TT Ads

සමහර පුංචි ළමයි බිම වැටුණම එකපාරටම අඬන්නේ නැහැ. එ් අය වටපිටාවේ ඉන්න අයගේ ප‍්‍රතිචාර දිහා හොරෙන් බලාගෙන ඉන්නවා. කවුරු හරි බිම වැටුණු දරුවා ගැන දුක්වෙලා, හුරතල් වචන කියලා ආදරෙන් වඩාගන්න හැදුවොත් එයාලා කෑ ගහලා අඬනවා. එ්ත් කිසි කෙනෙක් බිම වැටුණු දරුවා දිහා නොබලා ගණන් ගන්නේ නැතිව හිටියොත් එයාලම තනියෙන් නැගිට ගන්නවා.
මේ වගේ අනුකම්පාව ලබන්න…. ලබන්න…. හුරතල් වන ගතියක් බොළඳ හිත්වල තියෙනවා. වයසින් මුහුකුරා ගියත් මේ බොළඳ ගතිය සමහරු ළඟ සදාකාලිකවම නවතිනවා.
නිවාඩුවක් ලැබුණු වෙලාවක මුහුණු පොත (Facebook) පෙරළාගෙන යද්දී මගේ යෙහෙළියක් මුහුණුපොතට එකතු කරපු එකම විදියේ පෝස්ටු කිහිපයක් පසුගිය දවසක මට දැකගන්න ලැබුණා. එ් හැම පෝස්ටුවකම තිබුණේ ඇය විරහ වේදනාවෙන් පෙළෙන බවයි.

මට පුළුවන් වුණා නම්
එක මොහොතකට
නුඹට දෙන්න
මගේ හිතේ තියෙන
මේ දුක…

නුඹට රිද්දන්න නෙමේ
තේරුම් කරවන්න…
නුඹ මට
කොච්චර රිදෙව්වද කියලා…

එක පෝස්ටුවක එ් විදියේ කවියක් තිබුණා.
ඇය මේ විදියට ඇගේ හිතේ තිබෙන දුක, වේදනාව මුහුණු පොතේ ඉන්න හැමෝමත් එක්ක බෙදා හදාගෙන තිබුණා. ඇය දැමූ පෝස්ටුවලට හුඟ දෙනෙක් එක් එක් විදියේ උපදෙසුත් දීලා තිබුණා. හැබැයි ඉතින් එ වෙනකොටත් ඇගේ පෙම් කතාවේ අවසානය ගැන මුහුණුපොත හරහා මුළු ලෝකයම දැනගෙන ඉවරයි. තමන්ගේ ප‍්‍රශ්නයක් මේ විදියට බෙදා හදාගෙන අනුකම්පාවක් ලබන්න හිතෙන එක තාවකාලිකව අපිට පුංචි අස්වැසිල්ලක් වෙන්න පුළුවන්.
එ්ත් හැම වෙලාවෙම ඔබ ඔය කියන ”ආත්ම අනුකම්පාව” බලාපොරොත්තු වෙනවා නම් ඔබ හොඳින් මතක තබා ගත යුතු එක දෙයක් තිබෙනවා. එ් තමයි ඔබට ඔබ ගැන කිසිම විශ්වාසයක් නැතැයි කියන එක. මේ කාරණය තවත් විදියකින් පැහැදිලි කළොත් ඔබට කිසිම ”පෞරුෂයක්” නැතැයි කියන එක.
”මට කාගෙන්වත් අනුකම්පාවක් නෑ… කවුරුත් මගේ පිහිටට, උදව්වට නෑ…”
මේ කියන අදහස හිතේ ගැඹුරින් මුල් බැස ගත්තොත් එ් අයගේ මනස පවා විකෘති තත්ත්වයට පත්වෙන්න පුළුවන්. සමහරු සිගරට්වලින් පුච්චා ගන්නවා…. සමහරු බ්ලේඞ් තලවලින් කපා ගන්නවා… බිත්තියේ ඔළුව ගහගෙන තුවාල කරගන්නවා… සමහරු කිසි වැඩක් පලක් නොකර බුම්මාගෙන ඉන්නවා…” මේ වගේ දේවල්වලට තුඩු දෙන එක හේතුවක් තමයි සිත ඇතුළේ සැඟවුණු ආත්ම අනුකම්පාව.
”ආදරය” කියන්නේ මොකක්ද කියලා මට දෙන්න පුළුවන් හොඳම උදාහරණය ගැන තමයි මම දැන් කියන්න යන්නේ. ”හුණුවටයේ කතාව” කියන වේදිකා නාට්‍යය නැරඹුවොත් ඔබටත් මේ කියන කාරණයේ ඇත්ත නැත්ත වටහා ගන්න පුළුවන්.
වම් පැත්තේ ඉන්නේ නටාලියා බිසව. දකුණු පැත්තේ ඉන්නේ ගෲෂා. හුණුවටයේ මැද පුංචි මයිකල් කුමාරයා ඉන්නවා. වම් පැත්තේ ඉන්න නටාලියා බිසව පුංචි මයිකල් කුමාරයාගේ අත තදින් අල්ලාගෙන ඇගේ පැත්තට අදින්න හදනවා. දකුණු පැත්තේ ඉන්න ගෲෂා පුංචි මයිකල් කුමාරයාගේ අත සෙමින් අල්ලාගෙන ඉන්නේ පුංචි කුමාරයාට රිදුමක් ඇතිවෙයි කියන බියෙන්. නඩුකාරයා දුන් නියෝගයේ හැටියට දරුවාව තමාගේ පැත්තට ඇදලා ගන්න කෙනා තමයි දිනුම්. දරුවාගේ හිමිකම අයිති වෙන්නේත් ඇයටයි. මේ ඇදිල්ල පටන් ගන්නවාත් එක්කම ගෲෂා මයිකල් කුමාරයාගේ අත අතහරිනවා. ඊට පස්සේ වෙව්ල වෙව්ලා ගෲෂා නඩුකාරයාගෙන් මෙහෙම අහනවා.
”ඔහේ කියන්නේ මට මේ ළමයගේ අත කඩලා ගන්න කියලද?”
අවසානයේ නඩුකාරයා දරුවකු නොවදපු ගෲෂාට මයිකල් කුමාරයාව දෙන්න තීරණය කරනවා.
මොකක්ද මේ කතාවෙන් අපට පැහැදිලි වෙන්නේ?
”ආදරය තියෙන්නේ විටෙක අත හැරීම තුළ. එහෙම නැතිව හිමිකර ගැනීම තුළ නෙමෙයි.”
”ආදරය” නිසා ජීවිත කාලය පුරාම සුසුම්ලන, හැඟුම්බර වෙන හැම දෙනාටම මේ පුංචි කතාව කියවලාවත් හිත හදාගන්න පුළුවන් නම් ඔබට කාගෙන්වත් අනුකම්පාවක් මීට පස්සේ වුවමනා වෙන එකක් නැහැ.

උපදෙස් – මනෝවිද්‍යා උපදේශක සුරංග අමරකෝන්
සටහන – ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>