TT Ads

රංගන ශිල්පිනියක සහ නිරූපණ ශිල්පිනියක ලෙස රසික ආදරය දිනාගත් සුමුදු ප්‍රසාදිනී ගැන බොහෝ දෙනාගේ වැඩි අවධානයක් යොමුවූයේ ඇය 2018 විවාහක රූ රැජින (Mrs. Sri Lanka World) ලෙස කිරුළු පැළඳීමෙන් අනතුරුවයි. එම තරගාවලියේ මීළඟ රූ රැජිනට කිරුළ පැළඳීමට සූදානමින් සිටින සුමුදුට නැවතත් රැජිනක බවට පත්වීමේ අවස්ථාවක්ද මේ දිනවල උදාවී තිබේ.

 සුමුදු මේ දිනවල කාර්ය බහුල වෙලාද ඉන්නේ?

මේ දවස්වල නම් මම ටිකක් කාර්යබහුලයි. මොකද ක්ෂේත්‍රයන් කිහිපයකම වැඩවලට මම මේ දිනවල සම්බන්ධවෙලයි ඉන්නේ. එකක් තමයි  Mrs. Sri Lanka World රූ රැජින තරගාවලිය. පසුගිය අවුරුද්දේ ඒ කිරුළ දිනා ගත්තේ මම නිසා මේ වසරෙත් මුල ඉඳන්ම මම ඒ තරගයත් එක්ක හිටියා. ඒකේ අවසාන මහා තරගය පැවැත්වෙන්නේ මේ මස 27 වැනිදා. ඉතින් එදාට තේරී පත්වෙන අලුත් විවාහක රූ රැජිනට කිරුළ පැළඳීමේ වගකීමත් මට පැවැරිලා තියෙනවා.

 විවාහක රූ රැජින විදිහට ඔබට එදා පළඳවපු ඔටුන්නත් හුඟක් විශේෂ එකක්ලු නේද?

ඔව්. ඒක තමයි දැනට ලංකාවේ තිබෙන මිල අධිකම කිරුළ. ඒක රනින් සහ මැණික් ගල්වලින් නිමවපු ඔටුන්නක්. පසුගිය අවුරුද්ද පුරාම එහි හිමිකාරිය වෙලා හිටියේ මමයි. ලබන 27 වැනිදාට ඒක මට අලුත් අයිතිකාරියට බාර දෙන්න වෙනවා.

 රූ රැජිනක් වන සුමුදු මේ දවස්වල රැජිනකගේ චරිතයකටත් පණ පොවනවා කියන්නේ ඇත්තද?

ඒ කතාව ඇත්ත. මේ දවස්වල මම “මායා රාජිනි” කියන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට දායක වෙනවා. ලංකාවේ පළමුවැනි රැජින වන අනුලා බිසව ගැනයි කතාවෙන් කියැවෙන්නේ. ඒ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන අනුලා බිසවගේ චරිතය රඟපාන්නේ මමයි.

 ඒ ආරාධනාව බාර ගන්න ඔබට විශේෂ හේතුවක් තිබුණාද?

මේ දිනවල තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මේ ආරාධනය බාර ගන්න ඇත්තටම විශේෂ හේතුවක් මට තිබුණා. ඒ තමයි ඒ ටෙලි නාට්‍යයෙන් දිගහැරෙන්නේ වෙනස්ම විදියේ කතාවක් වීම. ඒක කේ. බී. හේරත් මහතාගේ තිරපිටපතකට අනුව, ප්‍රියන්ත සමරකෝන් නිර්මාණය කරන ටෙලි නාට්‍යයක්. ඉතින් මම හිතනවා මේ ටෙලි නාට්‍යය විකාශය වෙද්දී ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා.

 මේ වැඩරාජකාරිත් එක්ක බිරිඳක් සහ මවක් විදිහට ගෙදර දොරේ වගකීම් ඔබ ඉටු කරන්නේ කොහොමද?

කොච්චර වැඩ රාජකාරි තිබුණත් පවුලේ වැඩකටයුතු නම් මම පැහැර හරින්නේ නැහැ. මගේ පුතාට තවම අවුරුදු තුනයි මාස දෙකයි. පුතා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න ඕන නිසා පසුගිය කාලේ මට ලැබුණු හුඟක් ආරාධනා මම ප්‍රතික්ෂේප කළා. දැන් මට ටික ටික කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතුවලට නිදහසේ සම්බන්ධ වෙන්න ලැබෙන්නේ මගේ සැමියාගෙන් ලැබෙන සහයෝගය නිසයි. ඔහු බැංකු ක්ෂේත්‍රයේ රැකියාව කරන කෙනෙක්. එයාගේ නම මිථිල අබේසේකර. මේ තරම් සහයෝගයක් මට මිථිලගෙන් නොලැබෙනවානම් කාන්තාවක් විදිහට මේ වගේ සාර්ථක ගමනක් යන්න මට කොහෙත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ.

කිෂාන් කනංකේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>