TT Ads

රැකියාවක් කියන්නේ ඕනෑම පුද්ගලයකුගේ ජීවිතයේ වැදගත්ම දෙයකි. නමුත් බොහෝ විට අපට ලැබෙන්නේ සහ අප යෙදෙන්නේ අප ප්‍රිය කරන රැකියාවක නොවිය හැකිය. කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව අපට සුදුසු රැකියාව පිළිබඳව දැන ගැනීමට පුළුවන.
කේන්ද්‍රයේ දහවෙනි කොටුව රැකියාව පිළිබඳව කරුණු පවසන ස්ථානයයි. මෙය කර්මස්ථානය ලෙසද හැඳින්වේ. දහවෙනි කොටුව බලවත් නම් ශක්තිමත් නම් එය සාර්ථක රැකියාවක් පිළිබඳ සලකුණකි. ඕනෑම කේන්ද්‍රයක දසවැන්නේ රවි සහ කුජ පිහිටීම දිග්බලයි යනුවෙන් ජ්‍යොතිෂයෙහි දැක්වේ. දිග්බලය යනු අදාළ කොටුවට ඉතාමත් සුදුසු ග්‍රහයන් හිඳීමය. රවි සහ කුජ යනු ශක්තිමත් ජවසම්පන්න ග්‍රහයන් වේ. එය දසවෙනි කොටුවේ බලවත්ව (එනම් උච්චව හෝ ස්වක්ෂේත්‍රව) හිදින්නේ නම් අලසකමක් නැතිව තම රැකියාව කරන ධෛර්යමත් කෙනෙකි. රැකියාවේ ඉහළටම යාමේ වාසනා ගුණය ඇත. එවැනි කෙනෙකුට ආයතනයක් දියුණුවට පත් කිරීමේ හැකියාවක් ද තිබේ.
රවි සහ කුජ ග්‍රහයන් දසවැන්නේ දුර්වලව (එනම් සතුරුව හෝ නීචව) පිහිටියොත් ඒ පුද්ගලයාගේ කාර්යක්ෂමතාවය තිබුණත් නිතර අඬදබරවලට නැඹුරු වන ස්වභාවයෙන් යුක්තය.

දසවැන්නේ හිඳින ග්‍රහයන්ට අනුව සුදුසු රැකියාවක්

දසවැන්නේ රවි බලවත් නම් පරිපාලනය, තාක්ෂණය, විදුලිය වැනි අංශවල රැකියා වඩාත් ගැළපේ.
දසවැන්නේ හෝ කේන්ද්‍රයේ චන්ද්‍රයා බලවත්ව සිටින විට වාණිජ හෝ කලා අංශයේ රැකියා වඩාත් සුදුසුවේ.
කුජ ග්‍රහයා දසවැන්නේ බලවත් නම් වඩාත් යෝග්‍ය වන්නේ තාක්ෂණය, ගණකාධිකරණය වැනි අංශවලට අයත්
රැකියාවන්ය.
දසවැන්නේ බුද බලවත් නම් ශාස්ත්‍රීය හා ලිපි ලේඛන වැනි අංශවල රැකියා වඩාත් උචිත බව කිව යුතුය.
ගුරු බලවත්ව දස වැන්නේ පිහිටා ඇති විට ගුරු වෘත්තිය, උපදේශන වෘත්තිය වඩාත් යෝග්‍ය වෙයි.
කේන්ද්‍රයේ හෝ දසවැන්නේ සිකුරු බලවත් නම් එවැනි අයට වඩාත් සුදුසු කලා හා ව්‍යාපාර අංශයට සුදුසු රැකියාවනුයි.
මෙම ස්ථාන දෙකෙන් එකක ශනි බලවත් නම් සෞඛ්‍ය හා කෘෂි කර්මාන්තයට අදාළ රැකියාවන් වඩාත් යෝග්‍ය වනු ඇත.
රාහු සහ කේතු දුර්වල සහ වැඩකටයුතු අවුල් කරන ග්‍රහයන්ය. එනිසා එම ග්‍රහයන්ට වෙන්වූ රැකියාවන් පිළිබඳව ජ්‍යොතිෂයෙහි දැක්වෙන්නේ නැත.
දස වැනි ස්ථානයට අධිපති ග්‍රහයකු දසවැනි ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක දුර්වලව හිඳී නම් රැකියාවෙහි කරදර ඇතිවේ. හැමදාමත් එක ලෙසම රැකියාවෙහි කරදර ඇති වන බවක් මෙයින් අදහස් කරන්නේ නැත. එළඹෙන දසා, අනු දසා සහ ග්‍රහගෝචරයන්ට අනුව එම කරදර උදා වන කාලය තීන්දු කෙරේ. ග්‍රහයින් ගමන් කරන ආකාරය (ග්‍රහ ගෝචරය) දුර්වල නම් රැකියාවේ කරදර ඇති විය හැකිය.
රැකියා උසස්වීම් වලටත් මේ පිළිවෙළ අදාළ වෙයි. දසා, අන්තර් දසා එන ආකාරය අනුව ඒවාද ගණනය කෙරේ.
කේන්ද්‍රයේ හෝ දසවැන්නේ ග්‍රහයන් කිහිප දෙනකු බලවත්ව හිඳින්නේ නම් එවැනි අයකු රැකියා කිහිපයක යෙදිය හැකිය. ඒවායින් සාර්ථකත්වයද ලබයි.
දසවැන්නේ ශනි, කුජ වැනි ග්‍රහයන් බලවත්ව හිඳීම රැකියා සාර්ථකත්වයට හේතු වන සේම දසවැන්නේ ගුරු, චන්ද්‍ර, සිකුරු වැනි සෞම්‍ය ග්‍රහයන් බලවත්ව හිඳීම සමාජයේ ගෞරවය ලබන්නට හේතු වෙයි.

උපදෙස්
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ශාස්ත්‍රාචාර්ය අමරසේන වේගිරිය
ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>