TT Ads

කෙනෙකු වසඟයට ගත හැකි ඉනා බෙහෙතක් ලෙසින් එක්තරා ව්‍යංජන දෙකක් පිළියෙළ කිරීමට සමත් කාන්තාවන් ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ ප්‍රදේශයේ හිඳින බවට රාවයක් මීට අවුරුදු හතළිහකට පමණ පෙර දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැතිර තිබිණ. එම ව්‍යංජන දෙක වූයේ වම්බටු මාළුවක් හා පුහුල් හොද්දකි.

එම කාන්තාවන් විසින් පිළියෙළ කරන ලද එම ව්‍යංජන දෙක යම් තරුණයකු ආහාරයට ගතහොත් ඔහු බොහෝ විට එම පවුලෙන් සුදුසු තරුණියක් විවාහ කරගෙන එහිම “බින්න බහින” බවට ආරංචි එවක රටේ විවිධ ප්‍රදේශවල පැතිරෙන්නට විය. එමෙන්ම එය හුදෙක් කට කතාවක් නොවන බව සමහරුන් සනාථ කරන ලද්දේ එවැනි සිදුවීම් පිළිබඳ නිදසුන් පූගොඩ ප්‍රදේශයෙන් ඕනෑ තරම් සොයා ගත හැකි බවක්ද පවසමිනි.

ඒ කෙසේ හෝ එවක සමාජයේ තැනින් තැන ඉස්මතු වූ එම “හා හෝව” මඳ කලෙකින් මුළුමනින්ම පාහේ නෑසී ගිය මුත් එවන් හාස්කමක් සහිත බටු මාළුව සහ පුහුල් හොද්ද පිළිබඳ මතකයක් හෝ තවමත් එම ප්‍රදේශයේ වැඩිහිටි ගෘහණියන් තුළ තිබිය යුතුය. එබැවින් අපි ඒ විස්මිත රස ආහාරවල සුල මුල සොයා පසුගිය සතියේ එම ප්‍රදේශවල සංචාරය කළෙමු.

“ඔය කතාවට මුල පිරුණේ ෆීලික්ස් මහත්තයා. (හිටපු අමාත්‍යවරයකු වන ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක) මෙහේ පූගොඩ රෙදි මෝල පටන් ගත්තාට පස්සේ; පහුකාලෙදී ඒකේ වැඩට පිට පළාත් වලින් ආපු කොලු ගැටව් මේ පැත්තේ ගෙවල්වල බෝඩින් වුණා. ඒ කාලේ මේ පැත්තේ හැම තැනම වම්බටු, පුහුල් තිබුණා. ඉතින් ඒ කොළු ගැටවුන්ට බෝඩින් වලින් හම්බු වුණේ ඒ කෑම; පස්සේ ඒ කොලු ගැටව් ඒ ගෙවල්වලින් කෙල්ලන්ව කසාද බැඳගත්තම සමහරු ඒකට විහිළුවට කිව්වේ බටුමාළුව කෑවා කියලා; මගේ ගම මාතලේ. මාත් 1979 මෙහේ රෙදි මෝලේ රස්සාවට ඇවිත් 1981 දී මෙහේ “බටු මාළුව කාපු කොල්ලෙක්” අප හා එම රසවත් තොරතුරු අනාවරණය කළේ කපුගොඩ ගිරිදර දී අපට හමු වූ ආර්. එම්. පී. රත්නායක මහතාය. දැන් ඔහුගේ වයස අවුරුදු හැට එකකි.

