TT Ads

ලෝකයේ ජනප්‍රියම අන්තර්ජාල වෙළෙඳ පොළක් වුණු අලිබබා සමාගම පහුගිය අවුරුද්දේ ලොව වැඩිම ගනුදෙනු ප්‍රමාණයක් සිදුකළ සමාගම් අතර 9 වැනි ස්ථානයට පත් වුණා. 1999 වසරේ ආරම්භ කළ මේ සමාගම මේ වෙද්දී ලෝකයේ සියලුම රටවල් ආවරණය කරමින් සිය වෙළෙඳ කටයුතු ව්‍යාප්ත කර තිබෙනවා. එහි සම නිර්මාතෘවරයකු වන චීන ජාතික ජැක් මා ප්‍රසිද්ධ පුද්ගලයෙකු වුණත් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගැන කිසිදු සඳහනක් දකින්නට නැහැ. ඊට හේතුව ගැන “ජැක් මා” ෆෝබ්ස් සඟරාව සමග මෙසේ විස්තර කර තිබුණා.

 

  •  මේ වෙද්දී ඔබ ව්‍යාපාරිකයෙකු සහ දේශපාලනඥයෙකුට අමතරව ධනාත්මක චින්තනයෙකු විදියටත් ප්‍රසිද්ධයි?
    මම වගේ පහළින්ම පටන් ගන්න අයට ඒ ගැන උත්තේජනයක් ලබා දීමට කියන්නේ ධනාත්මක චින්තනය කියලා නම්, මම එහෙම කෙනෙක් තමයි.

 

  •  ඔබ විවිධ ආකාරයෙන් ප්‍රසිද්ධ කෙනෙක්. නමුත් ඔබේ පවුලේ සාමාජිකයන් ගැන නම් කිසිම තොරතුරක් නැහැ?
    මගේ ව්‍යාපාර නිසා මම ප්‍රසිද්ධියට පත් වුණා. එය මගේ වුවමනාවට වුණු දෙයක් නොවෙයි. නමුත් මගේ පවුලේ අයගේ වුවමනාව තමයි හැකිතාක් ප්‍රසිද්ධ නොවී සිටීම.

 

  •  ඒකට හේතුවක් තියෙනවද?
    ඔවුන් කැමතියි පෞද්ගලික ජීවිතය නිදහසේ ගත කරන්න. ඒ නිසා මගේ බිරිඳ සහ දරුවන් මාධ්‍යයට නිරාවරණය වෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ.

 

  •  ඒ කියන්නේ ඔබත් කැමතියි ඔවුන් මාධ්‍යයට නොඑන එකට?
    නැහැ. මම කැමතියි ඔවුන් කැමති විදියට ඔවුන්ගේ ජීවිතය පවත්වා ගැනීමට. ඒ නිසා මගෙන් එයට කිසිම බලපෑමක් නැහැ.

 

  • ඔබේ බිරිඳ කැතී ෂැං ඔබේ සමාගමේ අධ්‍යක්ෂවරියක් නොවෙයි ද?
    මුල්ම කාලයේ ඉතාම කෙටි කාලයක් ඇය ව්‍යාපාරික කටයුතුවලදී මට සහාය වුණා. නමුත් සමාගම ව්‍යාප්ත වෙන්න වෙන්න, මම ප්‍රසිද්ධියට පත් වෙන්න වෙන්න ඇය සමාගමේ වැඩවලින් ඉවත් වෙන්න තීරණය කළා. ඒ වෙද්දී මගේ කාර්ය මණ්ඩලයට ඇය හොඳ පුහුණුවක් ලබා දී තිබුණු නිසා ඇයට පහසුවෙන් ඉවත් වෙන්න පුළුවන් වුණා.

 

  • මේ වෙද්දී ඇය ගෘහණියක් ද?
    අත්‍යවශ්‍ය අවස්ථාවල ඇය ව්‍යාපාර කටයුතුවලට මට සහාය වෙනවා. ව්‍යාපාරික වශයෙන් බැලුවොත් සිද්ධාන්තික පැත්තෙන් ඇය මට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා ඇගේ සහයෝගය ඉතාම වටිනවා. අනිත් වෙලාවට ඇය ගුරුවරියක්.

 

  • ඇය වගේම ඔබත් මුලින්ම ගුරුවරයෙක් නේද?
    අපි දෙන්නම විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ පෞද්ගලික පාසලක ගුරුවරුන් විදියට සේවය කළා. මේ ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය නිසා මම ගුරු වෘත්තියෙන් ඉවත් වුණා. ඇය මේ දක්වා කඩින් කඩ හෝ ඒ වෘත්තියේ නිරත වෙනවා.

