TT Ads

ප්‍රවීණ සංගීතවේදී එඞ්වඞ් ජයකොඩිගේ නම කියපු සැණින්, ශ්‍රී ලංකේය සංගීත ක්‍ෂේත්‍රයට සුමිහිරි ගීත රැසක් තිළිණ කළ ප්‍රවීණ ගායන ශිල්පිනියකගේ නමක්ද ඒ සමග ඕනෑම කෙනෙකුගේ මතකයට නැගෙයි. ඇය නමින් චරිතා ප්‍රියදර්ශනී පීරිස්ය. ප්‍රවීණ සංගීතවේදී එඞ්වඞ් ජයකොඩිගේ ජීවන සහකාරිය මෙන්ම ඔහුගේ ගායන දිවියේද සෙවණැල්ල වන චරිතා “අහස් ගැබේ තරු කැට ගානේ”, “කෝපි මල් හිනා”, “සීනුව වදිනතුරා”, “සෙනෙහසේ නවාතැනේ” ඇතුළු මතකයෙන් ඈත් නොවන මියුරු ගීත ගොන්නක් සිය ගායන දිවිය තුළදී ගීත ලෝලීන් වෙත තිළිණ කර ඇත.
සිය සැමියා සහ දරු දෙදෙනා සමගින් එක්ව සංගීත ක්‍ෂේත්‍රයේ මෙන්ම පවුල් ජීවිතය තුළද නියැළෙන ගමන ගැන නවතම තොරතුරු රැගෙන චරිතා මෙසේ සංවාදයට එක් වූවාය.

* ඔබේ අලුත් තොරතුරු ගැන කතාබහ කරමින් මේ සංවාදය ආරම්භ කරමු.
මේ දිනවල නම් ප්‍රසංගවලට සහභාගි වීම නිසා තරමක් කාර්යබහුල දින චරියාවක් තමයි මම ගතකරන්නේ. පසුගිය කාලයේ විදෙස් සංචාර කිහිපයකටත් එක් වුණා. ඒ ඕස්ටේ්‍රලියාවේ, නවසීලන්තයේ, කුවේට්වල සහ ලන්ඩන් නුවර පැවැත්වුණු ප්‍රසංග මාලාවක්ම සඳහායි. දැන් අපේ ‘මාරම්බරී’ සහ ‘නෙතු දැහැන්’ කියන ප්‍රසංගත් අරගෙන මමයි එඞ්වඩුයි රටපුරා යනවා.

* ප්‍රසංග සඳහා ලැබෙන ප්‍රතිචාර සතුටුදායකද?
ඒ ප්‍රතිචාර ඉතාම ඉහළයි. මේ ප්‍රසංග අතරින් “මාරම්බරී” කියන්නේ එඞ්වඞ්ගේ ඒක පුද්ගල ප්‍රසංග මාලාව. මම ඊට යුග ගායනය සඳහා එක්වෙනවා. “මාරම්බරී” ප්‍රසංගය දැන් දසවැනි වසරට පා තබලයි තියෙන්නේ. ඒක පුද්ගල ගී ප්‍රසංගයක් වසර දහයක් නොකඩවා පැවැත්වීමට ලැබෙනවා කියන්නේ විශාල ජයග්‍රහණයක්. ඉතින් ඒ සන්ධිස්ථානය සමරමින් ලබන වසරේ ජනවාරි මාසයේ “මාරම්බරී” දසවස් පූර්ණ සැමරුම් උත්සවය පවත්වන්නයි අපි මේ වනවිට සූදානමින් ඉන්නේ.

* “නෙතු දැහැන්” කියන්නේ ඔබේ පවුලේ ප්‍රසංගයක් නේද?
ඔව්, “නෙතු දැහැන්” කියන්නේ ත්‍රිපුද්ගල ප්‍රසංග මාලාවක්. මම, එඞ්වඞ් සහ අපේ පුතා චන්දීප තමයි එහි ගීත ගායනා කරන්නේ. අපි එය ආරම්භ කළේ ගිය වසරේදීයි. “නෙතු දැහැන්” ප්‍රසංගයේ විශේෂත්වයකුත් තිබෙනවා. ඒ තමයි එහිදී අපි ගායනා කරන්නේ ආදර ගීත පමණක් වීම.

* ආදර ගීත පමණක් තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණාද?
එඞ්වඞ්ගේ “මාරම්බරී” ප්‍රසංගයේදී විවිධ තේමාවන්ගෙන් යුත් ගීත ගායනා කරනවා. ඒ නිසා එහිදී ඔහුට ආදර ගීත රැසක් ගායනා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් රසික රසිකාවියන් ප්‍රිය කරන ආදර ගීත විශාල සංඛ්‍යාවක් ඔහු සතුව තිබෙනවා. ඉතින් ඒ නිසා අපි තීරණය කළා “මාරම්බරී” ප්‍රසංගයේදී නොගැයෙන එඞ්වඞ්ගේ ආදර ගීත, මගේ ආදර ගීත සහ පුතාගේ ආදර ගීත එකතුවක් ‘නෙතු දැහැන්’ ප්‍රසංගයේදී ගායනා කරන්න. දැනටමත් අපි හඳුන්වාදුන් වෙනසට රසිකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ නිසා “නෙතු දැහැන්” ප්‍රසංගය ලබන වසරේදීත් ඉදිරියටම ගෙනියන්නයි අපි හිතාගෙන ඉන්නේ

