TT Ads

මේ දිනවල සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සාව, ඩෙංගු උණ යන රෝගී තත්ත්වයන් ජනතාව අතර සුලබව පැතිර පවතියි. උගුරේ වේදනාව, හිසරදය, උණ, බඩ බුරුල් කිරීම. කැස්ස, සොටුදියර ගැලීම වැනි ඇතැම් රෝග ලක්ෂණ මේ අතරින් ඕනෑම රෝගී තත්ත්වයක් හේතුවෙන් මතුවිය හැකිය. එසේම මේ දිනවල ලොව පුරා පැතිර යමින් තිබෙන කොරෝනා වෛරසය හේතුවෙන්ද මීට සමාන රෝග ලක්ෂණ පහල විය හැකිය. එහෙයින් හුදෙක් මේ රෝග ලක්ෂණවලින් පමණක් යමෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි හඳුනා ගැනීමට අපහසු තත්ත්වයක් පවතියි. කෙසේවෙතත් දැනට ලංකාවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධව ඇති හඳුනා ගැනීම්වලට අනුව, වෛද්‍යවරුන් කොරෝනා වෛරසය වැළඳුණු බවට සැක සහිතව විශේෂයෙන් පරීක්ෂා කරනු ලබන්නේ චීන ජාතිකයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ සහ චීනයේ සංචාරයේ යෙදුණු රෝගීන්වේ. එහෙයින් රෝග ලක්ෂණ පහළ වූ පමණින් රෝගීන් තමන්ට කොරෝනා වැළඳී ඇතැයි අනියත බියක් කිසිසේත්ම ඇති කරගත යුතු නැත.

කොරෝනා වෛරසයේ ස්වභාවය ගැන තවමත් ලොවපුරා අධ්‍යයනය සිදු කෙරෙමින් පවතියි. චීනයේ ජීවත් වන විශාල ජනගහනය හේතුවෙන් එම වෛරසය එහි වෙසෙන ජනතාව අතර ශීඝ්‍රයෙන් පැතිර ගියද, එයින් මියගොස් ඇත්තේ ඉතා අවම ප්‍රතිශතයකි. දැනට නිකුත් වු දත්ත වාර්තා නිවැරදි නම් මියගිය ප්‍රතිශතය රෝගය වැළඳුණු ප්‍රතිශතයෙන් 2%-3%ක් පමණ ප්‍රමාණයකි. එසේම දැනට නිකුත් වූ වාර්තා අනුව කොරෝනා වෛරසය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වන තරමේ සංකූලතා ඇති වී තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයන්ට බවද පෙනී යයි.

කෙසේවෙතත්, දැනට පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් සංකූලතා වැඩිවී නිව්මෝනියා වැනි තත්ත්ව ඇති වන්නේ ඇදුම, හතිය, කලක් තිස්සේ පවතින පෙණහලු රෝග, වකුගඩු රෝග සහ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන පිළිකා වැනි රෝගී තත්ත්වයන් ඇති අයටය.

කාලගුණික වෙනස්කම් හේතුවෙන් මේ දිනවල සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් සුලබව ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. එම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයේදී මතුවන කැස්ස, හෙම්බිරිස්සාව උණ, සුව වූ පසු එම රෝගීන්ට කැස්සද ඇති විය හැකිය. එමෙන්ම එම කැස්ස තත්ත්වය කාලයක් පවතින්නටද පුළුවන. මේ නිසා එම
රෝගීන්ට ඇතැම් විට තාවකාලිකව ඉන්හේලර් භාවිත කිරීමට වෛද්‍යවරු නිර්දේශ කරති. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිළිබඳ සහ ඊට ඖෂධ සොයාගෙන ඇති බවට මේ වන විට ජනතාව බොහෝ සෙයින් දැනුවත් වී ඇති බැවින් ඒ සඳහා ඖෂධ භාවිත කිරීමට ඇති උනන්දුවද ඉතා ඉහළය. නමුත් සැබෑ ලෙසටම සැලකුවොත් ඒ සඳහා ඖෂධ ලබාගත යුත්තේ වයස අවුරුදු 2ට අඩු දරුවන්ට, ගැබිනි මවුවරුන්ට, අවුරුදු 60ට වැඩි අයට සහ වකුගඩු රෝග, පෙණහලු හා ස්වසන ආබාධ ආදිය ඇති අයට පමණි. එසේ නොමැතිව අනෙකුත් සෑම රෝගීන්ටම ඉන්ෆ්ලුවෙන්සාවට විශේෂ වූ ඕපසකෙම යන ඖෂධය ලබාදීම අවශ්‍ය නොවේ. මන්ද ඔවුන්ගේ සිරුරු තුළ තිබෙන ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඉන්ෆ්ලුවෙන්සාව ඉබේම සුව වන නිසාය. එබැවින් ඔවුන්ට පවතින රෝග ලක්ෂණ සඳහා සාමාන්‍ය පරිදි ප්‍රතිකාර කිරීම ප්‍රමාණවත්වේ.

ඉන්ෆ්ලුවෙන්සාව, කොරෝනා හෝ එබඳු වෛරස් රෝගයක් වැළඳීම වළක්වා ගැනීම සඳහා ගත යුතු හොඳම පියවර වන්නේ (විශේෂයෙන්ම මුඛය, ඇස් ආදිය ඇල්ලීමට පෙර) හොඳින් අත් සේදීමය. එසේම කිවිසුම් යන විට ලේන්සුවක් පාවිච්චි කිරීමටද සිහියේ තබා ගත යුතුය. මෙම පිළිවෙත් අනුගමනය කිරීමෙන් මේ දිනවල පවතින වෛරස් රෝග තවදුරටත් ව්‍යාප්ත වීම අවම කර ගත හැකිය. මෙම රෝගී තත්ත්වයන් පිළිබඳ කිසිවකු අනියත බියක් ඇතිකර නොගත යුතු නමුත් රෝගීන් බහුලව ගැවසෙන ස්ථානවල අනවශ්‍ය ලෙස රැඳී සිටීමෙන් වැළකී සිටීම නුවණට හුරුය.

පන්නිපිටිය පෞද්ගලික රෝහලේ වෛද්‍ය
චාමිනී සේනතුංග කුරුප්පුආරච්චි

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>