TT Ads

වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්. යැයි කියමනක් අප අතර පවතී. නමුත් අද සමාජය දෙස බලන විට පැහැදිලිව පෙනී යන්නේ බොහෝ මිනිසුන් වැරදි කරන්නේ දැන දැනම හිතා මතාම බවයි. ඒ අනුව බොහෝ දෙනා තමන්ගේ මනුස්සකම පෙන්වීමට හෝ සමාව දෙන්නට දෙවියන් සිටිනවා කියා සිතා හෝ වැරදි කරනවා දැයි සැකයක් ඇතිවේ.

වරදක් වූ පසු සමාව ඉල්ලීම පලකට නැති දෙයක් ලෙස අප දක්වන්නේ නැත. මෙය ඉතා හොඳ ආචාරශීලී යහපත් පුරුද්දකි. නමුත් වඩාත්ම යහපත් දෙය නම් වැරදි නොකර සිටින්නට උත්සාහ කිරීමය. සමාව ලැබීම තුළින් කරන ලද පව් අහෝසි වීමක් සිදු වන්නේ නැත.

ඔබට ඉතා හොඳ කතාවක් මෙහිදී අපි විස්තර කරමු.
එක් ව්‍යාපාරිකයකු තම තරුණ පුතුවත් සිය ව්‍යාපාරයට හවුල් කර ගත්තේය. මේ පුතුට නිතර කේන්ති යයි. එවිට ඔහු සේවකයන්ට දරුණු ලෙස බැණ වදින්නට පුරුදුව සිටියේය. නමුත් ඔහුගේ එක් යහපත් ගුණයක්ද තිබිණි. එනම් තමන්ට සුළු කරුණකදී පවා තදින් කේන්ති යන බවත්, මෙය ඉතා අයහපත් වූවක් බැවින් පාලනය කරගත යුතු බවත් පිළිගැනීමය. එසේ වුවද එය පාලනය කළ හැකි ආකාරය පිළිබඳව ඔහු දැන සිටියේ නැත.
අපට නිවැරදි විය හැක්කේ අපගේ වැරදි අප විසින්ම අවබෝධ කර ගැනීම තුළිනි. අප වැරදි පිළිගන්නේ නැත්නම් එහි අරුත අප වැරදි කරන බව විශ්වාස නොකිරීමය.

මෙම ව්‍යාපාරිකයාගේ පුතුට තමාගේ වරද හදා ගැනීමට වුවමනාව තිබිණි. අවසානයේ ඔහු ඒ සඳහා සිය පියාගේ පිහිට පැතීය. පුතුගේ මේ අධික කෝපය සිය ව්‍යාපාරයට අනිසි අයුරින් බලපාන බව පියාටද අවබෝධ වී තිබිණි.

පියා කිසිවක් නොකියා පුතුගේ අතින් අල්ලාගෙන එක් තැනකට ගියේය. එතැන යකඩ ඇණ රාශියක් තිබිණි. පියා දුන්නේ එකම උපදෙසක් පමණි.

“ඔයාට තරහ ගිය වෙලාවට මේ ඇණ ගොඩෙන් ඇණයක් අරගෙන මිටිය තියන තැනට ගිහින් මිටියත් අරගෙන අන්න අර පෙනෙන ලෑල්ලට ඒ ඇණය ගහන්න. මේ විදිහට තරහක් ආපු හැම වෙලාවකම ලෑල්ලට, ඇණයක් ගහන්න, එතකොට ඔයාගෙ කේන්තිය පාලනය වෙයි” යනුවෙන් උපදෙස් දුන්නේය.

ඉන්පසු මේ පුතු මෙම ක්‍රියාව දිගින් දිගටම කළේය. මේ කාලය තුළ ඔහුට තරහ යාම කෙසේ හෝ අඩු කර ගත යුතුයි යන සිතිවිල්ල ඇති වූයේ ඇණ ගැසීම ඉතාමත් කරදරකාරී කටයුත්තක් වූ නිසාය.
ඉන්පසු ඔහු කේන්ති යාම ආයාසයෙන් පාලනය කර ගනිමින් ඇණ ගසන වාර ගණන ටිකෙන් ටික අඩු කර ගත්තේය. අවසානයේ ඇණ නොගසා සිටිය හැකි දවස්ද තිබෙන තරමට කේන්තිය පාලනය කර ගැනීමට ඔහුට හැකි විණි. මෙලෙස කේන්ති යාම නතර කර ගත් පුතු පියා හමුවීමට ගියේය.

“මට දැන් කේන්ති යන්නේ නෑ. දැන් ගොඩක් දවසකින් ලෑල්ලේ ඇණයක් ගැසුවෙත් නෑ.”
ඉන්පසු පියා තවත් උපදෙසක් දුන්නේය.

