TT Ads

 

 

අසුපිට නැගී පවනට බඳු වේගයෙන් ඉගිලෙන මේ තරුණියගේ නම මැතිල්ඩා කාල්සන්ය. නම ඇසූ පමණින් ඇය විදේශික තරුණියක බවට ඕනෑම කෙනෙකු අනුමාන කරනවාට කිසිදුසැකයක් නොමැති වුවද, මැතිල්ඩාගේ ජීවන වෘක්‍ෂයෙහි මුල් විහිදී ඇත්තේ ශ්‍රී ලංකාවේය. බොහෝ දෙනා තවමත් නොදැන සිටියද, මැතිල්ඩා යනු ශ්‍රී ලංකාවට වටිනා සම්පතකි. මන්දයත්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් අශ්වාරෝහක තරග ඉසව්වක් වෙනුවෙන් තරගවැදීමට සූදානම් වන පළමු ශ්‍රී ලාංකිකයා ඇය වන නිසාය. මැතිල්ඩා එම හීනය සැබෑ කර ගැනීමට සූදානමින් සිටින්නේ මේ වසරේ ජූලි මාසයේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වෙන 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදීය.
ශ්‍රී ලාංකික මව්පිය යුවළකට දාව මැතිල්ඩා උපත ලැබුවේ 1984 වසරේ මහනුවරදීය. කෙසේ වෙතත්, ඇයට වැඩි කලක් සිය උපන් බිමෙහි ගත කිරීමට අවස්ථාව උදා නොවුණේ ස්විඩීන් ජාතික යුවළක් විසින් ඇයව හදාවඩා ගැනීමට භාරගත් නිසාය. එම භාරකාර මව්පිය යුවළ සමග ස්වීඩනය බලා පිටත්ව යන විට මැතිල්ඩා යන්තමින් තෙමසක් වයසැති බිලිඳියක විය. ක්‍රමයෙන් මුහුකුරායද්දී පවා සිය මව්රට හෝ සැබෑ දෙමාපියන් පිළිබඳ හාංකවිසියකුදු නොදැන සිටියද, මැතිල්ඩාට එහි කිසිදු අඩුපාඩුවක් නොදැනුණේ ස්වීඩනයේදී සිය භාරකාර මව්පියන්ගෙන් සියලු සැපසම්පත් ඇයට නොඅඩුව ලැබුණු නිසාය. අශ්වයන් පැදවීම යනු ස්වීඩනයේ කුඩා දැරියන්ගේ පවා දිවිපෙවෙතෙහි එක් සාමාන්‍ය අංගයකි. කුඩා කල විනෝදාංශයට අශ්වයන් හා පෝනියන් සමග කාලය ගත කළ මැතිල්ඩා වයසින් වැඩෙත්ම අශ්වයන් පැදවීම සිය ජීවන වෘත්තිය කරගැනීමට ඉටා ගත්තාය. ඒ, ඒ සඳහා වන දක්‍ෂතාවය සහ කැපවීම තමන් තුළ තිබෙන බව ඇය වටහාගත් නිසාය. වසර ගණනාවක් පුරා තමන් ලද පුහුණුවෙන් අනතුරුව අද වනවිට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක බවට පත්ව සිටින 35 හැවිරිදි මැතිල්ඩා මේ දිනවල සිටින්නේ ඔලිම්පික් පදක්කමක සිහින දකිමිනි.
මැතිල්ඩාට සිය උපන් රට වන ශ්‍රී ලංකාව සමග ඇති නෑකම නැවතත් අලුත්වූයේ මීට වසර දෙකකට පෙර ඇය පළමුවරට සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුවය. එහිදී ගත් තීරණයකට අනුව නැවත ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගත්තාය. ඒ ශ්‍රී ලාංකික ධජය යටතේ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අරමුණ ඇතිවය. ඉන් අනතුරුව ඔලිම්පික් උළෙල සඳහා තරග වැදීමට සුදුසුකම් ලැබීම පිණිස සිය කාලය මුළුමනින්ම පාහේ වැය කළ මැතිල්ඩාගේ ඔලිම්පික් සිහිනය සැබෑ වූයේ පසුගිය 2019 වසරේ දෙසැම්බර් මාසයේදීය. පසුගිය වසර කිහිපය තුළ අශ්වාරෝහක ක්‍රීඩාවෙන් පෙන්නුම් කළ ජාත්‍යන්තර මට්ටමේ දක්‍ෂතා හේතුවෙන් මැතිල්ඩා 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවාය. ඇය එම ඉලක්කය වෙත ළඟා වූයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා අශ්වාරෝහක ඉසව්ව යටතේ වන තරග අංශ තුනකින් සුදුසුකම් ලබන ලොව විවිධ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200ක් අතරට එක්වන කේවල තරගකරුවන් 15 අතරට එක්වීමෙනි. ඇය එම ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ ගිනිකොන දිග ආසියානු රටවල් සහ ශ්‍රී ලංකාව ඇතුළු ඕෂනීය කලාපයේ රටවල් සඳහා අශ්වාරෝහක ක්‍රීඩාවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී වෙන් කෙරෙන ස්ථාන දෙක, එනම් එම කලාපයෙන් සුදුසුකම් ලබන තරගකරුවන් දෙදෙනා අතරට එක්වෙමින් වීම විශේෂත්වයකි.
ශ්‍රී ලාංකිකයන්ට තවමත් ආගන්තුක වූ ක්‍රීඩාවකින් මෙරටට කීර්තියක් අත්පත් කරදීමට සැරසෙන මැතිල්ඩා කාල්සන්ට තවමත් ශ්‍රී ලංකාවේ සිටින ඇගේ සැබෑ දෙමාපියන් හමුවී නැත. “පොඩි කාලේ ඉඳන්ම ස්වීඩනයේ ඉන්නා මා හදාවඩාගත් දෙමාපියන් එක්ක ජීවිතය ගෙවුණු නිසා සැබෑ දෙමාපියන් නැති අඩුව මට කවදාවත් දැනුණේ නැහැ. මොකද ඔවුන් තමයි මට මේ වගේ ගමනක් එන්න නිතරම සහයෝගය ලබා දීලා ඒ මග සකස් කරලා දුන්නේ” මැතිල්ඩා එසේ පවසන්නීය.
ශ්‍රී ලංකාවේ ඔලිම්පික් තරග ඉතිහාසය අලුතින් ලිවීමට සූදානම් වෙන මැතිල්ඩාට දැන් ඇත්තේ එකම බලාපොරොත්තුවකි. “මේ ආපු දුර ගැන මට ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකාවේ ධජය යටතේ තරගවැදිලා කොහොම හරි අවසන් වටය දක්වා ඇවිත් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනාදීමයි මගේ මීළඟ ඉලක්කය” මැතිල්ඩා එසේ පවසන්නේ ඔලිම්පික් පදක්කමක් පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් ශ්‍රී ලාංකිකයන් තුළ ඇති කරවමිනි.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>