ඒ පිළිබඳව කරන ලද වැඩිදුර විමසීම්වල දී පූගොඩ පෙහකම්හල 1975 වසරේ ජූලි 25දා විවෘත කරන ලද්දක් බව අනාවරණය කර ගත හැකි විය. එවක පැවැති සමගි පෙරමුණු රජයේ ප්‍රබල අමාත්‍යවරයකුව සිටි ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා දොම්පේ තරුණයන් හට රැකියා ලබා දීමට යොදා ගත් පූගොඩ පෙහෙකම්හලට 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය යටතේ කටාන සහ බිබිලේ ආදී දිවයිනේ දුරබැහැර ප්‍රදේශවලින් බොහෝ තරුණ පිරිස් සේවයට බැඳුණහ. ඒ එවක පේෂකර්ම අමාත්‍ය ධුරය කටාන ආසනය නියෝජනය කළ විජයපාල මෙන්ඩිස් මහතාටත් එහි නියෝජ්‍ය අමාත්‍ය ධුරය බිබිලේ ආසනය නියෝජනය කළ ධර්මදාස බණ්ඩා මහතාටත් හිමි වීම නිසාය. ඒ අනුව එම ප්‍රදේශවලින් පැමිණි තරුණයෝ පූගොඩ හා ඒ අවට නිවෙස්වල නවාතැන් ගත් අතර ඔවුන් එහිදී රසවිඳි පූගොඩ බටු මාළුවේ සහ පුහුල් හොද්දේ රසය පිළිබඳව සිය ගම් රටවලට ගොස් කොතෙකුත් උදම් අනන්නට ඇත. එම ව්‍යංජනවලින් තමන් ඉන් පෙර අත් නොවිඳි අමුතුම රසයක් අත්විඳීම ඔවුන්ගේ එම වර්ණනයන්ට හේතු වූ බව නිසැකය. ඒ අනුව එම තරුණයන් පසු කාලීනව තමන් නතර වී හිඳින නිවෙස්වල යුවතියන් හා පෙම් සබඳතා ඇති කර ගෙන විවාහ වීමේත් ඔවුන් පූගොඩ බටුමාළුවට සහ පුහුල් හොද්දට වසඟවීමෙන් යම් ගුප්ත සබැඳියාවක් ඇතැයි එම තරුණයන්ගේ වැඩිහිටියන්ට හැඟී යාමේ කිසිදු අරුමයක් නැත.

“අන්න අහවලාත් බටු මාළුව කාලා.”

තරුණයකු පූගොඩින් තරුණියක විවාහ කර ගැනීම එවක පූගොඩ පෙහෙකම්හලේ සේවය කළ සෙස්සන්ගේ සරදමට ලක්ව ඇත්තේ එලෙසිනි.

“ඔය ඉනාවේත් කතාව කොහොම වුණත් ඉස්සර මේ පැත්තේ උයන බටු මාළුවෙයි, පුහුල් හොද්දෙයි පුදුම රහක් තිබුණා; අපි කොල්ලෝ කාලේ ඔය තරාල පැත්තේ ගෙවල් වලින් ඕනෑ තරම් ඔය බටු මාළුවයි, පුහුල් හොඳ්දයි එක්ක බත් කාලා තියනවා; හැබැයි ඉතින් ඔය දෙක ඉස්තරම් විදිහට උයන්න දැනගෙන හිටියේ ඔය තරාල සෙනසුන්ගොඩ වගේ පළාත්වල හිටපු කතෝලික ගෑනු උදවිය. නමුත් ඒ මිනිස්සු කතෝලික හින්දා “ඔය ඉනාබේත් කතා ගැන නම් දන්නේ නැහැ. රෑ කෝකටත් තරාලේ පල්ලිය ළඟට ගිහින් ටිකක් විපරම් කළොත් ඔය ගැන යමක් කියන්න පුළුවන් වයසක අය හොයා ගන්න බැරිවෙන එකක් නැහැ.” මෙම චාරිකාවේ දී අපට හමුවූ කොස්ගම කනම්පැල්ලේ එම්. විලියම් මහතා කීය. ඔහුගේ වයස අවුරුදු අසූවකි.

පිළිගත් ඓතිහාසික මූලාශ්‍රවලට අනුව පූගොඩ තරාල යනු ශ්‍රී ලංකාවේ මුල්ම කතෝලික ජනාවාසයකි. සීතාවක රජ කළ මායාදුන්නේ රජතුමා (ක්‍රි. ව. 1521 -1581) පානදුර ආදී ප්‍රදේශවලින් යුද සේවයට බඳවා ගත් පිරිස් සීතාවක ගුරුගල්ලේ පදිංචි කරවා පසුව ඔවුන්ට කැලණි ගඟ සමීපයේ තරාල ප්‍රදේශයෙන් ඉඩම් ලබාදුන් බවක් පැවැසෙයි. ඒ අනුව එම වැසියන් කිතුනු දහම වැළඳගෙන ඇත්තේ 1662 වසරේ සීතාවකට පැමිණි ජුසේවාස් පියතුමා වෙතින් යැයිද කියනු ලැබේ. ඒ අනුව වසර හාරසිය පනහකටත් වැඩි ඉතිහාසයක් සහිත තරාලේ කිතුනු ජනතාවගේ ආගමික සංස්කෘතියේ මෙන්ම ආහාර සංස්කෘතියේද විශේෂතා දක්නට ලැබීමේ පුදුමයක් නැත. ඔවුන් පවසන මෙම බටු මාළුවේ සහ පුහුල් හොද්දේ අමුතු රසය හා ඒ සමාජ සංස්කෘතියේ ප්‍රබල සබැඳියාවක් පවතින බව නිසැකය.

