TT Ads

දුව නිසා මගේ හිතේ අමාරුව තවත් වැඩි වුණා
අශානිගේ කතාව

පළමු විවාහයේ මගේ සැමියා වුණු අකිලගෙන් මම නීතියෙන් වෙන් වෙද්දී දුවට යන්තම් අවුරුදු තුන සම්පූර්ණ වුණා විතරයි. ඒ මානසික පීඩාවෙන් මම යන්තමට හරි අත් මිදුනෙ මගේ යෙහෙළියකගේ උපකාරයෙන් මටත් දුවටත් විදේශයකට යන්න අවස්ථා උදාවීමත් එක්කයි.

පුංචි කාලේ ඉඳලම දුව බටහිර රටක හැදුණ වැඩුණ නිසා එයා කතා කළේ හැසිරුනේ , ඇන්දේ පැළැන්දේ වුණත් ඒ රටේ විදිහට, නව යොවුන් තරුණියක් විදිහට අපේ රටේ හැදුණ වැඩුණ ගෑනු ළමයෙකුගේ තිබුණ සංවරකම හැදියාව එයා ළඟ නැති බව මම දැක්කා. ඒත් ඒ වෙද්දී මට හරි වැරැද්ද කියල දෙන්න පුළුවන් හික්මීමක එයා හිටියේ නැහැ. දුව බාගෙට ඇඳගෙන සංකර විදිහට මහ පාරේ යන එක ප්‍රංශ රටේ අයට ගාණක් වුණේ නැහැ. ඒත් ඒක මට අම්මාකෙනෙක් විදිහට බලා ගෙන ඉන්න පුළුවන් වුණේ නැහැ. එයා මට පෙනෙන්න දැනෙන්න පවා පිරිමි ළමයි එක්ක හැසිරෙන අශෝභන විදිහ දැකලා මට මං ගැනම ලැජ්ජාවක් ඇතිවුණා. බැරිම තැන මම හිතුවා දුවව අරගෙන ආපහු ලංකාවට යනවා කියලත්. ඒත් ඒ වෙද්දී දුවගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා නොතිබුණු නිසා මට ඒ තීරණේට එන්නත් පුළුවන් කමක් තිබුණේ නැහැ.

බැඳපු දා ඉඳලා අකිල නිසා නොසෑහෙන්න දුක්වේදනා විඳපු මම දුව ලොකු වෙන්න ලොකු වෙන්න එයා නිසාත් හිත් වේදනා විඳිද්දී මට මගේ ජීවිතෙත් එපා වෙලයි තිබුණේ.

එහෙම ඉන්න කාලෙදී තමයි ප්‍රසාද්ව දැන හඳුන ගන්න ලැබෙන්නේ. එයා මම වගේම මැදිවියේ හිටපු කෙනෙක්. ඒ විතරක් නෙවේ එයා මූණ දීලා තිබුණෙත් මගේ ඉරණමටමයි. ප්‍රසාද්ගේ වයිෆ්ගෙනුත් එයා වෙන් වෙලයි විදෙස් ගතවෙලා තිබුණේ.

මුලින්ම අපි දෙන්නා අතරේ ඇතිවුණ හිතවත්කම පස්සෙ කාලෙකදී ප්‍රේම සම්බන්ධතාවක් දක්වා දිග් ගැස්සුණාට පස්සේ ප්‍රසාද්මයි යෝජනා කළේ අපි ඉක්මනට විවාහ වෙමු කියලා. ඒ යෝජනාව මම මුලින්ම දුවට කිව්වේ එයාගේ අකමැත්තක් තිබුණොත් ඒ සම්බන්ධෙ එතනින්ම ඉවර කරලා දාන්න හිතාගෙන. ඒත් දුව ඒ ගැන මහ ඉහළින් සතුටු වුණා විතරක් නෙවේ. පුළුවන් තරම් ඉක්මනට මට ප්‍රසාද් එක්ක විවාහ වෙන්න කියලත් කිව්වා. දුව එහෙම කිව්වේ මගේ සතුට ගැන හිතලා කියලා ඒ වෙලාවෙදී හිතුනට මොකද ඒත් එක්කම “අම්මෝ එතකොට මට ඔයාගෙන් කනක් ඇහිල මට මගේ පාඩුවේ ඉන්න පුළුවන්” කියලා දුව කියද්දියි මම එයාගේ සිතැඟි හරියටම තේරුම් ගත්තේ.

