TT Ads

ප‍්‍රතිජීවක භාවිතයේ වැරදි නිසා අනාගතයේ සෞඛ්‍යය ක්ෂේත‍්‍රයේ ඉතා අවදානම් සහගත තත්වයක් උදාවිය හැකි බව පුත්තලම් දිස්ත‍්‍රික් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප‍්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශයේ වෛද්‍ය දිනේජ් සුදර්ශන චන්ද්‍රසිරි මහතා පවසනවා. මේ ඔහු සමග සිදු කළ කතාබහක්.
ප‍්‍රතිජීවක, එහෙමත් නැත්නම් Antibiotic කියන්නේ මොකක්ද?
ප‍්‍රතිජීවකවලට Antibiotic කියන වචනයට වඩා Antimicrobial කියන වචනය තමයි හරියටම හරියන්නේ. Antibiotic කියලා කියන්නේ බැක්ටීරියාවන්ට එරෙහිව කියන එක. බැක්ටීරියා වලට අමතරව වෛරස, පුස් වර්ග, ප්‍රොටෝසෝවා වර්ග, හෙල්මින්ත් (පණු* වර්ග වගේ මිනිසාට බාහිරින් ඇතුළු වෙලා රෝග ඇති කරන සියළුම ජීවීන්ව මර්ධනය කරන්න හා ආසාදන වලක්වන්න යොදා ගන්න ප‍්‍රධානතම ඖෂධවලට තමයි ප‍්‍රතිජීවක Antimicrobial කියලා කියන්නේ. ලෝකයේ කාලෙන් කාලෙට ඇති වුණු මහාමාරිය, මැලේරියාව වගේ වසංගත නිසා මිනිස්සු විශාල ප‍්‍රමාණවලින් මිය ගියා. ඒවාට ප‍්‍රතිකාරකයක් විදියට ප‍්‍රතිජීවක සොයා ගත්තා. 1928 ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං විසින් සොයාගත් පෙනිසිලින් තමයි ලෝකයේ සොයා ගත් පළමු ප‍්‍රතිජීවකය.
මිනිසාට මේ තරම් ප‍්‍රතිජීවක වැදගත් වෙන්නේ ඇයි?
සාමාන්‍යයෙන් මිනිසාට ඇතිවන සරල රෝග ඒ කියන්නේ උගුරේ අපහසුතාව වගේ තත්වයක ඉඳලා ඉතාම දරුණු මට්ටමේ ආසාදන සහ වසංගත රෝග දක්වාම පාලනය කළ හැකි ප‍්‍රතිජීවක සොයාගෙන තියෙනවා. ඒ නිසා බටහිර වෛද්‍ය ක‍්‍රමය තුළ රෝගවලට ප‍්‍රතිකාර කිරීමේ දී ප‍්‍රතිජීවකවලට ලැබෙන්නේ මූලික තැනක්.
මේ රෝගකාරක ජීවීන් කාලයත් සමග ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන්න පටන් ගන්නේ නැද්ද?
කාලයත් එක්ක සමහර ජීවීන්ට ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ආකාරයට ස්වභාවිකව අනුවර්තනය වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ ක‍්‍රියාවලිය ස්වභාවිකව සෙමින් සිදුවන්නක්. වෛද්‍ය පර්යේෂකයන් මේ බව දන්න නිසාම රෝගකාරක ජීවීන් ප‍්‍රතිජීවකවලට අනුවර්තනය වෙන ආකාරය අධ්‍යයනය කරලා පෙනිසිලින්වලින් පටන් ගෙන ටිකින් ටික දියුණු කරමින් ප‍්‍රතිජීවක නිෂ්පාදනය කළා. නමුත් මේ වනවිට හිතපු නැති තරම් වේගයකින් මේ ජීවීන් ප‍්‍රතිජීවකවලට අනුවර්තනය වෙමින් පවතිනවා.
රෝගකාරක ජීවීන් ප‍්‍රතිජීවකවලට අනුවර්තනය වීම මිනිසා නිසා සිදුවෙන්නේ කොහොමද?
ප‍්‍රතිජීවක අවභාවිතය සහ අධිභාවිතය නිසා. අවභාවිතය කියන්නේ අනවශ්‍ය ස්ථානවලදී, අනවශ්‍ය අවස්ථාවන්වලදී, අනවශ්‍ය ප‍්‍රමාණවලින් ප‍්‍රතිජීවක භාවිත කිරීම. අධිභාවිතය කියන්නේ ප‍්‍රතිජීවක වර්ග වුවමනා ප‍්‍රමාණයට වඩා භාවිත කිරීම. සෑම ප‍්‍රතිජීවකයක්ම භාවිත කරන්න ඕනෙ ආකාරය සහ දින ගණන ගැන පර්යේෂණ සහ අධ්‍යයනවලින් හඳුනාගෙන තියනවා. ඒ බව නිෂ්චතව සහ පැහැදිලිව අදාළ පොතපතෙහි සඳහන් වෙනවා. නිශ්චිත කාලයට වඩා වැඩිපුර දීර්ඝකාලීනව මේවා භාවිත කිරීම සුදුසු නැහැ. ඉන් රෝගකාරක ජීවීන් ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දීමේ ක‍්‍රියාවලිය වේගවත් වෙනවා.
