TT Ads

සෞභාග්‍යයමත්, වාසනාව හා සතුට ඉතිරෙන කැදැල්ලක ජීවත් වීම සෑම අයෙකුගේම අපේක්‍ෂාවය. ව්‍යාපාරික ස්ථානයක් නම් දියුණුවෙන් දියුණුවට පත් වීම එකම බලාපොරොත්තුවයි. නමුත් බොහෝ විට පවතින නිවාස හෝ ගොඩනැගිලිවල මෙම තත්ත්වය දක්නට නොලැබේ.

කළබලකාරී අවුල් වියවුල් සහිත පාරිසරික ගැටල පවතින සීමිත ඉඩ කඩ සහිත ස්ථානවලදී පවා ජීවත් වීමට සුදුසු තම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නිවසක් සාර්ථකව නිම කර ගැනීමට හැකියාව තිබියදීත් එසේ නොවන්නේ ඇතැම් විට නොදැනුවත්භාවය හෝ නොසලකා හැරීම මත විය හැක. කෙසේ වුවත් ඔබ සහ ඔබගේ ආදරණීයයන් ජීවත් වන නිවස පසන් නිවසක් කර වීම මෙම ලිපිපෙළෙහි අරමුණය.

මුලින්ම නිවසක් තැනීමට හෝ ගැනීමට පෙර ඔබ විසින් දැන සිටිය යුතු කරුණු සිද්ධාන්ත පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මේ සම්බන්ධ මූලික කරුණු රැසක් පිළිබඳව මෙමගින් ඔබට යම් අවබෝධයක් ලබා ගත හැකි බව නොඅනුමානය.

නිවසක් තැනීමේ ආරම්භක පියවර ලෙස ඔබ මුලින්ම කළයුතු වන්නේ ඉඩමක් මිලදී ගැනීම හෝ වෙන් කර ගැනීමය. ඒ සඳහා මෙහි සඳහන් කරුණු නිවැරදිව තේරුම් ගෙන බුද්ධිමත්ව කටයුතු කිරීම ඔබ සතු වගකීමකි.
ප්‍රථමයෙන් තම නිවස තැනීමට බලාපොරොත්තු වන ප්‍රදේශය ගම පළාත වැනි ප්‍රාථමික කරුණු සාකච්ඡා කර තීරණය කර ගත යුතුය. අනතුරුව පහත සඳහන් තොරතුරු පිළිබඳ විධිමත් ස්වයං අධ්‍යයනයක් සිදු කිරීම හෝ ඒ පිළිබඳව ප්‍රවීණයකු ලවා පරීක්ෂා කර ගැනීම බොහෝ විට උචිතය. තමාට මෙන්ම තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් කරන්නා වූ මෙම දිගුකාලීන ආයෝජනය ඉතාමත් බුද්ධිමත්ව හා සකසුරුවම් සහිතව සැලසුම් සහගතව සිදුකළ යුතු ඉතා වැදගත් වටිනාම කාර්යයකි.

ඉඩමක් තෝරා ගැනීම

ගංගා පිටාර ප්‍රදේශ , වැසි ජලය එක් රැස් වෙන පහත් බිම්, නිතර දිය සීරාව රැකෙන ස්ථාන නිවසක් තැනීමට සුදුසු ප්‍රදේශ නොවේ. මුහුදු ආශ්‍රිත ප්‍රදේශයක් නම් ඛාදනයට ලක් වන හෝ සුනාමි තත්ත්වයන්ට ගොදුරු විය හැකි ප්‍රදේශ, ගිලාබැසීම් නාය යෑම් සහ ඛාදනයට ලක්වන ප්‍රදේශ, කඳුවලින් වට වූ කුඩා මිටියාවත් හා ඉතා විශාල උස් බිම් ස්ථිර පදිංචියට නොගැළපේ. එවැනි ඉඩමක් යම් හේතුවක් මත තෝරාගැනීමට වුවහොත් සිදුවිය හැකි අපහසුතා මගහරවා ගැනීමට විශාල මුදලක් වැය කිරීමට ඔබට සිදුවේ. යම් විටෙක සිදුවන හානි හෝ දුෂ්කරතාවලට ලක්වීම වැළැක්විය නොහැකි වීමට ද ඉඩ ඇත. ඒ නිසා එවැනි අවදානමක් ගැනීම සුදුසු නැත.
ඇතැම් විට මෙවැනි ස්වභාවික පාරිසරික තත්ත්ව පවතින ප්‍රදේශයක ඉඩමක් තෝරා ගැනීමේදී සුන්දරත්වය හා මූල්‍ය වාසිය පමණක් සිතා කටයුතු කිරීම නිසා ඔබ සහ ආදරණීයයන්ගේ ජීවිත අවදානමක්ද පවතියි. එම නිසා ඒ සම්බන්ධ වෘත්තීය දැනීමක් සහිත පුද්ගලයන්ගේ සහය ලබා ගැනීම කළ යුතුය.

