TT Ads

 

පුංචි තිරයෙන් සහ සිනමාවෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක වන රුවංගි රත්නායකගේ පෙම්වතා කවුද කියන එක බොහෝ දෙනාට කුතුහලයක් බවට පත්වෙලයි තිබුණේ. ඊට හේතුව තමයි ඇය මෙතෙක් කාලයක් තමන්ගේ පෙම්වතා ගැන තොරතුරු මාධ්‍යයට රහසක් විදියට තබා ගැනීම. ඒ විදියට කාලයක් තිස්සේ හැංගි හැංගි වෙස් බැඳපු රුවංගි පසුගියදා තමන්ගේ තනිකඩ ජීවිතයට තිත තැබුවා. එදා ඇරඹු අලුත් ජීවිතය සහ තමන්ගේ ආදර කතාව ගැන රුවංගි මේ විදියට අපිට තොරතුරු හෙළි කළා.

■ අන්තිමේදී රුවංගි හොර රහසේම මංගල ගමන ගියා නේද?
ඒක හොර රහසේ කරපු දෙයක් නෙමෙයි. නමුත්, කලා ක්ෂේත්‍රයේ හිතවතුන් ඇතුළුව ගොඩක් දෙනකුට ඒ අවස්ථාවට ආරාධනා කළේ නැහැ. මොකද, අපි එදා ගංගාරාම විහාරස්ථානයේදී විවාහ ගිවිස ගැනීමක් විතරයි කළේ. තව මාස දෙක තුනකින් ඒ හැමෝටම කියලා ලොකුවට විවාහ උත්සවය ගන්නයි අපි හිතාගෙන ඉන්නේ.

■ ඔබේ අත ගත්තු වාසනාවන්තයා කවුද කියා කියමු නේද?
එයාගේ නම නිර්මල ගමගේ. නිර්මල කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඔහු මැණික් ව්‍යාපාරිකයෙක්.

■ කොහොමද මේ ආදර කතාව පටන් ගත්තේ?
අපි දෙන්නා දැන හඳුන ගත්තේ පාටි එකකදී. ඊට පස්සේ ටික කාලයක් අපි යාළුවෝ විදිහට ආශ්‍රය කළා. කාලයක් යද්දී ඒ යාළුකම ප්‍රේම සම්බන්ධයකට පෙරළුනා. අවුරුදු හතරක් පෙම්වතුන් විදිහට ඇසුරු කරලා තමයි අපි විවාහ වෙන්න තීරණය කළේ.

■ මේ සම්බන්ධය විවාහය දක්වා දුරදිග ගෙනියන්න ඕන කියන අවබෝධය දෙන්නා අතරේ ඇතිවුණේ කොහොමද?
අපි දෙන්නාම හිතපු දෙයක් තමයි කවදා හරි විවාහ වෙනවා නම් අපේ අදහස් හොඳට ගැලපීමත්, දෙන්නාට එක වහලක් යට සතුටින් ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙන්න ඕන කියන එක. කාලයක් ආශ්‍රය කරද්දී අපි තේරුම් ගත්තා අපිට ඒ සුදුසුකම් තියෙනවා කියලා. ඒ හින්දා තමයි තවත් පමා නොවී අපි එක වහලක් යටට එන්න හිතුවේ.

■ අවුරුදු හතරක් නිර්මලට ආදරය කරපු ඔබ විවාහ වෙන තුරුම ඔහු ගැන තොරතුරු රහසක් විදිහට තියා ගත්තා. ඇයි ඒ?
මගේ පෙම්වතා කවුද කියන එක සමහරුන්ට නම් රහසක් වුණේ නැහැ. මොකද මීට අවුරුදු දෙක තුනකට කලින් මම මගේ උපන් දිනය සමරපු අවස්ථාවල ගත් ඡායාරූපවල පවා නිර්මල මගේ ළඟින්ම හිටියා. හැබැයි මම විවාහවෙන්න ඉන්නේ ඔහු එක්කයි කියලා මාධ්‍යවලට කියන්න මම ඉක්මන් වුණේ නැහැ. විවාහය කියන්නේ හොඳට හිතලා මතලා ගන්න ඕන තීරණයක්. නිර්මල ගැන හරියටම කියන්න නියම වෙලාව එනතුරු මම හිටියේ ඒ නිසයි.

■ කලාව නිසා රටේ නමක් දිනා ගත් රුවංගි කලා ක්ෂේත්‍රයේ නොවන කෙනෙකුව සහකරු විදිහට තෝරා ගන්න හිතුවේ ඇයි?
මම කලාකාරිනියක් කියලා කලා ක්ෂේත්‍රයේ කෙනෙක් එක්කම විවාහ වෙන්න ඕන කියන මතයේ මම සිටියේ නැහැ. කොහොමටත් මම කලා ක්ෂේත්‍රයේ නොවන කෙනෙක් එක්ක විවාහ වෙන්න තමයි ඉස්සර ඉඳන්ම හිතාගෙන හිටියේ.

■ තනිකඩව හිටපු කාලේ නිම වීමත් එක්ක ඉදිරි කාලයේදී ඔබේ සැමියාගෙන් ඔබේ රංගන ජීවිතයට තහංචි වැටේවිද?
විවාහ වුණා කියලා මට එහෙම වෙන එකක් නැහැ. හැබැයි පවුල් ජීවිතයට බාධාවක් නොවෙන විදිහට රංගන කටයුතු කරන්න කියලා තමයි නිර්මල කියන්නේ. ඒ විදිහට මගේ ඉදිරි කටයුතු සැලසුම් කරනවා කියන මතයේ තමයි මමත් ඉන්නේ.

ජීවිතය අලුත්වීමත් සමග දැන් අලුත් බලාපොරොත්තුත් හිතේ ඇති නේද?
එහෙම කියන්න තරම් ලොකු බලාපොරොත්තු නම් දැනට නැහැ. රංගන ජීවිතයත් සමබර කරගෙන, පුළුවන් තරම් සතුටින් පවුල් ජීවිතය ගත කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

කිෂාන් කනංකෙ
ඡායාරූප – ධනුෂ්ක සේනාධීර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>