TT Ads

හෝමාගම ටවුන් එකේ තියෙන “ලකී ස්ටාර්” කියන හෝටලේ කාමරයක පිරිමියෙක් බාල වයස්කාර ගෑනු ළමයෙක්ව තියාගෙන ඉන්නවා. දැන්ම ගියොත් අතටම අල්ල ගන්න පුළුවන්” ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට ලැබුණු මෙම පැමිණිල්ලට අනුව එහි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වහාම විමර්ශන කටයුතු සඳහා අදාළ හෝටලය බලා පිටත් වූහ. වැඩි වේලාවක් නොගොස්ම ඔවුහු
හෝටලයේ පිළිගැනීමේ දොරටුව වෙත ළඟා වූහ.
“මේ වෙලාවේ නම් හෝටලේ කාමර දොළහෙම කපල්ස් තමයි ඉන්නෙ සර්. ඔය කියන කපල් එක ඉන්නේ මොන කාමරේද කියලා නම් හරියටම කියන්න අමාරුයි. තව කපල්ස් කීපයක්ම කාමර බුක් කරලා එළියේ බලාගෙනත් ඉන්නවා.” හෝටලයේ කළමනාකරු එලෙස පිළිතුරු දුන්නේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් සහ නිලධාරිනියන් තමන් පැමිණි හේතුව දැක්වූ විගසමය. ඒ අනුව හෝටලයේ කාමර සියල්ල පරීක්ෂා කිරීම වහාම ආරම්භ විය. පළමු කාමරයෙන් එළියට ආවේ තරුණ යුවළකි. “අපි දෙන්නා ළඟදි බඳින්නයි ඉන්නේ. මේ මගේ බෝයි ෆ්‍රෙන්ඞ්. අපි නම් කිසිම වරදක් කරලා නෑ” තරුණ කාන්තාව විමතියෙන් මෙන් කීවාය. ඇගේ රූමත් මුහුණෙහි වූයේ බියපත් පෙනුමකි.
“හොඳයි කමක් නෑ. නමුත් අපට අයිතියක් තියෙනවා මේ හැම කාමරයක්ම පරීක්ෂා කරන්න” එසේ පිළිතුරු දුන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපතිවරයා එම කාමරවල නැවතී සිටි සියලු සැක සහිත යුවළ වල නම්, ගම් සහ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස එහි පැමිණ සිටි නිලධාරිනියට දැනුම් දුන්නේය. මෙලෙස කාමර කිහිපයක් පරීක්ෂා කරමින් යද්දී ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරින්ට තමන් සොයමින් සිටි බාල වයස්කාර දැරිය හමු වූ අතර ඇය සමග සිටි සැක කටයුතු පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට හැකිවිය. (මෙම දැරියගේ කතාව ඉදිරි සතියක බලාපොරොත්තු වන්න.)
    
