TT Ads

කාන්තාවකට තමන්ගේ ජීවිතයේදී ලබන්න පුළුවන් උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ. යුවතියකව සිට බිරිඳක බවට පත්වෙන කාන්තාවකට මව් පදවිය ලැබීම සඳහා ගැබ් ගැනීමත් සමග ශාරීරික සහ මානසික වශයෙන් වෙනස් කම් රැසකට මුහුණදීමට සිදුවෙනවා. ගැබිනි බව කියන්නේ පාරමිතාවක්. ගැබිනි බවේ පාරමීදම් පුරන ඔබට විවරණ දෙන්නයි අපි මේ සූදානම් වන්නේ.
දරු උපතට සූදානම් වීමේ සිට දරු ප්‍රසූතියත්, ඉන් පසුව එළඹෙන පසු ප්‍රසව සමය පිළිබඳවත් ඔබට දැන ගන්නට කරුණු කාරණා රැසක් තිබෙනවාට කිසිදු සැකයක් නැහැ. අදින් ඇරඹෙන “අම්මයි බබයි” විශේෂාංගයෙන් මම ඔබට ඒ පිළිබඳව දැනුම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
දිවි මගේ ඇරඹුම, සංසේචිත කළලය දිනෙන් දින කුස මෝරන ආකාරය, ඒ ඒ කාලයන් තුළ ඔබට දැනෙන හැඟෙන දෙය සහ ඔබ කළ යුතු නොකළ යුතු දේ. කෑම බීම, ගමන් බිමන්, බේත් හේත්, පරීක්ෂණ, හිතේ සතුට, දරුවාගේ මාසික සංවර්ධනය ආදී සියලු දෑ මේ පිළිබඳ තොරතුරු මේ හරහා ඔබ වෙත ගෙන එන්නට මම සූදානම්. බබා සීසර් වෙයිද ….? නෝමල් වෙයිද ….? දරු උපතට බයයිද? යනාදි ගැබිනි මවකට මතුවෙන මේ සියලු ගැටලු වලට පිළිතුරු මෙම ලිපි මාලාවෙන් ඔබට ලැබේවි.
දරු උපත කියන්නේ සංක්‍රාන්තියක්. දරුවෙකුගේ උපතත් සමග මව විතරක් නොවෙයි පවුලේ හැමෝම නැවත ඉපදෙනවා. නමුත් ඒ සමග මතුවෙන ප්‍රශ්න, ගැටලු නම් ඉවරයක් නෑ. මේ නිසා අලුත උපන් බබාට හරිම දේ හරි විදියට කරන්න ගෙදර හැමෝම දැනගෙන ඉන්න ඕනෑ. බබාගේ වැඩ ටික කරද්දී අම්මාට විවිධ පාර්ශ්ව වලින් නොයෙකුත් උපදෙස් ලැබෙනවා. ඒ වගේම බලපෑම් පවා එල්ල වෙනවා. එවිට අම්මත් ටිකක් පීඩනයට පත් වෙනවා. ඒ වගේම මොකක්ද දැන් මම හරියටම කරන්න ඕන කියන ගැටලුවත් මනසට වද දෙනවා. නමුත් ගෙදර හැමෝම එක්ක “අම්මයි බබයි” විශේෂාංගය සමග එකතු වුණොත් බිලිඳු චර්යා ගැනත්, සිඟිති සුවය ගැනත් නිවැරදි අවබෝධයක් ඔබට ලබා ගන්න පුළුවන්. එය ඔබේ මානසික සුවය රැකගෙන බබාව නිවැරදිව රැක බලා ගන්න අත්වැලක් වෙනවා නිසැකයි. ගර්භණී මවක් විශේෂ සෙනෙහසක් රැකවරණයක් ලබන වට පිටාවකුයි අපේ රටේ තියෙන්නේ. ප්‍රසවයෙන් පසුත් එය එසේම විය යුතුයි. තත්ත්වය ගර්භණී භාවයට පෙර සූදානම ගැනත්, අලුත උපන් බිලිඳුගේ සාමාන්‍ය තත්ත්වය ගැනත් අපි අද ඉඳන් මේ විදියට කතා බහ කරනවා.
   

