවන එක් ප්‍රබල හේතුවක්.

 

 විවිධත්වය ප්‍රිය කිරීම
කාන්තාවක් පියකරුව සුන්දරව සිටීම පිරිමින් තුළ ආකර්ෂණයක් ඇති කිරීමට හේතු වෙනවා. කාන්තාවන්ට වඩා පිරිමින් විවිධත්වය ප්‍රිය කරනවා. පිරිමියෙකුට එකම කාලයක් තුළ කාන්තාවන් දස දෙනෙකුව කායිකව ඇසුරු කර ජීවීන් දහ දෙනෙක් නිර්මාණය කළ හැකියි. නමුත් කාන්තාවක් එකම කාලය තුළ පිරිමින් දහ දෙනෙක් කායිකව ඇසුරු කළත් බිහි කළ හැක්කේ එක් ජීවියකු පමණයි. ඒ තමයි සොබා දහම ගැහැනිය සහ පිරිමියා නිර්මාණය කර තිබෙන ආකාරය. රූපවාහිනියක් ළඟ වාඩි වුණත් පිරිමින් නිතරම වගේ එහි චැනල් මාරු කරන ස්වභාවයක් පවතිනවා, නමුත් කාන්තාවක් එවැනි දේ කරනවා අඩුයි. විවිධත්වයට පිරිමින් තුළ පවතින කැමැත්ත ස්වභාවයෙන් ඔවුන්ට උරුම වූ දෙයක්. මේ විවිධත්වයට දක්වන ප්‍රියතාවයත් පිරිමින් අනියම් සබඳතා සඳහා යොමු කළ හැකියි.

නමුත් මේ හේතු තිබූ පමණින් සෑම විවාහක ගැහැනියක් සහ පිරිමියෙක්ම අනියම් සබඳතා වලට යොමු වන්නේ නෑ. ශිෂ්ටත්වය සදාචාරය වැනි කඩතුරාවන් වගේම අඹු සැමියන් එකිනෙකා අතර තිබෙන ආදරය බැඳීම සහ ගෞරවය මගින් එවැනි දේවල් වලට මං අහුරා තිබෙනවා.

අනියම් සබඳතාවලට හේතුවන තවත් බොහෝ හේතු තිබුණත් අප මේ ඉදිරිපත් කළේ ප්‍රබල හේතු කිහිපයක් පමණක් බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

 

දම්රිවි පදනමේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකෝන්

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>