TT Ads

 

සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පිනියක වන නිල්මිණී තෙන්නකෝන් සෘජුව අදහස් පළ කරන කලාරිනියක ලෙසද ප්‍රකටය. මෙම සංවාදයේදීද ඇය කලා ක්ෂේත්‍රය ගැන මෙන්ම සිය පෞද්ගලික ජීවිතය ගැනද බොහෝ දෙනා නොදන්නා තතු රැසක් හෙළි කළාය.

 

 මේ වෙද්දී ඔබ කලා ක්ෂේත්‍රයෙන් ටිකක් ඈත්වෙලා නේද ඉන්නේ?
එහෙම දෙයක් නැහැ. මේ දවස්වලත් මම ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙනවා. හැබැයි මේ වෙද්දී මම මගේ රංගන ජීවිතයේ ඉදිරි ගමන ගැන වැදගත් තීරණයක් අරගෙනයි තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී මගේ කලා දිවියේ යම්කිසි වෙනසක් නම් අනිවාර්යයෙන්ම සිදුවේවි.

 මොකක්ද ඔය කියන වෙනස?
ජනතාව මාව වැඩිපුර හඳුනන්නේ ටෙලි නාට්‍ය නිළියක් විදියට. මොකද මෙතෙක් කාලයක් මම ටෙලි නාට්‍යවලට තමයි වැඩිපුරම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. හැබැයි ඉදිරි කාලයේදී ඒක තරමක් වෙනස් වේවි. මොකද මින් ඉදිරියට මම ටෙලි නාට්‍යවල රඟපෑම සීමා කරලා චිත්‍රපට වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නයි හිතාගෙන ඉන්නේ.

 ඇයි ඒවගේ තීරණයක් ගත්තේ?
අද අපේ රටේ නිර්මාණය වන දීර්ඝ ටෙලි නාට්‍යවලට ආරාධනා කරද්දී, ඒවායේ පිටපත්වල මුල් කොටස් විතරයි අපට ලැබෙන්නේ. ඒවායේ නිර්මාණකරුවෝ අපි වගේ ප්‍රවීණ නළුනිළියන්ට ඉහළ ගෙවීමක් පොරොන්දු වෙලා ඒවාට අපිව සම්බන්ධ කරගන්නේ මුලදීම ටෙලි නාට්‍ය ජනප්‍රිය කරන්න හිතාගෙනයි. හැබැයි ටෙලි නාට්‍යයේ මැද සහ අග කොටස්වලට යද්දී අපිව දායක කර ගන්නා දර්ශන ගණන ටිකෙන් ටික අඩු කරනවා. මොකද එහෙම කළාම ඔවුන්ට අපි වෙනුවෙන් ලොකු මුදලක් ගෙවන්න සිදු වෙන්නේ නැහැ. රංගන ශිල්පිනියක් විදියට මම අපේ රටේ ජනතාව ඉදිරියේ ගොඩනගාගත් ප්‍රතිරූපයක් තියෙනවා. මේ විදිහේ අසාධාරණකම් සිදුවුණාම මගේ රංගනයෙන් මට ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න බැරි වෙනවා.

 ඔය කියන ගැටලුව නිසාමද පුංචි තිරයෙන් ඔබ ඈත් වෙන්න හිතුවේ?
ඒ හේතුව නිසා පමණක් නෙවෙයි, මට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ගැන කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. ටෙලි නාට්‍යවල රඟපාන්න ගියාම, අලුත් නළුනිළියන් දහදෙනෙක් එක්ක රඟපාන්න ගියොත් එයින් අටදෙනෙක් එක්කම හරියට වැඩ කරන්න අමාරුයි. මොකද ඒ අයට ටෙලි නාට්‍යයේ පිටපත ගැනවත් හරිහැටි අවබෝධයක් නැහැ. නිතරම තමන්ගේ ජංගම දුරකථනවල එල්ලිලයි ඉන්නේ. මට නම් අදටත් තියෙන්නේ හොඳ චරිත රඟපෑමේ පිපාසයක්. ඉතින් දීර්ඝ කාලයක් වැඩ කරලා දිගටම ටෙලි නාට්‍යවල රඟපාලා තවදුරටත් හෙම්බත් වෙනවාට වඩා චිත්‍රපට වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන එක හොඳයි කියලා මට හිතුණා.