 

  • මේ තරම් දැවැන්ත ව්‍යාපාරයක් හිමි ඔබ, ඔබේ බිරිඳව පෞද්ගලික පාසලක ගුරුවරියක් විදියට සේවයේ යෙදවීම ඒ තරම් සාධාරණ නෑ නේද?
    හොඳයි, ඔබ කියන්නේ ඇගේ ආශාවට තෘප්තියට ඉඩ නොදී මගේ කැමැත්තට ඇයව ඉන් ඉවත් කර ගැනීම සාධාරණයි කියල ද?

 

  •  ඔබ ඇයි කියන්නේ ඇය ගුරු සේවයෙන් තෘප්තියක් ලබනවා කියලා?
    අවස්ථා කීපයකදීම ඇය මගේ ව්‍යාපාර කටයුතු නිසා ගුරු සේවයෙන් ඉවත් වුණා. නමුත් ඇය මම වෙනුවෙන් සිදුකළ සේවය අවසන් වූ වහාම නැවතත් කොහොම හරි පෞද්ගලික පාසලක ගුරු වෘත්තියක් සොයා ගන්නවා. ඉතින් ඒ ඇය ඉන් තෘප්තියක් ලබන නිසා නොවෙයිද?
  • එතකොට ඔබේ දරුවන් ගැනත් කියමු?
    මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඔවුන් කවුද කියලා කීම හෝ ඔවුන්ගේ නම් සඳහන් කිරීම අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නේ.

 

  •  ඔබ ඔවුන්ව ලෝකයෙන් වසන් කරනවාද?
    ඔවුන් කැමැත්තෙන් ලෝකයෙන් වසන් වෙනවා කිව්වොත් හරි. මගේ එක් දරුවෙකුගේ පාසලේ සමහර මිතුරන් පවා දන්නේ නෑ ඔහු “ජැක් මා”ගේ දරුවෙක් කියලා. ඒ තරමට ඔවුන් මාධ්‍යයෙන් වසන් වුණු සහ නිදහස අගය කරන අය.

 

  •  ඔවුන් ඔබේ දරුවන් විදියට ප්‍රසිද්ධ වීමේ ඇති ප්‍රශ්නය මොකක්ද?
    එහෙනං ඉතින් මාධ්‍ය, පැපරාසීන් ඔවුන්ගේ පස්සෙන් යන්න පටන් ගනී. ඒක මහා කරදරයක්. සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම ඉවරයි. මේ වෙද්දී ඔවුන් යන්නේ එන්නේ, ඉගෙන ගන්නේ, රැකියා කරන්නේ සාමාන්‍ය පුද්ගලයින් විදියට. කෙටියෙන්ම කියනවා නම් දරුවන්ගේ සමාජ ජාල ගිණුම්වල ඔවුන්ගේ මව සහ පියා ගැන කිසිම විස්තරයක් ඇතුළත් කර නැහැ. මගේ බිරිඳට ට්විටර් හෝ ෆේස්බුක් ගිණුම් පවා නැහැ.

 

  • නමුත් දන්න අය දන්නවානේ ඒ ඔබේ දරුවන් කියලා?
    ඔව්. හැබැයි ඒ මගේ සමීප මිතුරන් විතරයි. මගේ දරුවන් ගැන මගේ ව්‍යාපාරවල සේවය කරන්නන් පවා දන්නේ නැති තරම්. ඒ නිසාම අද මගේ දරුවන් සහ බිරිඳ සාමකාමී නිදහස් ජීවිතයක් ගත කරනවා.

 

  •  ඔබ කිව්වත් ඔවුන් සාමාන්‍ය ජීවිත ගත කරනවා කියලා, ඔවුන් වෙනුවෙන් පෞද්ගලික ගුවන් යානා පවා තියනවා කියලා මාධ්‍යවල සඳහන් වෙනවා නේද?
    ඒක ඇත්ත. අත්‍යවශ්‍ය අවස්ථාවල දී අපි පෞද්ගලික ගුවන් යානා පාවිච්චි කරනවා. ඔවුන්ගේ තාත්තා ලෝක ප්‍රසිද්ධ අලිබබා සමාගමේ නිර්මාතෘ සහ සභාපති වෙලා ඉද්දී ඇයි ඉතින් ඔවුන් එවැනි දේවල් පරිහරණය නොකරන්නේ?

 

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>