ගර්භණී මවක් විශේෂ සෙනෙහසක් සහ රැකවරණයක් ලබන වටපිටාවක් තමයි අපේ රටේ තියෙන්නේ. එයාට බොහෝ අයගෙන් උදව් උපකාර ලැබෙනවා. කෑම බීම ලැබෙනවා. ආදරය ලැබෙනවා. දරු උපතෙන් පස්සෙත් මේ අය අලුත් සාමාජිකයා බලන්න තෑගි බෝගත් අරගෙන එන්නේ, ඒක තමන්ගේ යුතුකමක් ලෙස සලකලයි. නමුත් එහිදී නොයෙකුත් ගැටලුත් මතුවෙන්න පටන් ගන්නවා. එන හැමෝටම බබාව බලන්න ඕන. අල්ලන්න ඕන. ගෙදරින් පිට වෙනකොට සිඟිති මුව සිප ගන්නත් ඕනේ. ඒ අයට එහෙම කරන්න එපා කියන්නත් බෑ. මොකද එතකොට ඔවුන් තරහා වෙන්නත් පුළුවන්. හැබැයි අමුත්තන් ඇවිත් පුංචි බබාව අල්ලද්දී එයාට විෂ බීජ ගිහින් උණ හැදිලා රෝහල් ගත කරන්න සිද්ධ වෙන්න පුළුවන් කියන අවබෝධය අපිට තිබුණොත් මේ ගැටලුව විසඳන්න පුළුවන්.

“අලුත් බබා රෝහලෙන් ගෙදර ගෙනියනකොට බබාව තියන තැන ඉතාම පිරිසිදුව සකස් කරන එක සාමාන්‍යයෙන් තාත්තගේ ප්‍රධාන වගකීමක්. ඒකට ගෙදර හැමෝගේම සහාය අවශ්‍ය වෙනවා. ගර්භණී කාලය තුළදීම මේ සඳහා පෙර සූදානම වැදගත්. ගෙදර පුංචි වුණත්, පහසුකම් අතින් අඩු වුණත් එය ඉතාම පිළිවෙළට ලස්සනට තියාගන්න පුළුවන්. බබා ඉන්න කාමරයට ඉතා හොඳින් හිරු එළිය හා වාතාශ්‍රය ලැබිය යුතුයි. ඒ නිසා කාමරයෙන් අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ආදිය පමණක් තබාගෙන අනෙක් සියල්ල ඉවත් කරගන්න ඕන. කාමරයේ තියන පරණ පොත්, සෙරෙප්පු, පරණ රෙදි ආදී සියල්ල ඉවත්කර හොඳ අවකාශයක් සකස් කර ගත යුතුයි. ඕන නම් වර්ණවත් රූප හැඩ තල අලවා කාමරය සරසා ගන්නත් පුළුවන්. එවැනි දේ කිරීමෙන් විශාල වාසි රැසක් ලැබෙනවා. ප්‍රධාන වශයෙන් දරුවාගේත්, මවගේත්, පියාගේත් මානසික සුවයත් රැකෙනවා. එවිට ප්‍රබෝධමත්ව දරු උපත සමරන්න පුළුවනි.
ගෙදර ආව පුංචි බබා කිරි බොනවා, නිදා ගන්නවා. ඒක තමයි බිලිඳෙකුගේ සාමාන්‍ය තත්ත්වය. ඒ නිසා මවුකිරි දීම තමයි මේ කාලය තුළ අම්මගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ. ඒ ගැන නම් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඉදිරියේදී මම දීර්ඝ වශයෙන් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බබාට මාස හයක් යන තුරාම මවු කිරි පමණක්ම ප්‍රමාණවත්. පුංචි බබා ඉපදිලා මුල් කාලෙදී පැය 2-3කට වාරයක් විනාඩි විස්සක් විතර එක දිගට කිරි බොනවා කියන කාරණාව විතරක් දැනට මතක තියා ගන්න.