 මවක් විදිහට ඔබට පැවරිලා තියෙන වැඩ රාජකාරී ගැනත් හිතලද මේ වගේ තීරණයක් ගත්තේ?
ඔව්. මොකද, මගේ දුවගේ අම්මා විතරක් නෙවෙයි තාත්තාත් මමයි. දුවට දැන් අවුරුදු 18යි. මේ අවුරුදු 18 තුළ මම මගේ තනි ධෛර්යයෙන් තමයි දුවව උස් මහත් කළේ. තාත්තා කෙනෙකුගෙන් කියලා පුංචි උදව්වක්වත් දුව වෙනුවෙන් මට ලැබුණේ නැහැ. දුවව තනියම උස් මහත් කරන්න මම විශාල සටනක් ගෙන ගියා. අද මට ගොඩක් වෙහෙසයි. හැබැයි දරුවා හොඳට උස් මහත්වෙලා ඉන්නවා දකිද්දී මට හිතෙනවා මම මගේ සටන ජය අරගෙනයි තියෙන්නේ කියලා.

 තාත්තා දුරස්වෙලා හිටියාට දුව වෙනුවෙන් ඔහුගෙන් ඉටුවිය යුතු යුතුකම් නම් පැහැර හැරලා නැහැ නේද?

ඒක අමූලික බොරුවක්. අපේ දික්කසාදයෙන් පස්සේ දුව වෙනුවෙන් යම් ගෙවීමක් කරන්න උසාවියෙන් නියම කරලා තියෙනවා නම්, කවදාවත් ඒකවත් ඇයට ලබා දීලා නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පහුගිය කාලේ කලා ක්ෂේත්‍රයේ වැඩ අඩු වුණා. මම දැනට සැලෝන් එකක් පවත්වාගෙන යනවා. ඒ ව්‍යාපාර කටයුතු පවා කඩාගෙන වැටුණා. හැබැයි එහෙම කියලා අපි වෙනුවෙන් හාල් ඇටයක්වත් ගෙනත් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. කවුරුවත් තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගෙන ගෞරවයක් ලබා ගන්න මගේ දුව ගැන බොරු කියනවාට මම කැමති නැහැ. ඒ කියන බොරු ඇහෙද්දී දුවත් කියනවා “ඇයි අම්මා මිනිස්සු මේ විදිහට බොරු කියන්නේ” කියලා.

 ඉදිරියටත් ඇය වෙනුවෙන් තනිවම කැප වෙන්න තරම් ශක්තියක් ඔබට තිබෙනවාද?
ඔව්. ඒ ගැන කිසිම සැකක් මට නැහැ. හුඟක් තාත්තලා කසාදයෙන් වෙන් වුණත් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්වත් වියහියදම් කරනවා. මගේ දුවගේ වයසත් එක්ක ඇයගේ අධ්‍යාපන කටයුතුවලට විශාල මුදලක් වැය වෙනවා. නමුත් මම අම්මා කෙනෙක් විදිහට නම්බුකාර විදිහට ජීවත්වෙමින් ඇයගේ අවශ්‍යතා සියල්ල කොහොමහරි ඉටු කරනවා. මින් ඉදිරියටත් යම් විදිහකින් උසාවියෙන් නියම කරන මුදලක් දුව වෙනුවෙන් ගෙවන්න සූදානම් වුණත් එය ලබා ගන්න මම කැමති නැහැ. මොකද එවැනි මුදලකට මගේ දුවව විකුණන්න මම සූදානම් නැහැ.

 විවාහයෙන් වෙන්වෙලා දිගු කාලයක් ගතවුණාට පසුවත් නිල්මිණී ඇයි පරණ මතකයන් නැවතත් හාරා අවුස්සන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද?
මම කාටවත් වෛර කරන්නේ නැහැ. මොකද ඒ විවාහය නිසා මට මේ ලෝකේ වටිනාම තෑග්ග ලැබුණා. ඒ තමයි මගේ දුව. ඇය නොහිටියානම් මේ වෙද්දී මම මේ ලෝකේ නැහැ. තමන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ දරුවන් දාලා ගිහින් ඔවුන්ට කිසිම උදව් උපකාරයක් නොකරන පියවරු මේ රටේ ඉන්නවා. කවුරුහරි කෙනෙක් එහෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්නවානම් “අනේ ඒ දේ නම් කරන්න එපා” කියන පණිවුඩය ඔවුන්ට ලබා දෙන්න විතරයි මට ඕනෑ. මගේ මේ කතාව අහලා ඒ එක්කෙනෙක් හරි තමන්ගේ තීරණය වෙනස් කර ගන්නවා නම් ඒක ලොකු පිනක්.

කිෂාන් කනංකෙ

ඡායාරූප – මංජුල පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>