TT Ads

පාසල් සිසුවියකව සිටියදී ගෙදරින් පැන ගොස් එක් සතියක් තුළ පිරිමින් ගණනාවක් සමග ලිංගිකව හැසිරුණු යුවතියක් ගැන කලකට ඉහතදී අසන්නට ලැබිණි. ඇය පෙම්වතුන් කිහිප දෙනෙකු සමග එම සතිය තුළ ලිංගිකව හැසිරීමට ද එයින් එක් පෙම්වතෙක් ඔහුගේ මිතුරන් සමගද සිටින ලෙස ඇගෙන් ඉල්ලා තිබේ. එවිට ඇය තමන්ට මුදල් දෙන්නේ නම් කැමති විය හැකි බව පවසා ඇත. ඒ අනුව එක් මිතුරකුගෙන් රුපියල් දහස බැගින් ගනිමින් ඇය සිරුර විකුණා ඇත.
අප මෙහිදී කතා කරන්නේ මේ යුවතිය පිළිබඳව නොවේ.

අප මේ ලිපිය මගින් විමසන්නට උත්සාහ දරන්නේ නව යොවුන් වයසේ අයකු අධික ලිංගික ආශාවලින් යුක්තවීම හා ඒවා පාලනය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් බලපාන කායික හා විශේෂයෙන් මනෝ වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳවය.

වයස අවුරුදු පහළොව යනු හෝමෝනවල අධික ක්‍රියාකාරීත්වය තුළින් ලොකු පිබිදීමක් ඇති වන කාලවකවානුවක් සහ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන වයස් සීමාවයි. නමුත් එසේ වූ පලියට මනුෂ්‍යයන් වශයෙන් අප අපගේ එම හැඟීම් අවශ්‍ය විටෙක මිස ඕනෑම විටෙක එළි දක්වන්නේ නැත. ලිංගිකත්වය පිළිබඳ හැඟීම යටපත් කර ගෙන හිඳීම මනුෂ්‍ය ස්වභාවයයි.

අධික ලිංගික හැසිරීම් සඳහා බලපාන කායික හේතුවක්

මෙවැනි අධික ලිංගික හැසිරීම් මේ වයසේ දරුවකු තුළි පළ වන විට මුලින්ම සොයා බැලිය යුත්තේ ඊට බලපාන කිසියම් කායික හේතුවක් තිබේද යන්නය. අධික හෝමෝන ක්‍රියාකාරිත්වයක් ඇති විට මේ ආකාරයෙන් අසාමාන්‍ය අන්දමට අනුරාගී හැසිරීම් පළ කිරීමට පුළුවන. ඒ අනුව මුලින්ම එවැනි දරුවකු යොමු කළ යුත්තේ අන්තරාසර්ග ග්‍රන්ථි විශේෂඥ

( Endocrinologist)  වෛද්‍යවරයකුටය. අපේ ලිංගික හෝමෝන ශ්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිත ප්‍රදේශයෙනි. ඒ අනුව පිටියුටරි ග්‍රන්ථියේ පිළිකාවක් වැනි ගෙඩියක් හට ගත් විටද එම ග්‍රන්ථියෙන් වැඩිපුර හෝමෝන ශ්‍රාවය වේ. ඒ හේතුව නිසාද අසාමාන්‍ය අන්දමින් ලිංගික ආශාව ඇති වී ඒ සම්බන්ධ හැසිරීම්ද පළ කළ හැකිය. ඒ අනුව හෝමෝන පරීක්ෂණයක් (Hormone Profile Test) කර බැලීම තුළින් මේ කුමන තත්ත්වයක් හෝ පවතින්නේද නැද්ද යන්න හඳුනා ගත හැකිය.
නමුත් එබඳු කායික දෝෂ තත්ත්වයක් නැත්නම් ඊළඟට යොමු කළ යුත්තේ මනෝ වෛද්‍ය විශේෂඥවරයකු වෙතටය.