වැඩි දවසක් යන්න කලින් ප්‍රසාද්ගෙයි මගෙයි විවාහය සිද්ධ වුණා. ඊට පස්සේ දුවයි මමයි දෙන්නම ප්‍රසාද් ජීවත් වුණු ගෙදරට පදිංචියට ගියා. තාත්තා කෙනෙක් වගේ ප්‍රසාද් දුවගේ හැමදේම හොයලා බලද්දී මම හිතුවා දුව ටිකක් හරි වෙනස් වේවි කියලා. ඒත් එයාගේ හැසිරීම් රටාවේ කිසිම වෙනසක් ඇති වුණේ නැහැ. ඒ මදිවට මම තවත් අසරණ වුණේ ප්‍රසාද් දුවගේ ඒ දේවල් අබමල් රේණුවකට ගණන් නොගත්ත එක ගැන. මම දුවට දොස් නගද්දීත් එයා ගත්තේ දුවගේ පැත්ත.

“දුව හැදුණේ වැඩුණේ මේ රටේ. හය හතර නොතේරෙන වයසේදීම දුවව මේ වගේ රටකට එක්ක ඇවිත් දැන් ඔයා දුවගෙන් ලංකාවේ හැදියාව බලාපොරොත්තු වෙන්න එපා” කියලයි ඒ වෙලාවට එයත් මට කිව්වේ. එයා එහෙම කියද්දී මට ප්‍රසාද් එක්කත් ආපු කේන්තියට කොයි වෙලාවෙත් මම එයත් එක්කත් පැටලැවුණා. ප්‍රශ්නෙ දිගින් දිගටම ඔය විදිහට ඇදි ඇදී තියෙද්දී ප්‍රසාද්මයි මට කිව්වේ “එහෙනම් ඔය දෙන්නා ලංකාවට ගිහින් බලන්න. මම ටික දවසකින් එන්නම්” කියලා.

ඒත් ලංකාවට ආවට පස්සේ තමයි ආපු මෝඩකම කියලා මට හිතුණේ. දුව ඒ රටේ වගේ ලංකාවේදී අඳින්න පළඳින්න හැසිරෙන්න ගනිද්දී මට විලි ලැජ්ජාවේ පණ නහගන්න තරම් හිතුනා. ඒ මදිවට දුව මගේ අක්කගෙ පුතෙක් වුණ පුංචි දරුවෙකුත් ඉන්න ආකාශ් එක්ක පැටලිලා කියලා ආරංචි වුණාට පස්සේ මට දෙලෝ රත් වුණා. දවසක් දෙන්න හෝටල් කාමරේක ඉඳලා අහුවෙලා අක්කා යක්‍ෂාවේශ වෙලා මාව හොයා ගෙන ඇවිත් මගේ කම්මුලට පාරක් ගහලා කිව්වා “අර පරට්ටිවත් අරගෙන හිටපු තූත්තුකුඩියකට මකබෑවියං” කියලා.

එදා නම් මට මගේ ජීවිතේ අන්තයට කලකිරුණා. ප්‍රසාද් ලංකාවට දුවගෙන ආවේ මම මොනවාහරි කරගනිවී කියලයි. අන්තිමට එයා තමයි මාව මෙතනට එක්කරගෙන ආවේ.

අශානි කොයිදේටත් ඉක්මනින් කලබල වෙනවා

ප්‍රසාද්ගේ කතාව

මගේ කලින් වයිෆ් එක්ක බලද්දී අශානි ඇත්තටම ගොඩක් හොඳ බිරිඳක්. ඒත් එයා තුළිනුත් මම දැකපු දුර්වලතා ගොඩයි. එය කොයි දේටත් ඉක්මනටම කලබල වුණා. ඒ නිසාම එයා නිතරම කෝප ගත්තා. මොකක් හරි දෙයක් හිතට වැදුනොත් එයා දවස් ගණන් ඒ ගැන හිත හිතා ඉන්නවා මිසක් වෙන කිසිම දෙයක් ගැන හැඟීමක් එයාට නෑ.