අපේ පුංචි බබාට කිසිම හානියක් නොවී බලාගන්න එක තමා අපි හැමෝගේම බලාපොරොත්තුව. ඉතින් බබාගේ හිසේ ඉඳලා පාදාන්තය දක්වාම හැමදාම අම්මා බබාව නිරීක්ෂණය කරන්න ඕන. නමුත් බබාගේ හිස ඉපදිලා මුල් කාලෙදි අල්ලන්නවත් ඔබ බයයි නේද? මොකද හිස් මුදුන හරියට දොදොල් කෑල්ලක් වගේ එබෙනවා. හැබැයි ඒක බොහොම සාමාන්‍ය තත්ත්වයක් දරුවා බිහි කිරීමේ පහසුව සඳහාම හිස් කබල ඒ විදිහට සකස් වෙලා තියෙන්නේ. සති 6ක් විතර යද්දී ක්‍රමයෙන් හිස් කබල සම්බන්ධ වීමෙන් ශක්තිමත්ව එම මෘදු බව පහව යනවා. සමහර බබාලාගේ කොණ්ඬේ අඩු බවකුත් තියෙනවා. හුඟක්ම ඒ තත්ත්වය පෙන්නුම් කරන්නේ අඩු මාසෙන් ඉපදුණු බබාලා. ඒ ගැනත් අම්මාට බය වෙන්න දෙයක් නෑ.
ඊළඟට බබාගේ ඇස් දෙක ඔබ හැමදාම හොඳින් නිරීක්ෂණය කරන්න. බබාට ඉපදුනු වෙලාවෙත් හොඳට පේනවා. ඒ වගේම ඇහෙනවා. ඒක අමතක කරන්න එපා. බබාගේ ඇස්වල පැහැය, පෙනීම, වපරය අපට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් ඇස්වල දීප්තිමත් බව අඩු වී කහ පැහැයක් හෝ මළානික බවක් තිබෙනවා නම් එය අවදානම්.
බබාගේ කන් දෙක, නාසය පරීක්ෂා කර බලන්න. නාසය මද තෙත් ගතියක් තිබීම සාමාන්‍යයි. එය ටික දිනකින් යථා තත්ත්වයට පත් වෙනවා. කනට, නහයට පිරිසිදුකම සඳහා ආගන්තුක ද්‍රව්‍ය කිසිවක් දාන්න එපා.

බබාගේ කට, දිව පිරිසිදු කිරීමට උතුරුවා නිවාගත් ජලය මෘදු පිරිසිදු රෙදි කඩක පොඟවා ඉතා මෘදුව ඇඟිල්ලක ආධාරයෙන් සිදු කළ හැකියි. දිවේ කිරි මැලියම් ඇතිල්ලීම නොකළ යුතුයි. විශාල වශයෙන් දිවේ සුදු මැලියම් තිබේ නම් ඒ සඳහා ප්‍රතිකාර තිබෙනවා. ඒ වගේම දරුවාගේ බෙල්ල හොඳින් නිරීක්ෂණය කරන්නත් අමතක කරන්න එපා. තෙත රැඳී විෂබීජ වර්ධනය වීම නිසා දරුවාගේ බෙල්ල තුවාල වී තිබිය හැකියි.

ළදරු පියයුරු හොඳින් නිරීක්ෂණය කරන්න. ඇතැම් විට එහි කිරි වැනි ශ්‍රාවයක් තිබිය හැකියි. ඒ වගේම පියයුරු මදක් ඉහළට ඉළිප්පී තිබිය හැකියි. ඒ සඳහා කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ. ළදරුවාගේ පියයුරු මිරිකා ස්‍රාවයන් ඉවත් කිරීම කිසිම විටක නොකළ යුතුයි.
ළදරුවාගේ උදරය සම මතු පිට දිලිසෙමින් පිම්බී තිබීම සිදුවන්නේ වාතය පිරි තිබීම නිසා විය හැකියි. කිරි බීමෙන් පසු නිවැරැදිව ගුඩුස් හැරීම කළ යුතුයි. ඒ වගේම කළයුතු වැදගත්ම කාර්යයක් තමයි පෙකණියට සාත්තු කිරීම. පෙකණි වැල කියන්නේ මව් කුසේදී දරුවාට මව හරහා පෝෂණය, වාතය ගිය මාර්ගයි.

ළමා උපතෙන් පසුත් පෙකණිය හරහා රෝග කාරක විෂබීජ ශරීර ගත විය හැකියි. ඉපදී දින 2-10 වැනි කාලයක් තුළ පෙකණිය වියළි ගැලවී යනවා. පසුව එම ස්ථානය ඇතැම් විට තුවාලයක් ලෙස දින කිහිපයක් පැවැතිය හැකියි. පෙකණිය වටා නෑවීමේදී තෙමුණාට කමක් නැහැ. නමුත් එය ඉතා පිරිසිදු රෙදි කඩකින් පිසදා හොඳින් වියළා ගත යුතුයි. කිසිදු ඖෂධයක් පෙකණියට දමන්න එපා. හොඳින් වියළිව නිරාවරණව මැසි, මදුරුවන්, කෝඳුරුවන්ගෙන් ආරක්ෂා කර තබා ගත යුතුයි.

