TT Ads

අනූෂා දමයන්ති කියන්නේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඇයගෙ රංගනයට වඩා නර්තනයට පෙම් බඳින රසිකයන්ට ඇයට ළඟදිම දවසක මංගල සීනු හැඬවෙනවයි කියූ කතාව ආගන්තුක නැහැනෙ. ඒත් හැමදාමත් වගේ මංගල්‍යයක් ගැන කතා කරලා නිහඬව හිටිය අනූෂා මෙදා සැරෙත් ඒ ගැන කිසි කතා බහක් නැහැ. ඉතින් ඒ ගැන අහන්න හිතාගෙන අපි අනූෂාට කතා කළා.

අනූෂා මේ දවස්වල මොකද වෙන්නෙ?

රටේ තත්ත්වයත් එක්ක මේ දවස්වල ටිකක් විතර වැඩ අඩුයි. හැමදේම ඇණහිටලා. හැබැයි දෙරණ නාලිකාවෙ විකාශනය වෙන රාවණා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතර ඉන්නවා. ඒ නාට්‍යට මම අලුතෙන්ම එකතුවුණේ. ඒත් එක්ක චිත්‍රපට කිහිපයක වැඩ කටයුතු අවසන් කළා.  ඒ වගේම ජීවිතේ ලස්සනම තීරණයකුත් කල් දැම්මා.

ජීවිතේ ලස්සනම තීරණයක් කල් දැම්මා ?

ඔව් ආයෙමත් වතාවක් මගෙ  විවාහය කල් දමන්නට සිදුවුණා. රට තුළ ත්‍රස්ත ප්‍රහාර එල්ලවෙන මොහොතක මගේ විවාහය ජයට ගන්න මට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මංගල ආරාධනා යවලා  සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පවත්වන්නට නියමිතව තිබුණු මගේ විවාහය පස්සට දැම්මා.

ඇත්තටම විවාහය කියන දේ ගැන මේ තරම් සැහැල්ලුවෙන් හිතන්නෙ කොහොමද ?ඔබ මීට පෙරත් අවස්ථා කිහිපයක්ම විවාහය මේ විදියට කල් දමලා තියෙනවා ?

විවාහය සැහැල්ලුවෙන් නොගන්න නිසා තමයි නියම අවස්ථාව එන තුරු විවාහ නොවී ඉන්න මම තීරණය කළේ. මීට පෙරදි නම් මගේ රංගන කටයුතු වෙනුවෙන් කාලය වෙන්කළ යුතු නිසා විවාහය කල් දැමුවත් මෙදා නම් රටම හඬන මොහොතක මට සතුටු වෙන්න බැරි නිසයි ඒ තීරණය පස්සට දැම්මේ.

ඉතින් විවාහය නැවත  සිද්ධවෙන්නෙ කවදද ?

රටේ තත්ත්වය යහපත් වුණාම අපි විවාහ වෙනවා. බොහෝ වෙලාවට ජූලි මාසයේ ඒ ලස්සන දවස උදාවෙයි. මේ අවුරුද්දෙ මල්ඵල ගැන්වෙන්නෙ අවුරුදු 10ක ආදර කතාවක්.

අවුරුදු දහයක ආදර කතාවක්. ඒ ආදරේ ඇරඹුම ගැන කතා කරන්න කැමැතිද?

එයා මගෙ රසිකයෙක්. ඒ 2008දි ඩාන්සින් ස්ටාර් කරන කාලෙ. රසිකයෙක් වගේ  මුලින් කතා කරපු එයා පස්සෙ යාළුවෙක් වුණා. නිතරම  මට මැසේජ් කරපු එයා  එවපු ඒ SMS වල මොකක්දෝ දෙයක් ගැබ්වෙලා තිබුණා. හරියට මාව  පරිස්සම් කරන ගතියක්. අන්තිමට එයා මට ආදරේ ප්‍රකාශ කළා.

ඒ වෙනකොට ඔයාලා එකිනෙකා දැනගෙනද හිටියෙ?

අපි යාළුවෝ වගේ පෝන් එකෙන් කතා කළා. ඒත් අපි දැකලා තිබුණේ නැහැ.සාමාන්‍ය ගැහැනු ළමයෙකුට වගේ මට ඒ වගේ නිදහසක් තිබුනෙ නැහැ. අපේ අම්මා හිතුවෙ මාව හොරු අරන් යයි කියලා. මම යන එන හැම තැනකම එයා ආවා.

