TT Ads

 

දෙසැම්බර් සහ අප්‍රේල් කියන්නේ ශ්‍රී ලාංකිකයන් වෙච්ච අපිට සල්ලිවල වටිනාකම වැඩියෙන්ම දැනෙන මාස දෙකක්.
කොහොමද නත්තල්……?
කොහොමද අවුරුදු……?
මේ කියන ප්‍රශ්න දෙකම අපි තවත් කාගෙන් හරි අහන්නේ මේ කියන මාස දෙකේ.
“සල්ලි තියෙනවා නම් ඉතින් හැමදාම නත්තල් තමයි“
“අපි අවුරුදු කෑව නෙමෙයි, අවුරුද්ද අපිව කෑවා…”
මේ කියන උත්තරත් අපිට වැඩියෙන්ම අහන්න ලැබෙන්නෙත් මේ කියන මාස දෙකේ. අලුත් අවුරුද්දක් ලබන්න…. ඒ කියන්නේ 2020 උදාවෙන්න තියෙන්නේ තව ටික දවසක් විතරයි. ඒ වගේ පුංචිම කාලයක් ඉතිරිවෙලා තියෙද්දී පොඞ්ඩක් හිතා බලන්න, දැන් ඔබ ඉන්නා මානසික තත්ත්වය ගැන. මේ ප්‍රශ්නය තවත් පහසු විදියට මම මෙහෙම අහන්නම්. ඔබ 2020 වසරට පය තබන්න හදන්නේ සතුටින්ද? දුකෙන්ද?
මගේ මේ ප්‍රශ්නයට ඔබ එක එක විදියේ උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඒ ලැබෙන උත්තර තරාදියක දෙපැත්තට දාලා කිරලා බැලුවොත් හරි පැහැදිලි උත්තරයක් අපිට ලබා ගන්න පුළුවන්.
“මොකක්ද දන්නවද උත්තරේ…?” ඒ තමයි මේ ලෝකේ වැඩිපුරම දෙනා අලුත් අවුරුද්දකට මුහුණ දෙන්නේ බයෙන්, තැති ගැන්මෙන්, අවිශ්වාසයෙන් කියන එක.
“එතකොට අලුත් අවුරුද්ද පිළිගන්න ගොඩක් අය මල්වෙඩි දාලා, රතිඤ්ඤා දාලා දඟලන්නේ…”
“එහෙම කරන්නේ හිතේ බය නැති කරගන්නයි. තවත් කෙනකුට තමන්ගේ බය, පරාජිත බව නොපෙන්වා ඉන්නයි.”
මගේ හිතේ ඇති වුණු මේ හැඟීම මේ විදියට ලිව්වේ ඔබේ ආත්ම විශ්වාසය තවත් පහළට දමන්න නෙමෙයි. ඒ වගේම ඔබව මානසිකව වට්ටන්නවත් නෙමෙයි.
මට මේ වගේ අදහසක් ඇති වුණේ මගේ මිතුරෙකු නිසා. නත්තලට කලින් බොහෝ සේවා ස්ථානවල වැටුප් ආදිය ලබාදී සේවකයන් තෘප්තිමත් කිරීම බොහෝ විට සිදුවෙන දෙයක්. මෙය රාජ්‍ය අංශයටත්, පෞද්ගලික අංශයටත් පොදුයි. මේ කියන මගේ මිතුරා මේ කතාව කිව්වේ නත්තල ඉවර වෙලා හරියටම දවසකට පස්සෙයි.
“නත්තල් කාලා පඩියම ඉවරයි. කොල්ලටයි, කෙල්ලටයි ඉස්කෝලෙ යන්න ඇඳුම් ගත්තෙත් නෑ. ඇයි සපත්තු.. පොත්පත්.. තව වයිෆ් අවුරුද්දට ගේන්න කියපු බඩු ලිස්ට් එක.. මේව හිතෙන කොට මට නිකම් පිස්සු වගේ. මොකද ආයතනයෙන් කියලා ණයක් ගන්නද? ඊළඟ මාසේ ගෙවන්නේ කොහොමද කියලා හිතන්න ගියොත් මට කෑගහලා අඬන්න හිතෙනවා. දුක හරි පොඞ්ඩක් තුනී වෙන්නේ රෑට අඩියක් ගැහුවොත් විතරයි.”