ඇතැම් මව්වරු මවු කිරි ලබා දීමේදී අනෙක් පියයුරේ කිරි පෙකණියට වැටීම නිසා පෙකණිය ආසාදනය විය හැකියි. කෙසේ හෝ පෙකණිය පිරිසිදුව වියළිව තබා ගැනීමට තරයේ සිහියේ තබාගත යුතුයි.

යම් ලෙසකින් පෙකණිය පැසවා ඇත්නම් එය අවදානම් සහගත තත්ත්වයක්. පෙකණිය පැසවා ඇත්නම් ඒ අවට රතු වී ඉදිමී තිබිය හැකියි. එවිට දුර්ගන්ධයක් හැමීමට පුළුවන්. හැඬීමට පුළුවන්. දරුවා උණ, කෙඳිරිය, කිරි උරා බීම අඩු කම පෙන්නුම් කළ හැකියි.
බබාගේ ලිංගේන්ද්‍රය ප්‍රදේශ හොඳින් පිරිසිදු කර වියළිව තබා ගත යුතුයි. මල, මුත්‍රා පිට කරන සෑම විටම ඒවා නිසි ලෙස බැහැර කළ යුතු අතර, බැහැර කිරීමෙන් පසු තමාද හොඳින් දෑත් සබන් දා සෝදා ගත යුතුයි. මල මුත්‍රාවල ඇති විෂබීජ කුඩා දරුවන්ගේ කියා වෙනසක් නැහැ. ඇතැම් ගැහැනු දරුවන්ගේ ලිංගේන්ද්‍රයන් වලින් යෝනි ස්‍රාවයන්ද පිටවිය හැකියි. එය පිරිසිදු කිරීම විනා ඒ ගැන බිය විය යුතු නැහැ. පියයුරු වල ස්‍රාවයද, යෝනි ස්‍රාවයන්ද කුස තුළ සිටින කාලයේදී මවගේ හෝමෝන නිසා සිදුවන වෙනස් වීමක් නිසා එය සාමාන්‍ය තත්ත්වයක් බව සිහියේ තබා ගන්න.

බබාගේ අත් පා හොඳින් නිරීක්ෂණය කරන්න. නමුත් ඒවායේ ඇද ඇරීම හෝ නාසය සෑදීම අපට කළ හැකි දේවල් නෙවෙයි. අත් පාවල යම් වෙනසක් ඇත්නම් ඒ සඳහා නිර්දේශිත ව්‍යායාම් ක්‍රම තිබෙනවා. දරුවාගේ නිය පොතු උපකරණයක් ආධාරයෙන් ආරක්ෂිතව කපා ඉවත් කරන්න. කිහිලි ඉකිලි පිරිසිදුව වියළිව තබන්න. දරුවා නිදි කර වීමේදී පැත්තකට හෝ මුණින් අතට තබන්න. එවිට කිරි වමනය ගියහොත් පිට උගුරේ යාමක් සිදු වෙන්නේ නැහැ. නැතිනම් බබාගේ ජීවිතයටද අනතුරක් වෙන්න පුළුවන්. කිරි වමනය යාම සාමාන්‍ය තත්ත්වයක්. ඉහත සඳහන් කළ ආකාරයකට හෝ වෙනත් යම් ආකාරයකින් බබාට අවදානම් තත්ත්වයක් මතු වුවහොත් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් උපදෙස් ගැනීමත්, වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත් ඉතා වැදගත්. ඔබට මේ ගැන යම් ගැටලු මතුවුණොත් ඒ ගැනත් අපට ලියන්න.

ලබන සතියේත් හමුවෙමු.

නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී-අනුරාධපුර ශික්ෂණ රෝහල
රූපවාහිනී/ගුවන්විදුලි සම්පත් දායිකා
ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම මාතෘ හා ළමා සෞඛ්‍ය වෙබ් අඩවිය
www.midwife.lk නිර්මාතෘ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>