ඒ කියන්නේ යම් දවසක ප‍්‍රතිජීවකවලින් වැඩක් නැති වෙන්නත් පුළුවන්?
කාලයක් යද්දි ප‍්‍රතිජීවකවලින් මිනිසාට තිබුණු වාසිය, ඒ කියන්නේ මේවා භාවිත කරලා මිනිසාට ලෙඩ රෝගවලින් බේරෙන්න තිබුණු අවස්ථාව අඩු වීගෙන ගිහින් යම් දවසක ප‍්‍රතිජීවක නැති කාලයක් උදා වෙන්න පුළුවන්. රෝගකාරක ජීවීන් විනාශ කරන්න බැරි නම් ප‍්‍රතිජීවක තිබුණා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට පෙනිසිලින් හොයා ගන්න කලින් තිබුණා වගේ කාලයක් උදා වෙන්න පුළුවන්.
නැවත නැවතත් දියුණු කරමින් අලූත් ප‍්‍රතිජීවක නිෂ්පාදනය කරන්න පුළුවන් නේද?
ප‍්‍රතිජීවකයක් සොයා ගන්න තැන සිට එය මිනිසාට භාවිත කරන්න අවසර ලබාදීම තෙක් ගත වෙන කාලය අවුරුදු 10 සිට 20 දක්වා විය හැකියි. පසුගිය වසර 30 ක කාලය තුළ ලෝකයේ අලූතින් ප‍්‍රතිජීවක සොයාගැනීමක් සිදුකර නැහැ. ඒ කාලය තුළ සිදුකර තිබුණේ 1984 ට පෙර තිබූ ප‍්‍රතිජීවකවල විවිධ වෙනස්කම් සිදු කරමින් නිෂ්පාදනය කිරීමක් විතරයි. ඉතින් මිනිසාට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනෙ ඉදිරියේ දී මානව වර්ගයාට මුහුණ දෙන්න වෙන ප‍්‍රශ්නය කොච්චර බරපතලද කියන එක.
පහුගිය අවුරුදු 30 තුළ ප‍්‍රතිජීවක නිෂ්පාදනයට යොමු නොවුණේ ඇයි?
සාමාන්‍යයෙන් ලෝකයේ සිදුවන මරණවලින් වැඩි ප‍්‍රතිශතයක් සිදු වෙන්නේ බෝ නොවෙන රෝගවලින්. හෘදයාබාධ, අංශභාගය, දියවැඩියා සංකූලතා, පිලිකා සහ හදිසි අනතුරු වගේ දේවල් නිසා සිදුවන මරණ බෝ වන රෝග නිසා සිදුවන මරණවලට වඩා වැඩියි. ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් පෙලෙන්නේ බෝ නොවන රෝගවලින් මිස බෝ වන රෝගවලින් නෙවෙයි. ලෝකයේ ඖෂධ වෙළඳාම කියන්නේ අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක්. විශාල වශයෙන් මුදල් වියදම් කරලා ප‍්‍රතිජීවක නිෂ්පාදනය කළත් ඒවා පාවිච්චි කරන රෝගීන් ප‍්‍රමාණය අඩු අගයක් නම් ලාභ ලබන්න බැරි වෙනවා. ඒ නිසා ප‍්‍රතිජීවක නිෂ්පාදනය කිරීමෙන් ලබන ලාභයට වඩා බෝ නොවන රෝග සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමෙන් අති විශාල ලාභයක් ලබන්න පුළුවන්. ඉතින් ඔවුන් ලාභය උදෙසා මුදල් සහ හැකියාව ආයෝජනය කරනවා මිස ප‍්‍රතිජීවක නිෂ්පාදනය කරන්න යොමු වෙන්නේ ඉතාම අඩුවෙන්.
මේ ප‍්‍රශ්නයට හේතුව මිනිසා වගකීමකින් තොරව ඖෂධ භාවිත කිරීම ද?
