TT Ads

දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වෙන  සංගීතේ ටෙලිනාට්‍යය ගැන කතා කරද්දි අසෙනිගේ චරිතය අමතක කරන්න බැහැ අප මේ සූදානම් වන්නේ අසෙනිගේ චරිතය නිරූපණය කරන ගීත්මා බණ්ඩාර සමඟින් සුහද කතා බහකට  එකතුවෙන්නයි.

 ගීත්මාට  අසෙනිගේ චරිතය ගැන මොනවද  හිතෙන්නේ?
අසෙනි අහිංසකයි. ඒ චරිතය තුළින් තරුණ වයසේ ඉන්න ගැහැනු ළමයෙකුගේ විවිධ පැතිකඩ ගැන කියවෙනවා. ඇය තමන්ගෙ සීයා කෙරේ දක්වන ආදරේ නිසා ගෙදර අයත් එක්ක නිතරම ගැටෙනවා. ඒ වගේම ඇය හරිම බොළඳ පෙම්වතියක්. දඟකාර පාසල් යුවතියක්. එහෙම බැලුවම අසෙනි කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්.

ඔබට  රංගනයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද ?

හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා.ඒ හරහා තමයි මම ක්ෂේත්‍රයට එන්නෙ. මගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම වෙන්නෙ අහස් මාළිගා. ඉන් පසුව නිල්වලා ආයතනයෙන් කරපු සිරස රූපවාහිනී නාලිකාවේ විකාශනය කරන නීලපබළු නාට්‍යට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ අතරවාරයේදි මට හමුවුණු යාළුවෙකුගෙ මාර්ගයෙන් සාරංග මෙන්ඩිස් මහතාගෙ නිෂ්පාදක කණ්ඩායම හා දෙරණ ආයතනය හඳුනාගත්තා. ඒ අනුව මම සංගීතේ ටෙලිනාට්‍යට සම්බන්ධ වෙනවා.

හිරු අවුරුදු කුමාරිය තරගාවලියට ඉදිරිපත් වුණේ ජයග්‍රහණය ලබන්න හිතාගෙනමද?

එහෙම ලොකු සිතුවිල්ලක් තිබුණේ නැහැ.බලාපොරොත්තුවක් තිබුණා.  කොහොම හරි 2018 පැවැති හිරු අවුරුදු කුමරිය තරගයෙන් දෙවැනි ස්ථානය මට ලැබෙනවා. ඇත්තටම එම තරගාවලියෙදි ලත් අත්දැකීම් එක්ක ජීවිතේ ලොකු වෙනසක් වෙයි කියලා නම් හිතුනා.

අද ඒ වෙනස සිදුවෙලා ද?

බොහෝ දුරට . මොකද මට මුල් කාලයේ කලාවට සම්බන්ධ වෙන්න ඕනෙ කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අධ්‍යාපනයෙන් ඉදිරියට යාමේ අවශ්‍යතාව පමණයි තිබුණේ. ඒත් මගේ පෙර වාසනාවකට ද කොහෙද අවුරුදු කුමාරිය තරගයට යන්න හිතුනා. ඒකත් ගමේ පැවැත්වෙන පොඩි තරගයකට නෙවෙයි. දැවැන්ත තරගාවලියකට යන්න ඕනෙ කියන බලාපොරොත්තුව මාව ඉදිරියටම ගෙනාවා.ඒ හරහා රංගනයට දොරගුළු විවර වුණා. ඉතින් මම ගත්ත තීරණය ගැන අද ගොඩක් සතුටු වෙනවා.

 

ඔබ අද රංගනයට අවතීර්ණ වෙලා.ඉතින් ඒ ගැන යම් හැදෑරීමක් කරන්නට අදහසක් නැද්ද?

තවමත් මගේ අධ්‍යාපන කටයුතු අවසන් නැහැ. රංගනය ගැන ඉගෙන ගන්න ඕනෙ කියන අදහස මා තුළ තියෙනවා. ඒත් මේ එයට වෙලාව නොවෙයි. ඉදිරියෙදි ඒ දේවල්  සිද්ධවෙයි.

