TT Ads

 

ඔන්න තවත් අලුත් අවුරුද්දක් උදා වුණා. ගෙවුණු අවුරුද්දේ ඔබ කොයි තරම් නම් හිනා වෙලා ඇත්ද? අඬලා ඇද්ද? සතුටු වෙලා ඇත්ද? දුක් වෙලා ඇත්ද? සමහර විට ඔබ විරහ වේදනාවලුත් විඳලා ඇති? ඔබේ සමීපතමයෝ සමහර විට වියෝ වෙන්නත් ඇති. ඔබව දාලා යන්නත් ඇති. සමහර ප්‍රශ්නවලදී ඔබේ ළඟ ඉන්න ඇත්තේ ඔබේ ආදරණීය දෙමාපියන් විතරක්ම වෙන්න ඇති. එහෙම නැත්නම් සැමියා, බිරිඳ විතරක්ම වෙන්න ඇති. මේ කවුරුත් නැතිවම ඔබ තනිවම විඳවපු අවස්ථාත් ඕනෑ තරම් ඇති.
මේක තමයි ජීවිතේ කියන්නේ. වෙලාවකට අපි දිනනවා. වෙලාවකට අපි පරදිනවා. අපි දිනුවත් පැරදුනත් ලෝකේ ගමන නතර වෙන්නේ නෑ. මේ ගෙවෙන හැම තත්පරයක් තුළම අපි ජීවිතයට එකතු කරගන්නේ පාඩමක්.
“අපි පරණ දේවල් අමතක කරලා මේ අවුරුද්දේවත් අලුත් විදියට හිතමු.”
“දුකක්, කරදරයක් නැතිව උදා වූ අලුත් අවුරුද්දේ පවුලේ හැම දෙනාටම සතුටින් ජීවත් වෙන්න ධෛර්යය, ශක්තිය ලැබේවා.”
“ගිය අවුරුද්දේ නම් බලාපොරොත්තු වෙච්ච කිසිම දෙයක් ලැබුණේ නෑ. අන්තිමට ඉතිරි වුණේ ණය ගොඩක් විතරයි. ඒත් මේ අවුරුද්දේවත් හැම ප්‍රශ්නයක්ම විසඳිලා, අත මිට සරු වෙලා, කීයක් හරි වැඩියෙන් ලැබෙන්න තිස් තුන් කෝටියක් දෙවි දේවතාවියන් වහන්සේලාගේ පිහිට හා ආශිර්වාදය ලැබේවා.”
අලුත් අවුරුද්ද උදා වෙලා නැකතට රතිඤ්ඤා පුපුරනකොට, එහෙමත් නැත්නම් නැකතට කිරිබත් කෑල්ලක් කාලා වැඩ අල්ලනකොට සමහරු ඔබේ මූණටම මේ විදියේ කතාවක් කියන්නත් ඇති. එහෙමත් නැත්නම් ඔබේ හදවතින්ම ඔබ ඒ විදියේ ප්‍රාර්ථනාවක් කරන්නත් ඇති.
අලුත් අවුරුද්දක් විතරක් නෙමෙයි, හැම දවසක් උදා වෙද්දීම මේ වගේ යහපත් ප්‍රාර්ථනාවක් අහන්න ලැබෙන එකත්, කරන්න ලැබෙන එකත්, බොහොම වටිනා කියන දෙයක්. මොකද ඒ තුළින් අපට ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් ඇති වෙන නිසා. වෙනත් විදියකින් කිව්වොත් ජීවිතය පිළිබඳ ඉලක්කයක් ඇති වෙන්නේ මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තිබ්බොත් විතරයි. ඇත්තටම වෙලාවකට “හීනයක්” වගේ කියලා හිතන මේ ජීවිතේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් පුරවලා තියන්න පුළුවන් නම් හැමදාමත් ඔබ දිනුම්. ඒ නිසා ඔබ හැම වෙලාවෙම ජීවිතය දිහා සුන්දරව, සුබවාදීව බලන්න පුරුදු වෙන්න. ඔබ ශක්තිමත්ව සිටින තාක්කල් මරුවාට වුණත් ඔබව ගෙනියන එක ඒ තරම් ලේසි වෙන එකක් නැහැ. ඒ නිසා උදා වූ මේ අලුත් අවුරුද්දේ හැම දවසකම අලුත් හුස්මක් අරන් ජීවිතයට මුහුණ දෙන්න. ඊයේ දවස ගෙවිලා ඉවරයි. හෙට දවස තව උදා වෙලා නැතත් ඒ දවස සතුටින් පිළිගන්න සූදානම් වෙන්න. උදා වූ අලුත් අවුරුද්දේ මේ වගේ නැවුම් සිතුවිලිවලින් ඔබට ජීවත් වෙන්න පුළුවන් වුණොත් ඔබ තරම් වාසනාවන්තයෙක් තවත් මේ ලෝකය තුළ නැහැ කියලා ඔබට තේරේවි. ඔබ සිනාසෙන විටත්, ඔබ හඬා වැළපෙන විටත්, ඔබේ දුක සැප බෙදාහදා ගන්න “රැජිනිය” අපිත් හැමදාම ඔබේ ළඟ හිඳිනා බව සිහි තබා ගන්න.

ගීත් ගුණසේකර
[email protected]

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>