ඒක පැහැදිලියි. වෛද්‍යවරයෙක් රෝගියෙකුට ඖෂධයක් නිර්දේශ කරන්නේ විශේෂඥ දැනුමකින් යුතුවයි. පළමු කාරණය වෙන්නේ ප‍්‍රතිජීවකයක් ලියන්න කලින් වෛද්‍යවරයෙක් අදාල රෝගය සඳහා ප‍්‍රතිජීවකයක් අත්‍යවශ්‍යම ද කියලා සළකා බලනවා. දෙවෙනි කාරණය මහජනතාව හිතාගෙන ඉන්නවා වෛරසවලින් ඇති කරන සාමාන්‍ය උණ, කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව වගේ රෝගවලටත් ප‍්‍රතිජීවක අත්‍යවශ්‍යයි කියලා. ඒ වගේ තත්වයන්වලට වෛද්‍යවරුන් රෝග ලක්ෂණ අනුව සිදුකරන ප‍්‍රතිකාර සහ විවේකය හොඳටම ප‍්‍රමාණවත්. නමුත් එක දවසෙන් රෝගය සුව කරගන්න ඕනෙ නිසා බොහෝ අය ප‍්‍රාථමික මට්ටමේ ප‍්‍රතිජීවක ප‍්‍රමාණවත් අවස්ථාවලත් ඉහළ මට්ටම්වල ප‍්‍රතිජීවක පාවිච්චි කරනවා. තුන් වෙනි කාරණය වෛද්‍යවරුන් දන්නවා යම් යම් ප‍්‍රතිජීවක පාවිච්චි කරද්දි කොච්චර කාලයක් ඒවා ලබාදෙන්න ඕනෙද කියලා. නමුත් මහජනතාව සරල වෛරස් උණටත් වෛද්‍ය උපදෙස්වලින් තොරව ෆාමසියකට ගිහින් නම කියලා ප‍්‍රතිජීවක අරගෙන කැමති විදියට පාවිච්චි කරනවා. එය ගැලපෙනවාද, අත්‍යවශ්‍යමද, දවස් කීයක් ගන්න ඕනෙද වගේ කාරණා ගැන වැටහීමක් නැහැ. ඉන් ශරීරයේ ඉන්න රෝගකාරක ජීවීන් මේ ප‍්‍රතිජීවකවලට ඔරොත්තු දෙන්න පටන් ගන්නවා. මේ විදියට ගිහින් අවසානයේ ප‍්‍රතිජීවකවලින් සුව කළ නොහැකි තත්වයට පවා පත් වෙන්න පුළුවන්.
ප‍්‍රතිජීවක වර්ග පාවිච්චි කරන්නේ මිනිසාගේ රෝග තත්වයන් සඳහා විතරද?
සත්ව ෆාම්වල සතුන්ගේ වර්ධනය වේගවත් කරන්න ප‍්‍රතිජීවක යොදා ගන්නවා. එහිදී ඒවා ඉහළ මාත‍්‍රාවලින් පරිසරයට නිදහස් වෙනවා. මිනිසා පාවිච්චි කරන ප‍්‍රතිජීවක පරිසරයට මුදා හැරෙන්නේ මළපහ හෝ මුත‍්‍රා සමගයි. සත්ව ෆාම්වල පොඩි ලාභයක් බලාගෙන මුළු සමාජයම අවදානමට ලක් කරලා ප‍්‍රතිජීවක වර්ග කෙලින්ම ඉහල මාත‍්‍රාවලින් පරිසරයට මුදා හරින නිසා පරිසරයේ ඉන්න අහිතකර ජීවීන් මේ ප‍්‍රතිජීවකවලට නිරාවරණය වෙලා එයට අනුවර්තනය වෙන්න පටන් ගන්නවා.
මේ තත්වයේ වගකීම ගන්න ඕනෙ කවුද?
මහජනතාව දැනගන්න ඕනෙ ඖෂධ පාවිච්චි කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම අපේ රටේ නීතියක් තියනවා වෛද්‍ය නිර්දේශයක් නැතිව ෆාමසිවලින් ඖෂධ නිකුත් කරන්න එපා කියලා. නමුත් ඒක හරියට ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ලෝකයේ වැඩිපුරම තියෙන්නේ Prescription only medicine (POM).   මේවා නිකුත් කරන්නේ වෛද්‍ය නිර්දේශයක් මත විතරයි. ඒ වගේම Over the Counter Drugs (OTC) කියලා හඳුන්වන ඖෂධවලට වෛද්‍ය නිර්දේශයක් අවශ්‍ය නෑ. ඒ කියන්නේ පැරසිටමෝල් වගේ දේවල්. නමුත් මහජනයා වැඩිපුරම ෆාමසිවලින් කියලා ඉල්ලා ගන්නේ (POM) ඖෂධ.
පළවෙනි වතාවෙන්ම රෝගය සුව කරලා මහජනතාව අතර නම දිනා ගත හැකි නිසා වෛද්‍යවරුන් අතින් මේ වගකීම පැහැර හැරෙන්නෙම නැද්ද?
අවුරුදු පහක් ඉගෙන ගෙන තවත් අවුරුද්දක් රෝහලක පුහුණු වුණාට පස්සේ තමයි වෛද්‍යවරයෙක් විදියට ප‍්‍රතිකාර කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ”වෛද්‍යවරයා” කියන සමාජයක් වෙනස් කරන්න පුළුවන් චරිතය හුදෙක් ලාභය තකා සමාජය අවදානමට දැමීම වරදක්. ඒ නිසා ඒ තත්වයට වෛද්‍යවරයා පත්විය යුතු නැහැ. වගකීමෙන් තොරව වෘත්තිය කරන අය ඉන්නේ ඉතාම අල්ප වශයෙන්.

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>