TT Ads

නව නිවසක්, ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉඩමක් තෝරා ගැනීමේදී යම් භූමි පරීක්‍ෂාවක්, සිදු කිරීම ඉතා වැදගත්ය. කාර්ය බහුලත්වය හා ආර්ථිකමය හේතු නිසා මේ කාරණය ගැන බොහෝ දෙනෙක් එතරම් තැකීමක් නොකළත් සතුට සෞභාග්‍යය පිරි වාසනාවන්ත නිවසක් බවට ජීවත් වන නිවස පත්කර ගැනීම සඳහා භූමි දෝෂ අවම කර ගැනීමට වාස්තු විද්‍යානුකූල කාරණා ගැන අවධානය යොමු කළ යුතුවේ.
ඉඩමක් මිලදී ගැනීමේදී එයට ජලය ලැබෙන ක්‍රමවේදය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුවේ. නළ ජලය නොලැබෙන්නේ නම් අනිවාර්යයෙන්ම ඉඩමේ ළිඳක් කපාගත යුතුය. ඒ සඳහා මඟ පෙන්වීමක් ලබා දීම මෙම ලිපියේ අරමුණ වේ.

 

භූමි ලක්‍ෂණ අනුව ජලය ඇත්දැයි පරීක්‍ෂාකාරී වීම

ඉඩමේ බුරුත, කුඹුක්, බෙලි ඇත්දෙමට, කොහොඹ, ඇට්ටේරිය වැනි ශාක වර්ග වැවී ඇත්නම් ඒ භූගත ජලය තිබෙන බවට අනුමාන කළ හැකි සාධකයකි. යම් ස්ථානයක කුස තණ වැවී ඇත්නම් එවැනි තැන්වලද ජලය පවතින බවට පිළිගැනේ. එසේම ගල් කැටවලින් යුක්ත තඹ පැහැති පොළවෙ ජලය ඇති මුත් එම ජලය කහට රසයෙන් යුක්ත විය හැකිය.
තිඹුල්වන් පැහැයෙන් යුතු පසෙහි ජලය හුණු රසයෙන් යුතුවේ. නමුත් හොඳින් ගහකොළ වැවුණු පොළව ප්‍රනීත රසයෙන් යුතු ජලය ලබාදේ. ගස්වැල්වලින් පිරී ගිය රතු මැටියෙන් යුතු පොළවේ ගල්වලට යටින් උල්පත් ගලා බසින බව පැරණි මතයයි. කෙසේ වෙතත් අද වනවිට නවීන තාක්‍ෂණික ක්‍රම භාවිත කර ඉඩමේ ජලය ඇති තැන් පහසුවෙන් පරීක්‍ෂා කිරීමට හැකි වුවත් එවැනි පරීක්‍ෂාවක් කිරීමට පෙර පැරණි ක්‍රම උපකාරී කර ගැනීමෙන් අපට ඉඩම් තෝරා ගැනීමට පුළුවන.

 

භූගත ජල මට්ටම හඳුනා ගැනීම

ජලය නොමැති ප්‍රදේශයක වුවත් වේවැල් පඳුරක් දක්නට ඇත්නම් එම ස්ථානයට අඩි 4 1/2 බටහිරින් අඩි 10 1/2 ගැඹුරින් ජල උල්පතක් ඇති බව විශ්වාස කෙරේ. දඹ ගසක් වේ නම් එතැන් සිට අඩි 4 1/2ක් උතුරින් අඩි 10 1/2 ගැඹුරින් ජලය පවතින බව වාස්තු විද්‍යානුකූලව පිළිගැනේ.

 

ළිඳක් කැපීමට සුදුසුම දිශාව

ඉඩමක ළිඳක්, කැපීම සඳහා සුදුසුම දිශාව වන්නේ ඊසාන දිශාවය. ඊසාන දිශාව නිවසකට සම්පත් ගලා එන දිශාව ලෙසද වාස්තු විද්‍යාවෙ හඳුන්වා දී ඇත. ඊසාන යනු වාස්තු පුරුෂයාගේ හිස සංකේතවත් කරන ප්‍රදේශයයි. එම නිසා එම දිශාවේ පිහිටි ළිඳෙන් ලැබෙන ජලය සම්පතක් සේ සැලකේ. නළ ළිඳකට වුවද මෙම සිද්ධාන්තය මෙලෙසින්ම අදාළ වේ.

 

 

ළිඳ ස්ථානගත කර ගැනීම

ළිඳක් කැපීමේදී ඉඩමේ හා නිවසේ කතිර රේඛාවන්ට නොකැපෙන පරිදි ස්ථානගත කළ යුතුය. එසේම ළිඳ කෙළින් ප්‍රධාන දොර නොයෙදිය යුතුය. මුදුන් පරාල හෝ යට ලී බාල්ක එක එල්ලේ ළිඳට යොමුව තිබීමද සුදුසු නැත. එසේම ඉඩමේ බ්‍රහ්ම පාදයේ ළිඳ කැපීමද නොකළ යුතුය

මීට අමතරව ළිඳක් කැපීමේදී සැලකිලිමත් විය යුතු තවත් විශේෂ කාරණාවන් ගණනාවක් පවතී. එනම් අවට පරිසරයේ පවතින වැසිකිළි වළවල්, අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන, අවිධිමත් ආකාරයේ රසායනිකයන් බැහැර කරන ස්ථානවල අවම වශයෙන් අඩි පනහකටත් පරතරයක් තිබිය යුතුය. අවිධිමත් ආකාරයේ ජල මූලාශ්‍රවලට හානිවන පරිදි සිදු කෙරෙන ඕනෑම ආකාරයේ අපද්‍රවය බැහැර කිරීමක් පරිසර දූෂණයක් වන අතර ඒ සඳහා නීතිමය පියවර ගැනීමට ඔබට අයිතියක් ඇත. එය ඔබ සතු වගකීමක්ද වේ.

ගර්භනී මවක් නිවසේ සිටින විටද, මල්වර වූ දැරියක් නිවසේ සිටින විට හා මල්වර වී ටික කලක් ගතවනතුරුද, ළිං කැපීම සුදුසු නොවන බව වාස්තු විද්‍යානුකූල මතය වේ. එසේම තද නියං කාලවලදී හා අධික වර්ෂා කාලයේදී ළිං කැපීම යෝග්‍ය නොවේ. නිවසේ අත්තිවාරමට වඩා ළිදේ අත්තිවාරම පහත් විය යුතු අතර නිවස දෙසට මුහුණලා වතුර ඇඳීමට සිදුවන පරිදි ළිඳ සකස් කිරීම දෝෂ සහිතය.

කෙසේ වෙතත් වර්තමානය වනවිට අධික නාගරීකරණ වීම නිසා මේ කරුණු සියල්ලම ඉටුවන පරිද්දෙන් ඉඩමක ළිඳකැපීම ප්‍රායෝගික නොවීමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් හැකිතාක් දෝෂ හා අශුභ කාරණා මඟහරවා ගනිමින් ළිඳ කපා ගැනීම සඳහා නිසි උපදේශයන් ලබා ගැනීම ප්‍රතිඵල දායකය.

ගොතටුවේ, දිනුදා හෝම්ස්හි ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යා ශිල්පිනී
නිසංසලා කොළඹගේ

සුරංජිත් ගුණසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>