* පුතා සංගීතවේදියෙක් විදිහට යන ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ ?
ඒ ගැන මට වගේම එඞ්වඞ්ටත් හරිම සතුටුයි. පුතා මූල්‍ය කළමණාකරණ ක්‍ෂේත්‍රයෙනුයි ඕස්ටේ්‍රලියාවේදී උපාධිය ලබා ගත්තේ. ගීත ගායනයට වගේම තනු නිර්මාණයටත් ඔහුට හොඳ හැකියාවක් තිබෙන නිසා නැවත ලංකාවට ආවාට පස්සේ පුතා සංගීත ක්‍ෂේත්‍රයටත් යොමු වුණා. පුතා දැනටත් තමන්ගේ ගීත කිහිපයක් ගායනා කරලා තියෙනවා. මෑතකදී ඔහු නිකුත් කළ එක් ගීතයක් “වස්සානයේ එක් දවසක” නමින් දැන් ‘යූ-ටියුබ්’ ඔස්සේත් රසවිඳින්න පුළුවන්. මම දකින විදිහට බොහොම හෙමින් නමුත් ස්ථාවර ගමනක් තමයි ඔහු සංගීත ක්‍ෂේත්‍රය තුළ යමින් ඉන්නේ.

* දුවටත් ගායනා හැකියාව උපතින්ම පිහිටලා තියෙනවා නේද?
ඔව්, දුවත් ගායනයට දක්‍ෂයි. දැනට නම් දුව අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවෙලයි ඉන්නේ. නමුත් 2020 වසරේ පැවැත්වෙන මාරම්බරී සැමරුම් ප්‍රසංගය සඳහා ඇය ගායනයෙන් එක්වේවි.

* ඔබ රටේ හැමෝම දන්නා හඳුනන ප්‍රවීණ ගායන ශිල්පිනියක්. ඒ වගේම නිවසේදීත් ඔබට බිරිඳක් සහ මවක් විදිහට ඉටුකිරීමට බොහෝ වැඩ රාජකාරී සහ වගකීම් පැවරිලා ඇති. ඉතින්, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබ කොහොමද තත්පරෙන් කප්පරක් වැඩ රාජකාරි නිමකිරීම සඳහා ඔබේ කාලය කළමනාකරණය කරගන්නේ ?
සංගීත ක්‍ෂේත්‍රයේ සහ පවුලේ වැඩකටයුතුවල යෙදෙද්දී බොහෝ වෙලාවට මට කාර්යබහුල ජීවිතයක් තමයි ගතකරන්න වෙන්නේ. මොකද සංගීත කටයුතු තිබුණා කියලා පවුලේ වගකීම් මගහරින්න බැහැ. ඒ වගේම තමයි පවුලේ වැඩ තිබුණා කියලා සංගීත කටයුතුවලින් ඈත්වෙන්නත් බැහැ. හැබැයි දැන් මම ඒ දිනචරියාවට පුරුදු වෙලයි ඉන්නේ. ඒ නිසා ඒ කාර්යබහුලත්වය මට විශාල ගැටලුවක් නෙවෙයි. මොකද මම හිතන්නේ කාන්තාවක් විතරක් නෙවෙයි, ඕනෑම කෙනෙකුට යම් වගකීමක් හෝ රාජකාරියක් ඉටු කරන්න සැබෑ අවශ්‍යතාවක් තියෙනවා නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා කාලය කළමනාකරණය කර ගැනීම අපහසු වන්නේ නැහැ.

* ඔබ සංගීත ක්‍ෂේත්‍රයට පා තැබූ සමයට වඩා අද ගීත කලාව බොහො වෙනස් වීම්වලට ලක්වෙලා. අද තරුණ පරපුරේ ඇතැමුන් විවිධ රැලි පසුපස ගමන් කරමින් සිටිනවා. තවත් සමහරු පැරණි ගීත අනවසරයෙන් නව රිද්මයට ගායනා කරනවා. සංගීත ක්‍ෂේත්‍රයේ සිදුව තිබෙන මේ පෙරළිය ඔබ දකින්නේ මොන විදිහටද?
කාලය ගතවීමත් සමග ඕනෑම ක්‍ෂේත්‍රයක බිහිවන නිර්මාණ දිනෙන් දින අලුත් වෙනවා. ඒක අපට වැළැක්විය හැකි දෙයක් නෙවෙයි. හැබැයි මොන විදිහේ නිර්මාණ බිහිකළත් ඒවා අපේ රටේ සංස්කෘතියට සහ සදාචාරයට ගැළපෙන පරිදි නිර්මාණය කරන්න අපේ තරුණ පරපුර වගබලා ගත යුතුයි. මොකද විදෙස් රටවලින් ලැබෙන හැම දෙයක්ම අපි ඒ විදිහටම ආභාෂයට ගත යුතු නැහැ. මම දකින විදිහට හරි හැටි නීතිරීති ක්‍රියාත්මක නොවී මේ අඩුපාඩුව නිසා තමයි ඇතැම් අය අනවසරයෙන් වෙනත් ශිල්පීන්ගේ ගීත ගායනා කිරීම වැනි වැරදි කරන්නේ අඩුම තරමින් ඒවා ගායනා කරන්න පෙර මුල් අයිතිකරුවන් දැනුවත් කිරීමට තරම්වත් ඔවුන් සදාචාර සම්පන්න විය යුතුයි. එහෙම නොවුණොත් අපේ ගීත කලාව ඉදිරියේදී පිරිහීමට ලක්වීම වළක්වන්න බැහැ.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>