TT Ads

ඔබ ඔබගේ සැමියාට, දරුවන්ට දැනෙන්න ආදරේ කරනවාද? එහෙමත් නැත්නම් ඔබ ඔබේ බිරිඳට, දරුවන්ට දැනෙන්න ආදරේ කරනවාද? මේ ප්‍රශ්නයම ඔබේ පෙම්වතාට, පෙම්වතියට දැනෙන්න ඔබ ආදරේ කරනවාද කියලත් මට අහන්න පුළුවන්.

ඇත්තටම මේ ප්‍රශ්නය අවංකවම ඔබේ හදවතින් ඇසිය යුතු ප්‍රශ්නයක්. මම එහෙම කියන්නේ ඇයි දන්නවද? ඔබ ඔබේ සැමියාට, බිරිඳට හරිම ආදරෙයි… එහෙමත් නැත්නම් පෙම්වතාට, පෙම්වතියට හරිම ආදරෙයි… දරුවන්ට වුණත් එහෙමයි. ඒත් ඒ ආදරය ඔබෙන් ඔවුන්ට දැනෙන්නේ නැහැ. අන්න එහෙම වුණොත් තමයි “ප්‍රශ්නය” මතුවෙන්නේ.

අපි එක පාර්ශ්වයකට අදාළව මේ ප්‍රශ්නය විසඳාගන්න බලමු. ඔබ පෙම්වතියක්. එහෙමත් නැත්නම් බිරිඳක්. ඔබේ පෙම්වතාට හෝ ස්වාමිපුරුෂයාට දැනෙන්න ආදරේ කරන්නේ කොහොමද? “ආදරය” කියන දෙයින් අදහස් වෙන්නේ එකට තුරුලුව හැම වෙලාවෙම ඉන්න ඕන කියන එක නෙමෙයි. ප්‍රායෝගිකව එහෙම ඉන්න බැරි අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඒත් ඔබේ කතාවෙන්, බැල්මෙන්, හැසිරීමෙන් පවා “ඔබේ ආදරය” දැනෙන්න ප්‍රකාශ කරන්න පුළුවන්.

කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන හිතවතියක් පසුගිය දවසක මට හමුවුණා. ඇය මා සමග කිව්වේ මේ වගේ කතාවක්.
“ඉස්සර කාලෙ වගේ නෙමෙයි දැන්. අපිත් පිරිමි වගේ මහන්සි වෙලා රස්සාවල් කරනවා. උපාධියෙන් පස්සේ තව තවත් ඉගෙන ගන්නවා. ගෑනු කියන්නේ ගේ මුල්ලේ බත් තම්බ තම්බා දරුවෝ හදන මැෂින් නෙමෙයි. ඒ නිසා ඉස්සර පිරිමි අපෙන් බලාපොරොත්තු වන දේ අද බලාපොරොත්තු වෙන එක වැරදියි. ඉස්සර කොල්ලෙක් තමයි කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න ඇහුවේ. අද ඒක වෙනස් වෙලා. කෙල්ලොත් කොල්ලන්ගෙන් යාළු වෙන්න අහනවා. පිරිමි නිවාඩු දවසට පත්තර, ටී.වී. බලනකොට ගෑනු රෙදි හෝද හෝද, බත් උය උය මැරෙන්න ඕනද? අපේ ගෙදර නම් එහෙම නෑ. අපේ ගෙදර තේ හදන්නේ මහත්තයා. ඒ විතරක් නෙමෙයි සමහර දවසට උයනවත් එක්ක. තේ එකක් හදලා මගේ ළඟට ගෙනත් දෙන එක එයාට ලැජ්ජාවක් නෙමෙයි.”
ඇය කියපු විදියට ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයා මේ හැම දෙයක්ම කරන්නේ බයාදුකමටවත්, නිවට නියාලු කමටවත් නෙමෙයි.

“ඒකට තමයි ආදරේ කියන්නේ… ජීවිතේ ෂෙයා කරගන්න බැරි නම්, දෙදෙනා අතර අවබෝධයක්, සහයෝගයක් නැතිනම් ජීවිතේ ගෙනියන්න බෑ.”

එහෙම කියපු ඇය මගෙන් වෙන් වුණේ තමන්ගේ සැමියාට මෑතකදී රැකියාවේද උසස්වීමක් ලැබුණු බව කියමින්.
මම ඇය කියපු කතාව ඒ විදිහටම ලිව්වේ මග තොටේදී වුණත් අපට හමුවන අයගෙන් අපේ ජීවිතවලට ගන්න පුළුවන් බොහොමයක් වැදගත් දේවල් තියෙන නිසා.

අපිට හරිම පහසුවෙන් කරන්න පුළුවන් තවත් පුංචි වැඩක් ගැන හිතමු.

ඔබ ඔබේ සැමියාට තේ එකක් හදාගෙන යනවා. ඔහු තේ එක බොන කොට ඔබ ඔහුට කියනවා “මටත් චුට්ටක් ඕකෙන් ඕනේ…” කියලා. එහෙම කියලා සැමියා බිපු තේ එකෙන් කොටසක් ඔබත් බොනවා. සැමියා කෑම කද්දී ඔබ එයාගේ කෑම පංගුවෙන් කටක් කනවා. මේ දේ බිරිඳට විතරක් නෙමෙයි සැමියාටත් කරන්න පුළුවන්.
මෙන්න මේ වගේ සරලම සරල දේවල් ගැන ඔබ සමහර විට මීට කලින් හිතලා නැතිව ඇති. මෙබඳු දේවල් මගින් ඔබ සැමියාට හෝ බිරිඳට දැනෙන්න සලස්වන්නේ කුමක්ද? “මම ඔයාට ආදරෙයි – මම ඔයා ගැන සැලකිලිමත් වෙනවා” කියන කාරණයයි. දිගු කාලීන බැඳීමක් ඇතිවෙන්න මෙබඳු සබඳතා ඉතාමත් වැදගත් කියලයි මට නම් හිතෙන්නේ.
ඔබ ඔබේ සැමියාට, බිරිඳට පුංචි විහිළුවක් කරන්න… පුංචි තට්ටුවක් දාන්න… ආදරණීය සිනහවකින් සංග්‍රහ කරන්න… ප්‍රේමණීය බැල්මක් හෙළන්න…

නිතර මූණ එල්ලගෙන… අමනාපයෙන් නිතර කෑ ගසන සැමියෙකුට, බිරිඳකට කවුරුත් කැමති නෑ. තමන් ලස්සනට හිටියොත් විතරයි මුළු ගෙදරම ලස්සන වෙන්නේ. එදිනෙදා ජීවිතයේ පුංචි පුංචි ගැටුම් ඇති වුණත් එබඳු මත ගැටුම් දිගටම පවත්වාගෙන යන්න එපා.

මම අද මේ කියපු කාරණය ගැන ඔබත් පොඞ්ඩකට හිතලා බලන්න. “රැජිනිය” සමග හැමදාම සෙනෙහසින් බැඳෙන ඔබ සියලු දෙනාගේම ජීවිතවලට “ආදරයේ සදාකාලික උණුසුම” තවරන්නයි මම අද මේ විදියේ සටහනක් ඔබ වෙනුවෙන්ම ලියා තැබුවේ.

 

ගීත් ගුණසේකර

[email protected]

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>