අධික ලෙස ලිංගික හැසිරීම්වලට රුචි වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික රෝග පිළිබඳ වර්ගීකරණයෙහි (ICD 10) හඳුන්වන පොදු නාමය වන්නේ  Excessive Sexual Desire ලෙසිනි. පොදු නාමය මෙය වුවත් කාන්තාවන්ට අධික ලෙස ලිංගික ආශාව හා හැසිරීම පැවැතීම නිම්ෆොමේනියා (Nymphomania) ලෙසිනුත් පිරිමින් තුළ අධික ලිංගික ආශාව හා හැසිරීම පැවැතීම සැටරයිසිස් (Satyrisis) ලෙසිනුත් වැඩිදුරටත් දක්වා ඇත.
ඇමෙරිකානු මනෝ වෛද්‍ය විද්‍යා සංගමයේ රෝග නිර්ණායක සංග්‍රහයෙහි (DSM 4) අධික ලිංගික ආශාව සහ හැසිරීම් මානසික ආබාධයක් ලෙස දක්වා ඇති අතර එය ඔවුන් පොදුවේ Hyper Sexual Disorder ලෙස දක්වා තිබේ.

අධික ලිංගික හැසිරීම් දක්නට ලැබෙන මානසික හේතු
මේනියා රෝගය
මනෝ වෛද්‍ය විද්‍යාවේ ද්වී ද්‍රවීය ආබාධය (Bipolar disorder) නමින් මානසික ආබාධයක් තිබේ. මේ රෝගයද 1 සහ 2 නමින් කොටස් දෙකකි. ද්වි ද්‍රවීය යනු අන්ත දෙකක් පැවැතීමය.
ඒ අනුව ද්වී ද්‍රවීය ආබාධය 1 රෝගයේ අන්ත දෙක වනුයේ විශාදය (Depression) සහ මේනියා (Mania) රෝගයයි. ද්වි ද්‍රවීය ආබාධය 2 හි අන්ත දෙක නම් විශාදය සහ හයිපෝමේනියා තත්ත්වයයි.
ද්වී ද්‍රවීය ආබාධයට අන්ත දෙකක් පැවැතීම මත මේ මානසික රෝගය වැළඳුණු කෙනකු සමහර කාලවලට දක්වන්නේ විශාද රෝග ලක්ෂණය. තවත් සමහර කාලවලට මේනියා ලක්ෂණ දක්වති. ද්වී ද්‍රවීය ආබාධය 2 හිඅන්ත දෙක විශාදය සහ හයිපොමෙනියා බව ඉහත දැක්වීමු. මෙහිදී රෝගියා විශාද ලක්ෂණ පළ කරන කාලයට නිතර දුකින්, තරහින් සහ නොසන්සුන් බවින් පිරී දුක්මුසුව පැත්තකට වී කාලය ගත කරයි. ලිංගික හැසිරීම් පිළිබඳ උනන්දුවක් හෝ ආශාවක් නැත. හයිපොමේනියා තත්ත්වයේදී දක්වන්නේ එහි අනෙක් පැත්තය. එනම් සතුට අධිකය. ලිංගික හැසිරීම් කෙරෙහි දැඩි කැමැත්තක් දක්වයි නමුත් එය පානය කරගැනීමේ හැකියාව ඇත. හයිපොමේනියා රෝගය රෝහලක නතර කර ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් නොවේ. ඔවුනට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. මෙය මේනියා තරමටම වර්ධනය නොවූ තත්ත්වයකි.
අපේ සමාජය තුළ ඕනෑ තරම් මෙම රෝගීන් දැක ගත හැකිය. ඔවුනට ප්‍රතිකාර අවශ්‍ය නැත.
ලිංගික හැසිරීම් අධික ලෙස පළ කරන්නට වීම රෝගියාටම කරදරයක් වුණොත් පමණක් ඖෂධ ප්‍රතිකාර ලබා ගත හැකිය. අප ද්වී ද්‍රවීය ආබාධය 2 ගැන සුළුවෙන් සඳහන් කළේ ඔබට මේ තත්ත්වය නිරවුල් ලෙස පැහැදිලි කර ගැනීම සඳහාය.
ද්වී ද්‍රවීය ආබාධය යනු මීට වඩා ප්‍රබල රෝග තත්ත්වයකි. ඉහත සඳහන් කළ යුවතියගේ බඳු හැසිරීම් ද්වී ද්‍රවීය පළවෙනි කාණ්ඩය සහිත රෝගීන් පළ කළ හැකිය. මේ රෝගයේ එක් අන්තයක් වනුයේ මේනියා තත්ත්වයයි. සාමාන්‍යයෙන් මේනියා රෝගය තනි රෝගයක් ලෙස වැළඳෙන්නේ නැත. එය ද්වි ද්‍රවීය ආබාධයේ එක් අන්තයක් ලෙස පවතියි.
ද්වි ද්‍රවීය රෝගීන්ට මේනියා තත්ත්වය ඇති කාලවලදී විශේෂයෙන් කාන්තාවන් අධික ලිංගික ආශාවන් හා හැසිරීම් පළ කරනු ඇත. සාමාන්‍ය කෙනෙකුට තමන් තුළ ඇතිවන අධික ලිංගික ආශාවන් අවස්ථානුකූලව පාලනය කරගත හැකි මුත් මේනියා
රෝගීන්ට එලෙස පාලනය කර ගැනීම අසීරුය. ඕනෑම කෙනෙකු ඉදිරියේ කිසිදු ලජ්ජාවක් බියක් නැතිව සිය ඇඳුම් ඉවත් කර ලිංගික හැසිරීමක යෙදීම මේ රෝග තත්ත්වය ඇති කාන්තාවන්ට කිසි අපහසුවක් නැත. අප මේ දක්වන්නේ ගණිකා වෘත්තිය පිළිබඳව නොවන බව සැලකිය යුතුය. ඕනෑම තැනක, ඕනෑම විටෙක කිසිදු අපහසුවකින් තොරව තම නිරුවත දැක්වීමට හා ඕනෑම අයකු හා කිසිදු පැකිලීමකින් තොරව කායික සම්බන්ධතා පැවැත්වීමට මොවුන් පෙළඹෙනු ඇත. ඊට හේතුව මේනියා රෝග තත්ත්වය හේතුවෙන් ලිංගික ආශාවන් පාලනය කර ගැනීමට හැකියාවක් නොතිබීමය. නමුත් මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් නම් අධික ලිංගික ආශාව හා හැසිරීම් ඇති හැම කෙනෙක්ම මේනියා රෝගීන් නොවන බවය.