පූගොඩ, තරාලේ සිරිකුරුස දේවස්ථානයට අද වන විට වසර එකසිය දාසයකි. ඒ අවට නිවෙස් කිහිපයකට ගොස් ඒවායේ වෙසෙන වියපත් ගෘහණියන් හමු වී එම බටු මාළුවේ සහ පුහුල් හොද්දේ රස රහස් දැන ගැනීමට අප උත්සාහ කළමුත් ඔහු පුන පුනාම කීයේ ඒ සඳහා තොරතුරු දැන ගත හැකි හොඳම කෙනා “ජෝන් අයියා” බවය. ඔහු මෑතක් වන තුරුම ප්‍රදේශයේ දාන මාන හා මංගල උත්සව සඳහා ආහාර සැපයූ සූපවේදියකු ලෙස කටයුතු කළ පූගොඩ උඩකනම්පැල්ලේ 79 වියැති ජෝන් පීටර් මහතාය.

“ඉස්සර මේ පැතිවල වම්බටුවලට මිලක් නැහැ. ඔය කැලණි ගඟේ ගංවතුරට අහුවෙන හරියේ කොටුවලින් ගෝනි ගණන් නිකම්ම වගේ කඩා ගන්න පුළුවන්; පුහුලුත් එහෙම තමයි. සමහර කාලවලට කොටුවල වැවෙන පුහුල් නිකම්වත් දීගන්න බැහැ. වම්බටුයි, පුහුලුයි එච්චර ගොඩක් තිබුණු හින්දා කාලාන්තරයක් තිස්සේ මේ පළාත්වල මිනිස්සු ඒවා එක එක විදිහට හැදුවා. ඔය වම්බටු ව්‍යංජන එක එක පාටට එක එක රසවලට හදන්න පුළුවන්; ඕනේ නම් එකම කෑම මේසෙට දෙතුන් විදිහකට හදලා තියන්න පුළුවන්. පාටයි රසෙයි වෙනස් නිසා හඳුනා ගන්නත් බැරි වෙන්න. පුහුල් නම් හදන්නේ අබ අඹරලා කිරටම තමයි. නමුත් අපි ඔය ව්‍යංජන දෙකකටම එක එක කුළු බඩු දානවා. රසය වැඩිවෙන්න; ඒක අපි පාරම්පරිකව කරන දෙයක්.” ජෝන් පීටර් මහතා කීය.

“ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව අළුපුහුල් යනු ශරීරයේ දෝෂ නිවාරකයකි. එහි fදාා්ෂ සමනය කිරීමේ හැකියාව කෙතරම් ප්‍රබලද යත් ඇස්වහ, කටවහ ආදී වන දෝෂ දුරලීමට පවා අළු පුහුල්වලට හැකියාවක් ඇතැයි සිතූ පැරණි ගැමියෝ එය ශාන්ති කර්ම සඳහා ද යොදා ගත්හ. අද නූතන සමාජයද එලෙසම කරති.

