TT Ads

ලංකාවේ ගලගණ්ඩය රෝගය වැඩියෙන් පැතිරී ඇත්තේ රටේ මැද ප්‍රදේශවලයි. ඒ ඇයි?

බෙල්ල දෙපස පිහිටි තයිරොයිඞ් ග්‍රන්ථය ඉදිමීම නිසා ගලගණ්ඩය රෝගය හට ගනී. මෙසේ තයිරොයිඞ් ග්‍රන්ථය ඉදිමෙන්නේ ශරීරයට ලැබෙන අයඩීන් නමැති ඛනිජ ලවණය අඩුවීම නිසයි. අප සිරුරට අවශ්‍ය අයඩීන් බහුලව ලැබෙන්නේ මුහුදු මාළු කෑමෙනි. රටේ මැද ප්‍රදේශ ආශ්‍රිතව මුහුදක් නොමැති නිසා මුහුදු මාළු කෑමට වැඩි දෙනෙකුට අවස්ථාව නොලැබේ. එම නිසා අයඩින් බහුල ලෙස නොලැබීම හේතුවෙන් රටේ මැදට වන්නට සිටින පිරිසට අයඩින් ඌනතාවක් ඇති වීමෙන් ගලගණ්ඩය රෝගය හට ගැනීමේ වැඩි ඉඩකඩක් පවතී. එම නිසා මෙම රෝගය වැළැක්වීමට අපේ කෑමට දමන ලුණුවලට අයඩීන් මිශ්‍ර කර නිෂ්පාදනය කරයි.

 

දිවා කාලයේදී වැලි පාරට වඩා තාර පාර රත් වන්නේ ඇයි?

වැලි පාරේ පවතින්නේ වැලි හා බොරළුය. නමුත් තාර පාරක තාර කළු පැහැති නිසාත්, එය රළු පෘෂ්ඨයක් නිසාත්, තාපය වැඩියෙන් අවශෝෂණය කරගනී. එම නිසා දිවා කාලයේදී බොරළු පාරට වැඩිය තාර පාර රත්වේ.

කෙසෙල් පැළයක් සිටු වීමේදී එහි කොළ කපා දමා සිටුවන්නේ ඇයි?

කෙසෙල් පැළයක් වෙනත් තැනකින් ගලවා තවත් තැනක සිටුවන විට, ඒ සැණින්ම එහි මුල් හටගන්නේ නැහැ. එහි මුල් හටගෙන, පසේ පවතින ජලය ශාකයට උරා ගැනීමට දින ගණනාවක්ම ගත වීමට පුළුවන්. එම නිසා ගසේ ශාක පත්‍ර හෙවත් කොළ පැවතිය හොත්, දිවා කාලයේදී උත්ස්වේදනය ක්‍රියාවලිය නිසා ශාකයේ පවතින ජලය වාෂ්ප වී යාමට පුළුවන්. මේ නිසා ඉතා ඉක්මනින් ශාකයේ ජලය අඩු වී ගොස් ශාකය වියළී යාමට පුළුවන්. එම නිසා ශාක පැළයේ පත්‍ර හෙවත් කොළ කපා දැමීමෙන් උත්ස්වේදනයෙන් වන හානිය වළක්වා කෙසෙල් පැළය වර්ධනය කර ගැනීමට පුළුවන්.

ටින් ආලේප කර ඇති යකඩ තහඩුක් මත සීරීමක් ඇති වූ විට එය ඉක්මනින්ම මලකඩ කෑම දක්නට ලැබේ.

යකඩ තහඩුවක් මත ටින් ආලේප කිරීම නිසා එහි පෘෂ්ඨය ජලය හා ඔක්සිජන් සමග ගැටීම වැළකෙයි. මේ නිසා යකඩ තහඩුව මලකඩ නොකයි. නමුත් යකඩ තහඩුව මත සීරීමක් ඇති වුවහොත් එම සීරීම ඔස්සේ යකඩ තහඩුව වාතයට විවෘත වෙයි. එවිට බාහිර පරිසරයේ පවතින ඔක්සිජන් වායුව හා ජල වාෂ්ප සීරුන තැන ඔස්සේ යකඩ තහඩුව හා ගැටේ. මෙහිදී ටින්වලට වඩා යකඩ සක්‍රිය වන බැවින් යකඩය ඔක්සිකරණයට භාජනය වී සීරුන ස්ථානය ඉක්මනින් මලකඩ කෑම අරඹයි.

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>