TT Ads

ජර්මන් ජාතික හමුදා නිලධාරී කපිතාන් (MAX VON STEPHANITZ) විසින් මුළු ලෝකයටම හඳුන්වා දුන් ජර්මන් ෂෙපර්ඞ් සුනඛ වර්ගය අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ඉතා ලස්සන සුනඛ වර්ගයකි.තම ස්වාමියාට යටත්ව ගෙදර කුඩා දරුවන්ට ඉතා හිතවත්ව පවුලේ සැම දෙනාටම ගරු කරන, ආදරේ දක්වන ඉතා කීකරු, තනියෙන් තීරණ ගෙන වැඩ කිරීමේ බුද්ධියක් ඇති මුළු ලෝකයේම සිටින සුනඛ වර්ග අතරින් බුද්ධිමත් භාවයෙන් 3 වන ස්ථානය මෙම ජර්මන් ෂෙපර්ඞ් සුනඛ වර්ගය හිමි කරගෙන ඇත.

ජර්මන් ෂෙපර්ඞ් සුනඛ වර්ගයට ආවේණික වර්ණය ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ කළු (Black) හා කහ හෝ රතු පාටට හුරු තද දුඹුරු (TAN) වර්ණයයි. නමුත් එම වර්ණයන් අතරින් ශ්‍රී ලංකාවේ තනි සුදු, තනිකළු, කළු – දුඹුරු, කළු – අළු යන වර්ණයෙන් යුක්ත වූ සුනඛයන්ද දක්නට ඇත. මෙම ගැහැනු සතුන්ගේ වසරකට දෙවරක් අභිජනනය සිදුකරන අතර ගැබ්කාලය දින 57 – 63 අතර වෙයි. කුඩා පැටවු කාලයේදී කන් පහතට කඩා හැලුනද මාස 3 වනවිට ඉතා සෘජුව v හැඩයට ඉහළට පිහිටයි. ඉතා හොඳින් වැඩුණු ගැහැනු සතුන් උසින් 55-60cm හා බරින් 22-32නට පමණ වන අතර පිරිමි සතුන් උසින් 60-65cm හා බරින් 30-40kg පමණ වන ඉතා විශාල ශරීර ඇති ලස්සන සුනඛ වර්ගයකි.

මෙම සුනඛ වර්ගයට ආවේණික වූ ලෙඩ රෝග පැවැතුණද කුඩා කාලයේ සිටම අවශ්‍ය සියලු නිසි එන්නත් හා පණු බෙහෙත් නියමිත දිනට ලබා දීමෙන් හා කිනිතුල්ලන් හා මැක්කන් වැනි පරපෝෂිතයන්ගෙන් සුනඛයා ආරක්‍ෂා කර ගැනීම තුළින් හා නිවැරදි පශු වෛද්‍යවරයෙකුගෙන් මඟ පෙන්වීම තුළින් මෙම සතුන් වසර 9-13 අතර කාලයක් ඔබේ ආදරය යටතේ ජීවත් කරවිය හැකිය.

මුල් යුගයේ ජර්මන් ෂෙපර්ඞ් සුනඛයන් එඬේර සුනඛයන් ලෙස බැටළු රංචු පාලනය කිරීමට යොදා ගත් අතරම මොවුන්ගේ දැඩි ශරීර ශක්තිය හා කීකරු බව ඉතා ඉහළ නිසා නූතන කාලයේ පොලිස් හා ආරක්‍ෂක හමුදා කටයුතු සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලබයි.

ජර්මන් ෂෙපර්ඞ් සුනඛයන් දිගු ලොම් හා කෙටි ලෝම් ලෙස කාණ්ඩ දෙකකින් යුක්ත වෙයි. මේ අතර කැරලි ගැසුණු ලොම් ඇති සතුන්ද දැකිය හැකිය.නූතනයේ අප සමහරුන් මෙම දිගු ලොම් ඇති හා කැරලි ගැසුණු ලොම් ඇති කාණ්ඩය LION GERMAN SHEPHERD ලෙසද කෙටි ලොම් ඇති කාණ්ඩය GERMAN SHEPHERD  ලෙසද වැරදි ලෙස වටහා ගෙන හැඳින්වූවද එය වෙනම වර්ග දෙකක් නොවන අතර එකම GERMAN SHEPHERD වර්ගයයි.

තවද අතීතයේ ALSATIAN (ඇල්ශේෂන්) යනුවෙන් හැඳින්වුවද නූතනයේ GERMAN SHEPHERD (ජර්මන් ෂෙපර්ඞ්) ලෙස හැඳින්වුවද මෙයද සුනඛ වර්ගය 2ක් නොවන අතර එකම සුනඛ වර්ගය බව අන්තර්ජාතිකව මෙන්ම ශ්‍රී ලංකාවේද සුනඛ සංගම් CKC හා KASL (CEYLON KENNEL CLUB yd THE KENNEL ASSOCIATION OF SRI LANKA)මගින් GERMAN SHEPHERD (ජර්මන් ෂෙපර්ඞ්) සුනඛ වර්ගය බව තහවුරු කර ඔවුන්ගේ ලියාපදිංචි සහතිකවල ඉතා පැහැදිලිව දක්වා ඇත.

මෙම වර්ගයේ සුනඛ පැටවෙකු වෙළෙඳපොළේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන නමුදු ඉහත සඳහන් සුනඛ සංගම් මගින් ලියාපදිංචි කළ නිරෝගිමත් ජර්මන් ෂෙපර්ඞ් සුනඛ පැටවෙකු රුපියල් තිස් දහසක් වැනි මිලකට ලබා ගැනීමට පුළුවන.

ඇම්. රොෂාන් පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>