TT Ads

වකුගඩු වල ගල් ඇති විට අපට අත්දකින්නට සිදුවන මූලික ලක්ෂණය වන්නේ ඉහිලිය නොහැකි වේදනාවයි. වකුගඩු වල සිට මූත්‍රාශය දක්වා මුත්‍රා ගමන් කිරීමට සැකසී ඇති සියුම් මුත්‍රා ප්‍රණාල ඔස්සේ ගල පහළට ගමන් කරන විට මෙවන් වේදනාවක් ඇති වෙයි. මෙහිදී ගල නාළ තුළ සිරවීම නිසා මුත්‍රා ගමන අඩාල වන්නට/අවහිර වන්නටද පුළුවන. එවිට අසීමිත වේදනාවක් අපට ඇති වේ.

වේදනාවක් ඇති කරවන වකුගඩු ගල් හා රෝග ලක්ෂණ ප්‍රකට නොකරන වකුගඩු ගල්

මෞත්‍ර වෛද්‍යවරුන් වශයෙන් අපට විටෙක රෝගීන් හට මෙවන් ගල් නිසා වේදනාවක් ඇති නොවන අවස්ථාද අත්විඳින්නට සිදු වේ. නැතහොත් ඉතා සුළු වේදනාවක් පමණක් ඇතිවන අවස්ථා වලට මුහුණ පාන රෝගීන්ද හමුවේ. මෙලෙස වේදනාවක් ඇති නොවන ඇතැම් ගල් වලට ප්‍රතිකාර කිරීම තරමක් දුෂ්කර වන්නේ ඖෂධ වලට ඒවා දියකර හැරීම පහසු කාර්යයක් නොවන බැවිනි. එසේම වකුගඩු වලට පමණක් සීමා වන ගල් වේදනාවක් ප්‍රකට නොකරමින් කෙමෙන් කෙමෙන් විශාල වන අවස්ථාද දක්නට ලැබේ.

අද දවසේ සාර්ථකම වකුගඩු ගල් ප්‍රතිකාරය

මෙම ගල් සඳහා දැනට හඳුනාගෙන ඇති වඩාත් සාර්ථකම හා ආරක්ෂිතම ප්‍රතිකාරය වන්නේ Renoscope ප්‍රතිකාරයයි. මෙය ලේසර් ලිතෝටි්‍රප්සි (Laser lithotripsy)  යනුවෙන් හැඳින්වෙයි. මේ ඉතා සරල වූ ශල්‍යමය ක්‍රියාවලියේදී මිලි මීටර් 3කට නොවැඩි ඉතා කුඩා කැමරාවක් මුත්‍රා මාර්ගය ඔස්සේ වකුගඩු දක්වා ප්‍රවේශ කරන අතර එමගින් එම අභ්‍යන්තරික අවයවයන් තිරයක් මතින් ඉතා මැනවින් දර්ශනය කිරීමට අවස්ථාව සැලසෙයි. මෙම කැමරාවට මුත්‍රා මාර්ගය, මූත්‍රාශය හා මුත්‍රා ප්‍රණාල ඔස්සේ වකුගඩු දක්වා සැරීමට අවස්ථාව සැලසෙන අතර ගලෙහි ව්‍යුහාත්මක තොරතුරු ඉතා නිවැරදිව වෛද්‍යවරයාට උකහා ගන්නටද අවස්ථාව සැලසෙයි.