මෙම සිදුවීමෙන් මාස හයක් පමණ ගත විය, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මූලස්ථානය වෙත පැමිණී වයස 35ක් පමණ වන රූමත් කාන්තාවක් එහි මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපතිතුමා වෙත සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය. ඇය පැමිණ සිටියේ සිය බාල සොහොයුරාද සමගිනි.
“මම දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක්. මම මගේ හස්බන්ඞ්ට පණ වගේ ආදරෙන් හිටියේ. ඒත් ජපානෙට ගිහින් ආවාට පස්සේ එයා හුඟක් වෙනස් වුණා. එයා මාව දැන් නිකරුණේ සැක කරනවා. ඒ විතරක් නෙවෙයි අතින් පයිනුත් පහර දෙනවා. මම හිතන්නේ එයාට දැන් අනියම් සම්බන්ධතා කීපයක්ම තියෙනවා. ඉවසන්නම බැරි තැන තමයි මම මල්ලීත් එක්ක මෙහෙට ඇවිත් පැමිණිලි කරන්න හිතුවේ. මේ මනුස්සයා මෙහේ ගෙන්නවලා අවවාද කරන්න පුළුවන් නම් ලොකු දෙයක්” කාන්තාව පැවැසුවේ හැඟීම්බරවය. එය අසා සිටි ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරිනියක කැඳවා කාන්තාව රැගෙන ගොස් කාන්තාවගේ පැමිණිල්ල සටහන් කර ගන්නා ලෙස ඇයට දැනුම් දුන්නේය. තරුණ කාන්තාව පිටතට එනතෙක් බලා සිටි පොලිස් නිලධාරිනිය ස්ථානාධිපතිතුමාට මෙසේ පැවැසුවාය.
“සර් දැන් පැමිණිල්ලක් කරන්න ආපු ලේඩි සර් දන්නා කියන කෙනෙක්ද?”
“නැහැ. ඇයි එහෙම ඇහුවේ” ස්ථානාධිපතිවරයා ඇසුවේ කුතුහලයෙනි. “සර්ට මතකද මීට මාස හය හතකට කලින් අපි හෝමාගම ලකී ස්ටාර් හෝටලේට ගියා විමර්ශනයක් කරන්න. ඒ වෙලාවේ පළවෙනි කාමරෙන් එළියට ආවේ මේ ගෑනු කෙනා. ඔය එයාගේ මල්ලියි කියලා එළියේ වාඩි වෙලා ඉන්නේ එදා ඒ කාමරේ හිටපු පිරිමියාම තමයි. එදා විස්තර ලියා ගත්තු නිසා මට ඒ අයව හොඳට මතකයි” නිලධාරිනිය එසේ පැවැසුවාය. “කමක් නෑ දැනට එයාගේ පැමිණිල්ල ලියා ගන්න. පැමිණිල්ල විභාග කරන වෙලාවට අපි මේ ගැටලුව ලිහාගන්න බලමු” ස්ථානාධිපතිවරයා එලෙස පිළිතුරු දුන්නේ ස්ථිර අදිටනක් සිතේ ඇතිවය.
පැමිණිල්ල විභාගයට ගන්නා දිනය එළැඹිනි. තරුණ කාන්තාව සිය සැමියා ඉදිරියේ තමන්ගේ පැමිණිල්ල ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපතිවරයා වෙත නැවතත් ඉදිරිපත් කළාය. ඊට හොඳින් සවන් දුන් ස්ථානාධිපතිරයා කාන්තාවට මෙසේ පැවැසුවේය
“මේ පැමිණිල්ල විභාග කරන එක අපට ගැටලුවක් නොවෙයි. ඒත් ඔය නෝනට මතකද මීට මාස හයකට විතර කලින් ලකී ස්ටාර් හෝටලයේදී වෙච්ච සිද්ධිය. මාව මතක නැත්නම් එදා පැමිණිල්ල ගියා ගත්තු මේ පොලිස් නෝනාවවත් මතක ඇතිනේ. එදා හෝටලයේදී දීපු කටඋත්තරයත් අපට ඕන නම් ඉදිරිපත් කරන්න පුළුවන්.”
ස්ථානාධිපතිවරයාගේ වදන් ඇසූ කාන්තාවගේ මුහුණෙහි ඩාබිඳු නැගෙන්නට විය. “ඒක තමයි සර්. මම මේ හොරේ අල්ලා ගන්න බැරුවයි මෙච්චර කල් හිටියේ. මම ජපානේ ඉඳලා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටිකත් මෙයා ඔය හොර මිනිහටම තමයි වියදම් කළේ” සැමියා පැවැසුවේ යම් අස්වැසිල්ලක් ලැබුවාක් මෙනි. “දැන් මොකද කරන්නේ?” කවුරුත් බලාගෙන සිටියේ කාන්තාවගේ පිළිතුර කුමක් වේද යන්නය.
“මගේ වරද මම පිළිගන්නවා. ඒත් දැන් මට මෙයා එක්ක පවුල් ජීවිතය ගත කරන්න බැහැ. ඒ මල්ලි මට ආදරෙයි. මම එයාව කසාද බඳිනවා. ගේ විකුණලා ඒ සල්ලිවලින් හතරෙන් පංගුවක් මට දෙන්න කියන්න. දරුවන්ගේ අයිතිය මම හස්බන්ඞ්ටම දෙන්නම්” බිරිඳගේ මෙම යෝජනාවට අකමැති වීමට තරම් හේතුවක් සැමියාට නොවිණි.
කෙසේ වෙතත් එතැනින් පිට වීමට පෙර ස්ථානාධිපතිවරයා තරුණ කාන්තාවට මෙසේද කීමට අමතක නොකළේය.
“මිස් ඔයා කරපු වැඬේ වැරදියි. දරුවෝ දෙන්නෙකුගේ අම්මා කෙනෙක් විදිහට ඔයාට තමන්ගේ පවුල් ජීවිතය ගැන මීට වඩා හිතන්න තිබුණා” කෙසේ වෙතත් ඇය සිටියේ එම අවවාදය පිළිගත හැකි තරමේ මානසික මට්ටමක නොවේ.
    
තවත් මාස 10ක් පමණ ගත විය. මුහුණේ තැලීම් සලකුණු සහිත කාන්තාවක් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පැමිණියාය. ඒ සිය සැමියා සහ දරුවන් අතහැර තමන්ගේ ළාබාල පෙම්වතා සමග අලුත් ජීවිතයක් ගත කිරීම සඳහා පිටත්ව ගිය කාන්තාවම වූවාය. ඇගේ මුහුණෙහි වූ රූමත් බවේ සලකුණු ක්‍රමයෙන් වියැකෙමින් තිබිණි.
“අනේ මම විශ්වාස කරපු මේ මනුස්සයා මහා තිරිසනෙක්. ගේ විකුණලා හම්බවෙච්ච ලක්ෂ 50ම මිනිහා විනාශ කළා. දැන් මාව පිටරට රස්සාවකට යවන්නයි හදන්නේ. යන්න බෑ කිව්වාම මට ගහනවා” කාන්තාව කීවේ ඇඬූ කඳුළිනි. එය අසා සිටි මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපතිවරයාගේ කටින් පිට වූයේ මෙබඳු වදනකි. “ඕක තමයි කියන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය කියලා. තමන්ගේ මහත්තයාටයි දරුවන්ටයි ගින්දර දීපු එකේ විපාක තමුන්ට මේ ජීවිතයේදීම පළ දුන්නා නේද?” කාන්තාව මඳ වේලාවක් නිහඬව සිට සිය කටහඬ අවදි කළාය. “ඔව්. මට මගේ ජීවිතේ වැරදුනා. දැන් මට මගේ පරණ පවුල් ජීවිතේ ආයෙමත් පටන් ගන්න බෑ. මම තීරණය කළා අනුරාධපුරේ මෙහෙණි ආරාමයකට යන්න. සිල් මෑණිවරුන්ට ආවතේව කර ගෙන යහපත් විදිහට ජීවත් වුණොත් ටික කාලෙකින් මාව මහණ කරන්නම් කියලා ලොකු මෑණියෝ මට කිව්වා.”

(ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති
මනෝජ් සමරසේකරමහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරිනි)

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>