ඉතින් කියන්නකෝ එයාව දැක්ක මුල්ම දවසෙ මොකද හිතුනේ?

එයා මට විවාහ යෝජනාවක් ගෙනාවා. ගෙදරින් ඇවිත් අහන්න කියලා කිවුවත් ඊට කලින් මට එයාව දකින්න ඕනෙකම තිබ්බා. ඉතින් අපේ ගේ ඉස්සරහ තිබ්බ ඉඩම ගන්න එනවා වගේ එන්න මට ඔයාව බලන්න ඕනෙ කියලා මම කිවුවම එයා ආවා. ඇවිත් මට කතා කළා. මම උඩ තට්ටුවට ගිහින් හැංගිලා එයා දිහාවෙ බලාගෙන හිටියා. එහෙම ඉඳගෙන මම එයාව ඒ වත්ත පුරා රවුමක් ඇවිද්දෙව්වා. හරිම සුන්දර තරුණයෙක් කියලයි මට හිතුණේ.  ඒ විදියට පළවෙනි දවසෙ මම රහසෙන් එයා දිහා බලාගෙන හිටියා.පස්සෙ දවසක එයාගෙ අම්මා තාත්තා එක්ක විවාහ යෝජනාවක් අරගෙන අපේ ගෙදර ආවා.

මැණිකක් වගේ රැකගත්ත අනූෂව ඒ විදියට නාඳුනනා අමුත්තෙකුට විවාහ කරලා දෙන්න අම්මා තාත්තා කැමැති වුණාද?

එයා ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. ඒක අම්මලත් තේරුම් ගත්තා. ඒ නිසා එයාලා මේ යෝජනාවට කැමැත්ත දුන්නා.

ඒ කියන්නේ දුෂ්ටයෝ නැති බාධක නැති ආදර කතාවක්?

දුෂ්ටකම් කරන්න කවුරුත් ඉන්න හේතුවක් නැහැ.මම සිනමාවට එන්නෙ බොහොමත් අඩු වයසින්. ඒ වගේම මගෙ බැඳීම වැඩියෙන් තිබුණේ වෘත්තියත් එක්ක. කොහොමත් මට ඕනෙකම තිබුණේ නටන්න ඇඳුම් හදන්න මිසක් ආදරය කරන්න නෙවෙයි. එහෙම ඉන්න වෙලාවක තමයි එයා මේ විදියට විවාහ යෝජනාවක් අරගෙන එන්නෙ.

ඒ කියන්නේ ඔබට මීට පෙර ආදර යෝජනා ඇවිත්ම නැද්ද?

අපෝ නැහැ. ගොඩක් යෝජනා ඇවිත් තියෙනවා. ඕනේ තරම් අය ආදරේ ඉල්ලලා තියෙනවා. ඒත් මට එහෙම හැඟීමක් තිබුණේ නැහැ. කවුරු හෝ කෙනෙක් මට ආදරෙයි කිව්වොත් මම එයා එක්ක කතා කරන එක පවා නතර කරනවා.

එහෙම නම් ඇයි ඔයා මේ ආදරේට කැමැති වුණේ?

එයා හිතන පතන විදියට මම මුලින්ම කැමැති වුණා. එයාව දැක්කම ඒ හැඟීම තවත් වැඩිවුණා. මොකද එයා ගොඩක් ආදරණීයයි.

අනූෂා  විවාහ වෙන්න කල් ගත්තා වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද ?

විවාහය කියන දේ මට ලොකුවට දැනුණු දෙයක් නෙවෙයි. මොකද මගෙ වෘත්තියත් එක්ක මම ගොඩක් කාර්යබහුල වුණා. ඒ වගේම ආදරේ ගැන ලොකුවට දැනුනෙත් නැහැ. අනෙක මම මේ කාලයේ ක්ෂේත්‍රය පැත්තෙන් ජයග්‍රහණ බොහොමයක් ලබාගත්තා. මගේ විවාහය ඉක්මන් වෙලා තිබුණා නම් ඒ ජයග්‍රහණ මට නොලැබෙන්න තිබුණා. ඇත්තටම මට මගේ විවාහය ප්‍රමාදවීම ගැන කිසිම දුකක් හෝ පසුතැවීමක් නැහැ. මොකද  දෙයක් ලැබෙන්නේ ලැබෙන්න තියෙන වෙලාවට කියන විශ්වාසය මට තියෙනවා.

තමාරා කල්හාරි

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>