ඔය අළු පුහුල් තොවිල් පවිල් වලට ගන්න හින්දා සමහරු ඒවා කන්න බයයි. ඒ වගේම අළු පුහුල් ව්‍යංජනයේ රස සුවඳ ගන්න නම් හරි පදමට කුළු බඩු දාලා නියම විදිහට උයන්නම ඕනේ; අනික ඔය මස්, මාළු, ඉස්සෝ, දැල්ලෝ, තක්කාලි, විනාකිරි වගේ දේවල් එක්කර ගන්න කෑම වේලකට පුහුල් හොද්දකුත් එක් කර ගත්තොත් ඒවයේ විෂ මකා ගන්නත් පුළුවන්. ඒ හින්දා තමයි මෙහේ මිනිස්සු ඕවා වැඩිපුරම කෑමට ගන්නේ. මොකද මේ පැතිවල මිනිස්සුන්ගේ මස් මාළු ආහාරයට ගැනීම වැඩියි.” ජෝන් පීටර් මහතා කීය.
එමෙන්ම ඔහු කීයේ අතීතයේ ප්‍රදේශයේ දේවස්ථාන මංගල්‍යයට, නත්තල් උත්සවයට සේම මළවුන්ගේ දාන සඳහා පැමිණෙන පිටස්තරයන් මෙම ප්‍රදේශයේ පිසෙන බටු මාළුවේත්, පුහුල් හොද්දේත් රස රහස් විමසීම සාමාන්‍ය දෙයක්ව තිබූ බවය.

“හොඳයි” ජෝන් අයියාට දැන් බැරිද ඒ වගේ රසට බටු මාළුවක්, පුහුල් හොද්දක් හදන්න” මා ඔහුගෙන් එම පැනය අසා නිම වීමත් පෙරම ඔහු “බෑ” කීයේ තරමක් උස් හඬිනි.

“ඉස්සර ඔය ගඟ අයිනේ ඕවිටි වල දිගට හරහට බටු පුහුල් හැඳුණාට පහු වෙන කොට අවුරුද්දට දෙතුන් සැරයක් ගංවතුර ඇවිත්. ඒ කොරටු ඔක්කොම යටවෙලා වගාවත් කුණු වුණා; ඊට පස්සේ මිනිස්සු ඒ වගාවල් නතර කරලා ඒ බිම්වලින් පස් හෑරුවා; ගඩොල් කපන්න. ඒ වගේම ගඟෙන් වැලි ගොඩ දැම්මා. ඔහොම කාලයක් කර ගෙන යන කොට ගඟේ ඉවුරු පළල් වෙලා ගංවතුර අඩු වුණා; ඒ එක්කම අර ඉඩම්වල වටිනාකම ඉබේම ඉහළ ගියා. අද වෙනකොට ඒ කොරටු මුකුත් නෑ පේන්නේ නැද්ද. ඒ හැම තැනම බිල්ඩින් හැදිලා.”
“හොඳයි වම්බටු වගේ දෙයක් පිටින් ගෙනාවොත් හදන්න බැරිද?” මම යළිත් ඇසීමි. ඒ ඔහුගෙන් එම රසාලිප්ත ආහාර වට්ටෝරුව අසා දැන ගැනීමේ වුවමනාවද යටි සිතේ රඳවා ගනිමිනි.

“අද තියන වම්බටු දෙමුහුන් කරපු ඒවා; ඒවායින් අස්වැන්න වැඩියි; ඒවට හැදෙන ලෙඩ රෝග අඩුයි. නමුත් නියම රසය ගන්න බැහැ. ඒ වගේම ඒවා හිටවන පොළොව වස විසෙන් තැම්බිලා; ඔය හැම වගාවකටම වගේ මල් කාලේ ඉඳන්ම වස විස ගහනවා; ඒවා තමයි අපි කඩවල්වලින් අරගෙන කන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දී අර විදිහේ රසට කෑමක් හදනවා කියන එක විහිළුවක් විතරයි. අනික දැන් ඉතින් කෑම රහ කරන්න කියල දාන්නෙත් වස විසමනේ.”

එසේ කී ජෝන් පීටර් මහතා කීයේ මෙවන් තත්ත්වයක් යටතේ පූගොඩ, තරාල ප්‍රදේශයෙන් පරණ බටු මාළුවේ සහ පුහුල් හොද්දේ රස ගුණ සෙවීමට යාම සිහිනයෙන් දුටු ඉඩමක ඔප්පු පරීක්ෂා කිරීම පිණීස ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට යාමටත් වැඩි තකතීරු කමක් බවය.
මීට වසර හතළිහකට පමණ පෙර අනුභව කරන්නන් වසඟ කර ගත හැකි ඉනා බෙහෙතක් බඳු වූ පූගොඩ බටු මාළුවේත්, පුහුල් හොද්දේත් වර්තමාන කතාවේ සමාප්තිය සටහන් කළ හැක්කේ එලෙසිනි.

 

තිලක් සේනාසිංහ

 

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>