“කේන්ති ගියේ නැති දවස්වලට ලෑල්ල ළඟට ගිහින් දවසට එකක් ගාණේ ඒ ඇණ ගලවන්න.”
පියාගේ අණ පිළිගත් පුතු කේන්ති නොගිය දිනවලට එකක් බැගින් ඇණ ගැලවීය. කෙසේ හෝ පුතුට තමන්ගේ කේන්තිය පාලනය කර ගැනීමට කොතෙක් හැකිවීද යත් කලක් ගත වන විට ලෑල්ලේ තිබූ සියලුම ඇණ ගැලවීමට හැකි වී තිබිණි. එදින ඔහු සිය පියා හමු වී මේ බව පැවැසීය.
පියා පුතු කැටුව ලෑල්ල ළඟට ගියේය.

“දැන් මේ ඇණ ටික සේරම ගලවලනේ. ලෑල්ලේ මොනවද දැන් ඉතිරි වෙලා තියෙන්නේ.”
“ඇණ ගහපු තැන්වල සිදුරු.”

“පුතාට පුළුවන්ද මේ සිදුරුත් ගලවල දාන්න” පියා ඇසීය.

“ඒක කරන්නේ කොහොමද?” පුතා කීවේ අන්ද මන්ද වූ අයුරිනි. පියා පුතුට අගනා පාඩමක් කියා දුන්නේය.
“හිතට කේන්තියක් ආපු වෙලාවට කයින් හෝ වචනයෙන් යම් වැඩක් කළොත් බොහෝ විට ඒ කටයුත්ත සාර්ථක වෙන්නේ නෑ. කේන්තියක් ගියාම කාට හරි බණින්න පුළුවන්. ගහන්නත් පුළුවන්. ඒ ක්‍රියාව වැරදියි කියලා හිතුණොත් පස්සේ සමාව ගන්නත් පුළුවන්. වරදක් කළාම සමාව ගන්න එක හොඳයි. ඒ වරද තේරුම් අරන් ආයෙත් ඒ වගේ වැරදි නොකර ඉන්න එකත් හොඳයි. නමුත් එහෙම කළාට ඒ වරද නිවැරදි වෙන්නේ නෑ. කළ පව, පිනක් බවට පත් වෙන්නෙත් නෑ. පුතා කළ වරද නිසා මිනිස්සුන්ගේ සිත්වල ඇති වුණ චිත්ත පීඩා, වේදනාත් හරියට මේ ලෑල්ලේ සිදුරු වගේ. ඇණ ටික ගලවලා දැම්මත් සිදුරු ටික නැති වෙන්නේ නෑ. මෙයා මට මෙහෙම කළා කියන වේදනාබර සිතිවිල්ල ඔවුන්ගේ සිතේ යාන්තමට හරි රැඳෙනවා. ඒ නිසා වඩාත් උනන්දු විය යුත්තේ සමාව ගැනීමට නොවෙයි, සමාව ගන්නා ආකාරයේ ක්‍රියාවන් සිදු නොකර සිටීමටයි. ගහන ඇණ ගලවන එක හොඳයි පුතා. ඒත් වඩා හොඳ ඇණ නොගසාම ඉන්න එකයි. එතකොට ලෑල්ල සිදුරු වෙන්නෙත් නෑනේ.”

ඕනෑම කෙනෙක් යම් ක්‍රියාවක් කිරීමට පෙර ඒ ගැන සිතයි. නොසිතා කිසිදු ක්‍රියාවක් කළ නොහැකිය. වරදක් කළ පසු බොහෝ දෙනෙක් පවසන්නේ “මං ඒ ගැන හිතුවෙ නෑ” යනුවෙනි. නමුත් හොඳින් සිතා බලන්න අප නොසිතන්නේ කරන ක්‍රියාව ගැන නොවේ. ක්‍රියාවෙන් පසුව ලැබෙන ප්‍රතිවිපාක ගැනය. ඕනෑම ක්‍රියාවකට යම් සිතිවිල්ලක් සම්බන්ධ වේ. සිතිවිලි නැතිව කයින් හෝ වචනයෙන් ක්‍රියාත්මක විය නොහැකිය. ඒ සිතිවිල්ල විපාකදායී කර්ම සකස් කරන්නට තරම් ප්‍රබල සිතිවිල්ලක් නම් ඒ ක්‍රියාව කර්මයක්, කර්ම පථයක් බවට පත්වේ. මේ අනුව බලන කල පැහැදිලි වන්නේ කිසියම් ක්‍රියාවක් හා සම්බන්ධ සිතිවිල්ල හොඳ නම් එය හොඳ ක්‍රියාවක් බවත්, සිතිවිල්ල නරක නම් එය නරක ක්‍රියාවක් බවත්ය. ක්‍රියාව හා සිතිවිල්ල සම්බන්ධ වෙනවාත් සමගම කර්මයද සැකසී හමාර බව ඔබ වටහා ගත යුතුය. එබඳු කර්මයන් සමාව දීම මගින් අහෝසි කර ගැනීමට හැකියාවක් නැත. නමුත් ඒ කර්මයන්, විපාක නොලැබෙන ලෙස වෙනස් කර ගැනීමේ හැකියාව ඒ පුද්ගලයා සතු බවද අමතක කළ යුතු නොවේ.

පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමිපාණෝ
අවධාරණය කරති

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>