ඔබ දිගටම කලාවේ රැඳෙන්නට ද එහෙමත් නැත්නම් වෙනත් රැකියාවක යෙදෙන්නද හිත?

පූර්ණ කාලීනව කලා කටයුතු වල යෙදෙන්නට හිතාගෙනයි ඉන්නේ. නමුත් උගත්කම ගැන හිතන නිසා අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගන්නට බලාපොරොත්තු වෙනවා. කොහොමත් නිරූපණ ශිල්පිනියක ලෙසත් කටයුතු කරන නිසා මම දිගටම ක්ෂේත්‍රයේ රැඳී හිඳියි.

කොහොමද ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ ?
ඒ මගේ යාළුවෙක් නිසා. මේ වනවිට වෙළෙඳ දැන්වීම් බොහොමයක් කරලා තියෙනවා. ඒ ගැන සතුටුයි. හිතුවෙවත් නැති මොහොතක කලා ක්ෂේත්‍රයට ඇවිත් මේ තරම්  ජනතා ප්‍රසාදයක් ලැබීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

ඒ කියන්නේ ගීත්මා ආඩම්බරකාරියක් ?
අනේ නැහැ , මම ආඩම්බර නැහැ.

මේ ඔබේ පළමු රංගනය නෙවෙයි. මින් පෙර රංගන අවස්ථාවන් පිළිබඳව සිහිපත් කිරීමේදී සංගීතේ අසෙනි ගැන මොනවද හිතෙන්නේ ?

ඒ අවස්ථාවන් ගැන  මතක්  කිරීමේදී  මට හිතෙන්නේ  විවිධ චරිත නිරූපණයට අවස්ථාවක් ලැබුණා කියලයි.පළමු ටෙලිනාට්‍යයේ මට රඟපාන්න තිබුණේ පුංචි ළමයෙකුගෙ චරිතයක්. දෙවෙනි ටෙලිනාට්‍යයේ තනිකරම නපුරු චරිතයක්. තුන්වෙනි ටෙලිනාට්‍යයේ අහිංසක අසෙනිගෙ චරිතය.  සංගීතේ ගොඩනැගෙන්නෙ අසෙනිගෙ කතාව ඇතුළත.මම දකින සංගීතේ සමාජය පිළිබඳව විවරණයක් කරන සමාජ ඇතුළාන්තය එළියට දක්වන නාට්‍යයක්. මේ තරම් කෙටි කාලයකින් මෙතරම් රසික ප්‍රසාදයක් හිමිව තිබෙන්නේ ඒ නිසයි.

මේ රංගන කාර්යයේදී සංගීතේ නිෂ්පාදක කණ්ඩායමෙන් ලැබෙන්නේ කොයිවගේ සහයෝගයක් ද?

ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. එකවර මෙගා ටෙලිනාට්‍යය දෙකක රූගත කිරීම් අතර ඉන්නවා කියන්නේ ලොකු අභියෝගයක්. නමුත් මට නාට්‍ය දෙකේම කටයුතු කරගෙන යන්නට හැකිවන විදියට කාල වේලාව වෙන්කර දීලා එයාලා මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඒ අයගෙ ශක්තියෙන් මම තව දුරටත් රංගනය තුළ බැබලෙනවා කියන විශ්වාසය මට තියෙනවා.

රසික ආදරේ දැනෙන්නේ කොහොමද ?
ඒ ආදරේ තමයි මගේ වත්කම. පාරකට බැස්සත් ඒ අය අසෙනි නේද කියලා ළඟට ඇවිත් කතා කරනවා. ඒ නිළියකට ලබන්න පුළුවන් ලොකුම සම්පත. ඒ නිසා ඒ ආදරේ මට ගොඩක් වටිනවා

කල්හාරි දසනායක

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>