මේ මගේ මිතුරාගේ කතාවයි. නත්තල් කාලාම සිය පඩිපතද අවසන් කර ගෙන සිටි මගේ මිතුරා කිතුනුවෙකු ද නොව, බෞද්ධයෙකි.
මේ කියන මිතුරා ඔහුගේ නැතිබැරිකම මා සමග පමණක් නොව දන්නා කියන සියලුදෙනා සමගින්ද කියයි. මට හැඟෙනා ආකාරයට ඔහු සියලුදෙනා වෙතින් බලාපොරොත්තු වෙන්නේ අනුකම්පාවකි.
“ඔබ දැකලා තියෙනවද සමහර පුංචි ළමයි වැටුණාම එකපාරටම අඬන්නේ නෑ. වටපිට ඉන්න අයගේ ප්‍රතික්‍රියා දිහා ටිකක් හොරෙන් වගේ බලනවා. ළඟ ඉන්න අය දරුවා ගැන අනුකම්පා කරලා හුරතල් වචන වලින් සනසලා උස්සන්න ගියොත් කෑගහලා අඬනවා. හැබැයි ළඟ ඉන්න අය ගණන් නොගෙන හිටියොත් ඒ අයම සද්ද නැතිව නැගිටිනවා”
අනුකම්පාව ලබන්න ලබන්න, හුරතල් වෙන බොළඳ ගතියක් අපේ හිත්වල තියෙනවා. කෙනෙක් තමන් ගැන අනුකම්පාවෙන් කතා කරන කොට, අනුකම්පාවෙන් ප්‍රතික්‍රියා දක්වන කොට අපේ හිත්වලට පුංචි සැනසිල්ලක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒත් ආත්ම අනුකම්පාව කියන්නේ අපේ මානසික සුවයට කොහෙත්ම හිතකර නැති විෂ වායුවක් වගේ දෙයක් කියලා බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ.
ජීවිතේ පුංචි පුංචි හිත් තැවුල් කාටත් ඇතිවෙනවා. නැතිබැරිකම් වුණත් එහෙමයි. ඒත් ඒවා ගැන මහා විශාලෙට හිතන්න යන්න එපා. අනුන්ගෙන් අනුකම්පාව හිඟාකන්නත් එපා. විභාගයක් අසමත් වුණොත් සමහරු ජීවිතේම ඉවරයි කියලා හිතනවා. පෙම්වතිය වෙනස් වුණොත් සමහරු වස බොන්න හදනවා. ඒත් විභාගය අසමත්වීම ලෝකයේ අවසානය නෙමෙයි. පෙම්වතියක් බොරු කරලා වෙන්වුණා කියන එක මැරෙන්න තරම් දෙයක් නෙමෙයි. ඔය වගේ වෙලාවට හිතට අවශ්‍ය, ආත්ම ශක්තිය විතරයි. එහෙම නැතිව කාගේවත් අනුකම්පාව නෙමෙයි. කෙනකුට ඔබේ හිත හදන්න පුළුවන්. අවවාදයක් දෙන්නත් පුළුවන්. ඒත් දෙපයින් නැගී සිටින්න ඕනේ ඔබමයි.
ඒ නිසා ඔබත් මගේ මිතුරා වගේ, ඔබේ නැතිබැරිකම ගැන තැන තැන කියව කියවා යන්න එපා. කාගේවත් ආත්මානුකම්පාවක් ලබන්න උත්සාහ කරන්නත් එපා. ඔබේම දෙපයින් නැගී හිටගන්න උත්සාහ කරන්න. ලෝකයේ ස්වභාවය, අපේම වැරදි චර්යාවන් හඳුනා ගන්න. එතකොට කාගේවත් අනුකම්පාවක් නැතිව ජීවත් වෙන්න ඔබටත් පුළුවන්කම ලැබේවි.

ගීත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>