අශානිගේ දුවගේ හැසිරීම ලංකාවේ සංස්කෘතියත් එක්ක ගළපන්න බැරි බව ඇත්තයි. ඒත් අපි ජීවත් වුණ ප්‍රංශයට ඒවා සාමාන්‍යයයි. එයා පුංචි කාලේ ඉඳලා හැදුණේ වැඩුණේ ඒ රටේ. පස්සේ කාලෙකදී ඒ ළමයා තුළින් ලංකාවේ ගෑනු ළමයෙකුගේ හැසිරීම් රටාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ දේවල් මම අශානිට ඒත්තු ගන්වන්න යද්දී එයා කළේ මාත් එක්කත් පැටලුණු එකයි.

බැරිම තැනයි අශානි දුවත් එක්ක ලංකාවට යනවට මම කැමති වුණේ. ලංකාවට ගියා කියලා තත්ත්වය තවත් නරක අතට හැරෙනවා මිස සිද්ධ වෙන යහපතක් නැති බව මම නොදැන හිටියා නෙමේ. ඒත් දිගින් දිගටම මාත් එක්කත් රණ්ඩු කරමින් අශානි ජීවත් වෙන විදිහ වෙනස් කරන්න ඕන නිසයි මම එයා ලංකාවට යනවට අකමැති නොවුණේ. සිද්ධ වෙච්ච දේවල් දරා ගන්න බැරිව එයා මොකක් හරි කරදරයක් කර ගනීවී කියන බයටයි මමත් ඒත් එක්කම ලංකාවට ආවේ.

 

අශානිට මොකද වුණේ?

 

බොහෝ කලක සිට නොයෙකුත් හැල හැප්පීම් මැද ජීවත් වුණු මෙම කාන්තාව විශාද තත්ත්වයට පත්ව සිටි අයුරු අප හඳුනා ගත්තා.

ඇය පළමුවරට මානසිකව කඩා වැටීමකට ලක් වන්නේ ඇගේ පළමු සැමියා නිසයි. දික්කසාදයෙන් පසුව ඇය යම් පමණකට යථා තත්ත්වයට පත්ව සිටියත් පෙර කඩා වැටීම හේතුවෙන් හුදකලා බවින් ගොඩ ඒම පහසු වුණේ නෑ.

දෙවන වර ඇය මානසිකව කඩා වැටෙන්නේ දියණියගේ නොමනා හැසිරීම හේතු කොටගෙනයි. යම් මානසික සුවයක් අපේක්‍ෂාවෙන් ඇය දෙවන විවාහයක් කරා ගියද ඇගේ සිත සුවපත් කරන්නට ඔහුද පොහොසත් වන්නේ නෑ.

දියණියගේ ක්‍රියාකලාපය ඇය දිනෙන් දින මානසිකව බිඳ වැටීමට ලක් කළ අතර අවසානයේ ඇය ලංකාවට එන්නට තීරණය කරන්නේ වෙනත් විකල්පයක් නොදුටු නිසයි. ඇය අප කරා යොමු වනවිට විශාද තත්ත්වය අන්තයටම ගොස් ජීවිතය එපා වී තිබූ අවධියක සිටියේ. ඒ වනවිට ඇය දිවි නැති කර ගන්නට පවා උත්සාහ දරා තිබුණා. ඇය සුවපත් කර ගන්නට මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කර මනෝ වෛද්‍ය ප්‍රතිකාර සේම ඉන්පසු මනෝ චිකිත්සක ප්‍රතිකාර ද ලබා දෙන්නට අපට සිදුවුණා. පසුගිය දිනයක ඇය සැමියා සහ දියණිය සමග ප්‍රංශය බලා පිටත්ව ගියේ සුවපත් මානසිකත්වයක් සහිතවයි.

 

දම්රිවි පදනමේ ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක සුරංග අමරකෝන්

උත්පලා සුභාෂිනී ජයසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>