TT Ads

තෙල් ආහාරවලට එකතු කිරීමේදී සිතට යම් චකිතයක් දැනෙන්නේ තෙල් නිසා හට ගන්නා රෝග සම්බන්ධයෙන් තිබෙන බියජනක සිතුවිල්ල නිසාමය. තෙල් අධික ලෙස ආහාරවලට එකතු කර ගැනීම බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මුල්වන බව සැබෑ නමුත් අපේ ශරීර ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගෙන යාමට යම් ප්‍රමාණයක තෙල්ද අත්‍යාවශ්‍ය වන බව අප අමතක කළ යුතු නැත. එසේම හොඳ තෙල් වර්ග ආහාරවලට එකතු කර ගන්නා ආකාර ගැන සේම අනවශ්‍ය ලෙස ආහාරවලට තෙල් එකතුවීම පාලනය කර ගැනීමටද ගෘහණිය දැනුවත් විය යුතු වේ.

ඔබගේ මුළුතැන්ගෙයි තිබෙන තෙල් බෝතලයෙන් ආහාරයට එකතු කරනා තෙල්වලට අමතරව මස්වර්ගවල තිබෙන තෙල් කොටස් වල සහ පොල් කිරි, කිරි ආශ්‍රිත නිෂ්පාදන, කජු, රටකජු, තල, කොට්ටන්, අලිගැටපේර වැනි ආහාරවලද තෙල් අඩංගුය. එසේම බලයා, හුරුල්ලා, සාලයා, කුම්බලාවා, බෝල්ලු, සැමන් වැනි මාලුවලද යම් ප්‍රමාණයක් තෙල් අඩංගු වෙයි. නමුත් මේ ආහාරවල අඩංගු වන තෙල්වලින් වැඩි ප්‍රතිශතයක් ශරීරයට හිතකර ඒවාය.

ගැඹුරු තෙලේ ආහාර බැදීමට ගන්නා සෝයා තෙල්, තල තෙල්, සූර්යකාන්ත තෙල්, එළවළු තෙල්, ෆාම් තෙල් වර්ග ඉහළ උෂ්ණත්වයකට රත්කිරීමේදී ශරීරයට ඉතාම අහිතකර Trans Fatty Acid (ට්‍රාන්ස් ෆැටි ඇසිඞ්) නම් සංයෝගයක් නිෂ්පාදනය වෙයි. ඒවා බහුලව ශරීරගත වීම පිළිකා, හෘදයාබාධ වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමට මඟ පාදයි. එබැවින් මෙකී තෙල් වර්ග ගැඹුරු තෙලේ බැදීම සඳහා සුදුසු නොවේ. මෙම තෙල් වර්ගවලින් යම් ආහාරයක් බැද නැවත භාවිතය සුදුසු නැත. ඒවා වරක් බැද ඉවත් කළ යුතුය. එබැවින් ගැඹුරු තෙලේ බැදීමට වඩාත් සුදුසු වන්නේ අප අනාදිමත් කාලයක් තිස්සේ භාවිත කළ පොල්තෙල්ය. නමුත් අද අපට තිබෙන අභියෝගය නම් වෙළෙඳපොළේදී පිරිසිදු පොල් තෙල් සොයා ගන්නේ කෙසේද යන්නය. බොහෝ විට පොල්තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම (ෆාම් තෙල් වැනි) දකින්නට ලැබේ. එළවළු තෙල්, ඔලිව් තෙල් සූර්යකාන්ත වැනි තෙල්වර්ග සුදුසු වන්නේ ආහාර වර්ග තෙම්පරාදු කිරීමටය.

ආහාර පිළියෙළ කර ගැනීමේදී තෙල් මිශ්‍ර වීම අවමකර ගැනීමේ උපක්‍රම ගැන ගෘහණිය දැනුවත්ව සිටිය යුතුය. ආහාර වේලක් සකස් කර ගැනීමේදී තෙල් යෙදූ ආහාර වර්ග එකකට සීමා කිරීමට ප්‍රවේසම් වන්න. වම්බටු ආදී එළවළු බැද සකස් කිරීම් හැකි තරම් සීමා කරන්න. ඒවා ගැඹුරු තෙලේ බැදගත් පසු තෙල් බේරීම සඳහා කාලයක් වෙන් කරන්න. එසේම ඒවා අතින් මිරිකා තවත් තෙල් ප්‍රමාණයක් ඉවත් කිරීමට පුළුවන. පොල් කිරි යොදන කරි වර්ග තෙම්පරාදු කිරීමෙන් වළකින්න. හැකිතාක් එළවළු මාළු පිනි වර්ග, වතුර එකතු කොට තැම්බෙන්නට හැර, පොල්කිරි ටිකක් එකතු කිරීමෙන් කිරි රස හොඳින් ආරක්‍ෂා කර ගතහැකිවා සේම ආහාරවලට වැඩිපුර තෙල් එකතුවීමද වළක්වා ගත හැකිය. එසේම ආහාර තෙම්පරාදු කරන විට හැකිතාක් අඩුවෙන් තෙල් එකතු කිරීමට වග බලාගන්න.

තෙල් බෝතලයෙන්ම භාජනයට එකතු කිරීමෙන් වැළකී, හැන්දකට හෝ මූඩියකට හෝ රැගෙන මිණුමක් ඇතිව තෙල් දමන්න, බෝතලයෙන්ම එකතු කිරීමේදී ඔබ නොදැනුවත්වම තෙල් වැඩිපුර එකතු වීමට බොහෝ ඉඩ තිබේ.

හැකි හැම විටම නොඇලෙන බඳුන්වල තෙම්පරාදු කිරීමෙන් තෙල් අඩුවෙන් භාවිත කළ හැකිවේ. එළුමස්, ඌරුමස් වැනි ව්‍යංජන පිළියෙළ කිරීමේදී, ඒවායේ තෙල් අධික බැවින් තෙම්පරාදු කිරීම සඳහා එම තෙල්ම යොදා ගන්න. අමතරව තෙල් එකතු කිරීමෙන් වළකින්න. මේවා ව්‍යංජන ලෙස පිළියෙළ කරන විට හොදිවලට තෙල් වැඩිපුර එකතු වෙයි. මේ හොදි ඉස්ම ආහාරයට ගැනීම අඩුකර, කැබැලි පමණක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. එසේම රොටී සකසන විට පිටිගුලිය අතේ නොඇලීම සඳහා ගෘහණියන් වැඩිපුර පොල්තෙල් එකතු කරන ආකාර දැකිය හැක. රොටීවලට පොල්ද එකතු කරන බැවින් ගුලි කිරීමේදී, තුනී කිරීමේදී ඉතාම ස්වල්පයක් තෙල් භාවිතයට ප්‍රවේසම් වන්න. ඔබ පවුලේ නිරෝගී බව රඳා පවතින්නේ ඔබේ අත බව අමතක නොකර, තෙල් ආහාරවලට මුසුවීම හැකිතාක් අඩු කරගන්න.

 

නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>