ස්වාභාවික නොවන පාරිසරික තත්ත්ව

ඌරන්, කුකුළන් වැනි සතුන් ඇති කරන ගොවිපොළ ආශ්‍රිතව පවතින ඉඩම් අපද්‍රව්‍ය දෑ එක්රැස් වන ප්‍රදේශයන්ය. අධික ශබ්දය සහ කර්මාන්තශාලා සහිත ප්‍රදේශ ගුවන් තොටුපළ දුම්රිය මාර්ග අධිවේගි මාර්ග ආදියට අනවශ්‍ය පරිදි ළංව පිහිටි ප්‍රදේශ පදිංචියට නුසුදුසුය. රෝහල් සෞඛ්‍ය මධ්‍යස්ථාන සුසානභූමි ආදාහනාගාර ආශ්‍රිතව පිහිටි ඉඩම් හා හමුදා කඳවුරු, බන්ධනාගාර අධි ආරක්ෂක කලාප පුපුරන ද්‍රව්‍ය ගබඩා රසායනික ද්‍රව්‍ය භාවිත කරන යම් යම් ස්ථාන ආසන්නයේ පවතින බිම් කොටස් මිලදී ගැනීමේදී යම් අවදානමක් දැරීමට සිදුවේ. ආගමික ස්ථාන පාසල් සහ පොදු ස්ථාන යාබද ඉඩම් ස්වාභාවික නොවන පාරිසරික තත්ත්වයන් සහිත ප්‍රදේශයන්ය. ඒ අනුව අපගේ එදිනෙදා ජීවිතයට බාධාවක් නොවන පරිදි ඉඩමක් තෝරා ගැනීම සඳහා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

විවිධාකාර වූ සමාජ විරෝධී නීති විරෝධී රැකියා හෝ ක්‍රියාකාරකම් ගහණ වූ කුඩා බිම් කොටස් වලට පමණක් සීමා වූ අධික ජන ඝනත්වයක් සහිත ප්‍රදේශ ඔබගේ සහ පවුලේ ජීවන රටාවට නොගැළපීමට පුළුවන. එම නිසා ඔබ සාමාජීය තත්ත්වයන් කෙරෙහිද අවධානය යොමු කළ යුතුය. ආර්ථික වාසි සහ පහසුකම් පිළිබඳව සිතනවා මෙන්ම තමාගේ සමාජීය තත්ත්වය, රැකියාව සහ ජීවන රටාව පිළිබඳව සිතිය යුතුය. ජනාකීර්ණ ප්‍රදේශ තුළ ජීවත්වන පිරිසට එම රටාවට හුරු වී තිබීම නිසා අපහසුතා නොමැති අවස්ථාද ඇත. කෙසේ වෙතත් අධික ජනාකීර්ණ මෙන්ම අධික ජන ශුන්‍ය ප්‍රදේශද ස්ථීර පදිංචියට නොගැළපේ. එකිනෙකා හා සම්බන්ධ නොවුණු හුදෙකලා වීම සාමාන්‍ය ලෞකික ජීවන රටාවකට බාධාවකි .

යටිතල පහසුකම්

ප්‍රවේශ මාර්ග, ජලය ලබාගත හැකි ක්‍රම, විදුලිය, දුරකථන හෝ සන්නිවේදන පහසුකම්, ප්‍රවාහන, සෞඛ්‍ය, අධ්‍යාපන සහ එවැනි සේවාවන් ලබා ගත හැකි ක්‍රම. තම රැකියාව වෘත්තීය හෝ ජීවනෝපාය සහ අනෙකුත් අවශ්‍යතාවන් සපුරාලිය හැකි පසුබිම සොයා බැලීම වැදගත් වේ. මෙම පහසුකම් සියල්ලම පවතින ප්‍රදේශ තමා සතු ආර්ථික හැකියාවට යටත් නොවීමට පුළුවන. එවැනි අවස්ථාවක දියුණු වෙමින් පවතින හෝ මෑත කාලයේදී පහසුකම් ලැබෙතැයි ස්ථිර නිගමනයකට ආ හැකි ඉඩමක් තෝරා ගැනීම වඩා උචිතය.

නීතිමය කරුණු පිළිබඳ සැලකිලිමත් වන්න

  1. අයිතිය පිළිබඳ නිරවුල් බව
    මේ සඳහා ඔප්පු තිරප්පු සහ පත්ඉරු ආදිය ඒ විෂය සම්බන්ධව. කටයුතු කරන නීතිඥවරුන් මගින් තහවුරු කර ගත හැක
  2. ප්‍රාදේශීය සභා නගරසභා හෝ පළාත් පාලන ආයතන මගින් පනවා ඇති නීති රෙගුලාසි සම්බන්ධව එම ආයතන වෙත ගොස් දැනුවත් විය හැක.
  3. සංචාරක ප්‍රවර්ධන කලාප පුරාවිද්‍යා වටිනාකමක් සහිත ප්‍රදේශ, අධි ආරක්ෂිත කලාප, වනාන්තර හා වනෝද්‍යාන ආශ්‍රිත ඉඩම්, පහත්බිම් වැනි සුවිශේෂී වැදගත් කමක් සහිත ප්‍රදේශ තෝරා ගැනීමේදී ඒ සම්බන්ධ ආයතන මගින් යටත්විය යුතු නීති රීති සම්බන්ධයෙන් දැනුවත් විය හැක.

විනුදා ගොතටුවේ හෝම්ස්හි ගෘහ නිර්මාණය ශිල්පිනී
නිසංසලා කොළඹගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>