TT Ads

 

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිමය වශයෙන් පියවර ගැනීමට හැකියාව තිබුණත් අපේ සමාජයේ, විශේෂයෙන් කාන්තාවන් ඊට යොමු වනු දැකීම විරලය. නමුත් තමන්ගේ ජීවිතයට තර්ජනයක් ඇති අවස්ථාවක මෙන්ම තමන්ට කිසියම් හෝ අනර්ථයක් වේයැයි සිතෙන ඕනෑම අවස්ථාවක මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතී. අපි පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් ඔබට තොරතුරු රැසක් ඉදිරිපත් කළෙමු.
පැමිණිලිකරු, වග උත්තරකරු නිසා කිසියම් හෝ පීඩාවකට පත්වේ නම් එය නතර කිරීම සඳහා නඩුව විභාගයට ගැනීමට පෙරම ආරක්ෂක ආඥාවක් ලබා ගත හැකි අන්දම පිළිබඳවද අපි ඔබට විස්තර කළෙමු.
දැන්වීම් ලැබ නිශ්චිත දිනයේදී වගඋත්තරකරු අධිකරණයට නොපැමිණි අවස්ථාවක වගඋත්තරකරුට එරෙහිව අධිකරණය විසින් ආරක්ෂක ආඥාවක් නිකුත් කරනු ලබන්නේ අධිකරණය විසින් කලින් ලබා ගත් සාක්ෂි හා දිවුරුම් ප්‍රකාශ හෝ වාචික සාක්ෂි මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද සාක්ෂි සලකා බැලීමෙන් පසුවය.
තවද වග උත්තරකරු නීතිඥවරයකු මගින් පෙනී නොසිටින අවස්ථාවකදී අධිකරණයට සිය කැමැත්තෙන්ම හෝ පීඩාවට පත් තැනැත්තාගේ ඉල්ලීම මත, පීඩාවට පත් තැනැත්තා හෝ සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීම වගඋත්තරකරු විසින් සෘජුව සිදු නොකර අධිකරණය හරහා සිදු කරනු ලැබිය යුතු බවට ආඥාවක් සිදු කරනු ලැබිය හැකිය.
එලෙස විභාගයෙන් පසුව ආරක්ෂක ආඥාවක් නිකුත් කිරීම සුදුසු යැයි අධිකරණය සෑහීමට පත් වන අවස්ථාවක අධිකරණය විසින් යම් ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු වීම වැළැක්වීමේ අවශ්‍යතාවය හා පීඩාවට පත් තැනැත්තාගේ ආරක්ෂාව සහතික කිරීමේ අවශ්‍යතාවය සලකා අධිකරණය විසින් ආරක්ෂක ආඥාවක් නිකුත් කරනු ලැබිය හැකිය.
තවද, දැන්වීමේ නිශ්චිත දිනයේදී වගඋත්තරකරු අධිකරණයට පැමිණ එම ප්‍රචණ්ඩ ක්‍රියාව හෝ ක්‍රියා පිළිනොගන්නා නමුත් ආරක්ෂක ආඥාවක් නිකුත් කිරීමට විරුද්ධ නොවන අවස්ථාවකදී අධිකරණය විසින් ආරක්ෂක ආඥාවක් නිකුත් කළ යුතුය. එවැනි ආඥාවක් අධිකරණය විසින් සිදු කළහොත් වරද පිළි ගැනීම හෝ වරදකරු බවට ඔප්පු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කරනු ලැබ ඇති ආඥාවක් ලෙස නොසැලකෙන බවට පනතේ 13 වන වගන්තියේ සඳහන් කර ඇත.
මෙලෙස පීඩාවට පත් තැනැත්තා විසින් මෙම පනත යටතේ අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළද එම පීඩාවට පත් තැනැත්තාට වෙනම සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරීමට ඇති අයිතිවාසිකම අහිමි කර නොමැත.
අතුරු ආඥාවක් හෝ ආරක්ෂක ආඥාවක් වගඋත්තරකරුවකුට එරෙහිව නිකුත් කරනු ලැබූ පසුව ඒ ආඥාවට අනුව ක්‍රියා කිරීම පැහැර හරිනු ලබන වගඋත්තරකරුවකු ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු කරනු ලැබිය හැකි අතර, එසේ කරනු ලැබුවහොත් රුපියල් 10,000/- නොඉක්මවනු ලබන දඩයකට හෝ එක් අවුරුද්දකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම ඔහු යටත් විය යුතුය.
මෙම පනත යටතේ නිකුත් කරනු ලබන ආරක්ෂක ආඥාවකින් අතෘප්තියට පත් යම් අයෙකුට ප්‍රදේශයේ පළාත්බද මහාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>