කුඩා කොටස් වලට කඩන ගල් මුත්‍රා මාර්ගය ඔස්සේම පිටතට ගන්නවා

ගලෙහි ස්වභාවය හඳුනාගැනීමෙන් පසුව මීළඟ පියවර වන්නේ ලේසර් කදම්බයක් ඇසුරේ Renoscope හරහා ගල කුඩු කරමින් එය මුත්‍රා මාර්ගය ඔස්සේම බැහැර කිරීමයි. කැඩෙන කුඩා කොටස් ඉතා කුඩා බාස්කට් එකකට එකතු කරගන්නා අතර එය පිටතට ගන්නේද මිලි මීටර කිහිපයක පමණක් විශ්කම්භය ඇති මුත්‍රා ප්‍රණාල ඔස්සේමය. විශේෂත්වය වන්නේ මෙකී ලේසර් තාක්ෂණය ඇසුරු කරගෙන ගල කුඩා කොටස් වලට කැඩුවත් වකුගඩු ආශ්‍රිත පටක කොටස්වලට අබමල් රේණූවක හෝ හානියක් සිදු නොවීමයි.

ලේසර් ලිතෝටි්‍රප්සි ප්‍රතිකාරයෙහි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ කිසිදු අයුරකින් සිරුරෙහි කැපීමක් කෙටීමක් සිදු නොකිරීමයි. Renoscope මෙවළම සිදුරක් හරහා සිරුරට ප්‍රවේශ කරන අතර පෙර කාලයේ සිදු කරන ලද ආකාරයේ කිසිදු කැපුමක් සිදු නොකිරීම සැබවින්ම රෝගියාගේ පැත්තෙන් විශාල වාසියකි.

පරීක්ෂණය සිදුකිරීමෙන් පැය දෙකකට පමණ පසු පලතුරු ටිකක්, කෙටි ආහාර ස්වල්පයක් ලබාදිය හැක. ඇවිදින්නට පුළුවන. මූත්‍රා පහ කරන්නටද පුළුවන. අපේක්ෂිත ලෙස මේ කාරණා ඉෂ්ට කිරීමට රෝගියාට හැකියාව ලැබීමෙන් පසුව එදිනම රෝගියා හට නිවෙස කරා පිය නගන්නට හැකි වනු ඇත.

පරීක්ෂණයට පෙර සූදානම

පරීක්ෂණයට පැය හයකට පෙර පටන් නිරාහාරව සිටිය යුතුයි. ඇතැම් විට රුධිර පරීක්ෂණ කිහිපයකටත් ECG පරීක්ෂාවකටත් මුහුණ දෙන්නට සිදුවේ.

වේගවත් සුවය… ඉක්මන් සහනය 

ලේසර් ලිතෝටි්‍රප්සි ශල්‍යමය ක්‍රමවේදය වෙනුවෙන් යොදාගත් නිර්වින්දන ඖෂධවල බලපෑම බලපවත්නේ පැය 1-2 ක කාලයක් පමණි. ඉන්පසුව ඔහුට හෝ ඇයට කිසියම් පානයක් ලබා ගන්නට, කෙටි අහරක් කුසෙහි දමා ගන්නට අවස්ථාව සැලසෙන අතර සැත්කමෙන් පසු වේගයෙන් යථා තත්ත්වයට පත්වීමද සිදු වෙයි.

සැත්කමෙන් පසුව ඇතිවන සුළු සංකූලතා

මෙම ගල් ඉවත් කිරීමෙන් පසු ඇතැම් විට ලේ පැහැයට මුත්‍රා පිටවීමක් සිදු වූවත් එය සාමාන්‍ය තත්ත්වයකි. මුත්‍රා කරන විට දැවිල්ලක් ඇති වන්නටද පුළුවන. ලේසර් ප්‍රතිකාරය සිදු කිරීමෙන් පසු රෝගියා වේගයෙන් සුවය ලබන අතර දින 2-3 කින් රැකියාවට යන්නටද, ගෙදරදොර සාමාන්‍ය වැඩපළ වල නිරත වන්නටද අවස්ථාව ලැබෙනු ඇත.