ඇබ්බැහිවීම
මෙකල නව යොවුන් දරුවන් විවිධාකාර දේවල්වලට ඇබ්බැහිවීම දක්නට ලැබේ. සමහරුන් සිතා සිටින්නේ පිරිමි දරුවන් මිස ගැහැනු දරුවන් විවිධ දේවල්වලට ඇබ්බැහි නොවන බවය. නමුත් ගැහැනු පිරිමි භේදයක් නැතිවම නොයෙකුත් දේවල්වලට ඇබ්බැහි වීම සිදුවිය හැකි අතර විශේෂයෙන් ඉහළ සමාජයේ සහ ඉහළ පෙළේ පාසල්වල ඇතැම් දරුවන් අතර පවා මත් පෙති වර්ග ජනප්‍රිය වී තිබේ. ෆාමසිවල දක්නට නොලැබෙන මේවා අලෙවිය නීති විරෝධී වුවත් මෙවැනි දෑ මිලදී ගත හැකි ස්ථාන පවතියි. මේවායින් ශරීරය තුළ උත්තේජනයක් ඇති කරන අතර ලිංගික ආශාවද බොහෝ සෙයින් ඉහළ නැංවෙනු ඇත. මේවා දිගින් දිගටම ගන්නා අයගේ ලිංගික ප්‍රබෝධය හා ආශාව වැඩිකලක් රඳා පවතින නිසා ඔවුන් කිසිදු ලජ්ජාවකින් හෝ බියකින් තොරව අධික ලෙස ලිංගික සේවනයෙහි යෙදෙනු ඇත.

මහනුවර මහ රෝහලේ
විශේෂඥ මනෝ වෛද්‍ය
ගිහාන් අබේවර්ධන

ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>