පහසු… ඉක්මන් සුවය සලසන ප්‍රතිකාරයක්

වේගයෙන් සුවය ලැබීමට මූලික හේතුව වන්නේ කිසිදු කැපීමක් ගල් ඉවත් කිරීමට සිදු නොකිරීමයි. මේ අනුව මීට ඉහතින් සිදු කරන ලද උදරය කපා සිදු කරන ප්‍රතිකාරය හා සංසන්දනයේදී මෙම නව්‍ය ප්‍රතිකාරය බොහෝ ඵල ප්‍රයෝජන, පහසුව හා වාසි එක් කරදෙන ප්‍රතිකාරයක් බව කිව යුතුය. වේගයෙන් සුවපත් වීම, වේගයෙන් රෝහලෙන් එන්නට ලැබීම මෙන්ම ඉක්මනින් සාමාන්‍ය වැඩපළවල යෙදෙන්නට ලැබීම නිසා මෙය වඩාත් පහසු ප්‍රතිකාරයක් වශයෙන් රෝගීන්ගේ විශ්වාසය දිනා තිබේ.

සැත්කමෙන් පසු… පිළිවෙත්

සැත්කමෙන් පසුව රෝගියා නිවෙසට යන විට වේදනාව නැති කරන ඖෂධ Analgesics හා සාමාන්‍ය ප්‍රතිජීවක ඖෂධ කිහිපයක් නියම කරයි. ඒ හැරුණු විට ඇතැම් විට Stent යනුවෙන් හැඳින්වෙන සියුම් නාළයක් සැත්කමට පෙර හෝ පසුව ඇතුළු කරයි. ගල කුඩු කිරීමේදී ඒ කොටස් මුත්‍රා මාර්ගය තුළ අවහිර වී එයින් මුත්‍රා පරිවහනයට ඇතිවන බාධා මගහැරවීම මෙහි අරමුණයි. මෙය වකුගඩු වල සිට මුත්‍රාශය දක්වා ස්ථාපිත කරන රැඳවුමක් නිසා එය පිටතට පෙනෙන්නේ වත් අවහිරයක් වන්නේ වත් නැත.

මේ පහසුව නිසාවෙන්ම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාරය Day Surgery නොහොත් දිනක් තුළ සියල්ලම අවසන් කරන ප්‍රතිකාරයක් වශයෙන් හැඳින්විය හැක. එක් දිනක් තුළ සාර්ථකව නිමාවට පත් වන ශල්‍යමය කටයුත්තකදී රෝහල් නේවාසික ගාස්තු ගෙවන්නට සිදු වන්නේ නැත. එයින් ඉමහත් ආර්ථික වාසියක් අත්පත් වෙයි. එසේම බරපතළ ශල්‍යකර්මයක් කිරීමට යන අවස්ථාවේදී ඇතිවන හිතේ බර ඇති වන්නේද නැත. හිතේ සැහැල්ලුවෙන් සැත්කම කරගන්නට මෙමගින් අවස්ථාව උදා වෙයි. රෑ දවල් තිස්සේ ඥාතීන්ටද රෝගියාගේ තනි රකින්නට සිදු වන්නේ නැත. නෑ හිතමිතුරන්ටද මෙසේ ශල්‍යකර්මයක් කරන රෝගියාගෙන් කිසිදු කරදරයක් නැත.

Renoscope නොහොත් ලිතෝටි්‍රප්සි සැත්කම වකුගඩු ගල් ප්‍රතිකාරවේදයේ අනභිභවනීය වූ නව පිටුවක් පෙරළු ප්‍රතිකාර ක්‍රමයකි. මෙයට ගත වන්නේ අඩු කාලයකි. වැය වන්නේ අඩු පිරිවැයකි. රෝගියා සැණෙකින් සුවය ලබයි. වේදනාව අවමය. මේ අනුව නව ප්‍රතිකාරවේදය සැබවින්ම මුත්‍රා ගල් ප්‍රතිකාරවලියෙහි ආශ්චර්යයක් ලෙස පැවැසීම අතිශයෝක්තියක්ද ?

මෞත්‍ර ලිංගික
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
අරුණ නන්දසේන

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>