TT Ads

දරුවන්ගේ වැරදි පෙන්වා දෙමින් වැරදි වලට දඬුවම් දීම හෝ අවවාද කිරීම ඉතා පෞද්ගලිකව සිදුකිරීම ගුරු දෙගුරුන්ගේ යුතුකමකි. මව්පියන් මෙන්ම ගුරුවරුන්ද දරුවන්ට අවවාද දීම හෝ දඬුවම් කිරීම කළ යුත්තේ දරුවන් නිවැරදි කිරීම උදෙසා මිස කෝන්තරයක් පිරිමහන ආකාරයෙන් නොවේ. එහෙත් දරුවෙකුට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමෙන් හෝ දඬුවම් පැමිණවීමෙන් සිදුවන්නේ එවැන්නකි. ඒ ආකාරයට දරුවෙකු යහමඟට ගත හැකි වන්නේද නැත.

සමහර පාසල් තුළ දරුවන්ට දෝෂාරෝපණය කිරීම, දඬුවම් කිරීම, ප්‍රසිද්ධියේ, උදෑසන රැස්වීමේදී සිදු වූ අවස්ථා පිළිබඳ අපට අසන්නට ලැබී තිබේ. වැඩිහිටියන්ගේ එබඳු ක්‍රියා කලාපයන් ඛේදවාචකයක්ව නිමා වූ අවස්ථාවන්ද නැතිවා නොවේ.

වරදකට දඬුවම්දීම, දෝෂාරෝපණය කිරීම අති පෞද්ගලිකව සිදු විය යුතු වුවද දරුවෙකු අගය කිරීම පිරිසක් ඉදිරියේ සිදුකළ හැකි නම් එය දරුවාගේ ආත්ම අභිමානය දැඩි සේ ඉහළ නැංවීමට හේතු වෙයි.
නිතර හොඳ ගති පිළිබිඹු වන යහපත් යැයි පිළිගන්නා දරුවන් අතින් පවා වැරදි සිදුවන අවස්ථා තිබේ. එවැනි විටෙක ගුරුවරුන් මෙන්ම මව්පියන්ද “අපි කවදාවත් හිතුවේ නෑ ඔයා මේ වගේ වැඩක් කරාවි කියලා” යැයි එම දරුවා කළ වරද පුල පුලා පවසමින් දරුවාගේ සියලු යහගුණ අමතක කරන අවස්ථා තිබේ. මෙය බොහෝ වැඩිහිටියන් සිදු කරන විශාල වරදකි. හොඳ යැයි පිළිගන්නා දරුවකු අතින් වුවද වරක් සිදු වුණේ නම් එය පෙන්වා දීම, අවවාද කිරීම හෝ දඬුවම් කිරීම කළ යුතු දෙයකි. එහෙත් එක අතකින් නිමාවට පත් කර එම වරද සිදු නොවූ ආකාරයට එතැන් පටන් කටයුතු කිරීමට වැඩිහිටියන් කාරුණික විය යුතුය.

එසේ නොවී එම වරදම ඉස්මතු කරමින් දරුවාගේ සියලු යහගුණ අමතක කරමින් කටයුතු කිරීම දරුවෙකුට කරන විශාල අයහපතකි. එවිට දරුවා “මාව හොඳ ළමයෙක් විදිහට කවුරුත් පිළිගන්න එකක් නැහැ” යැයි දිගින් දිගට වැරද්දටම වුවද කොටු වීමට හැකියාව තිබේ. වැඩිහිටියන්ගේ එවැනි ක්‍රියා කලාපයන් යහපත් දරුවෙකුගේ වුවද ජීවිතයම අසාර්ථක වීමට හේතු විය හැකිය.

එලෙසම වැරදි කරන දරුවන් ලෙසට හංවඩු ගැසුණු දරුවන් තුළින් පවා කෙනෙකු නොසිතන ආකාරයේ යහපත් ගති පිළිබිඹු වන අවස්ථා තිබේ. එබඳු විටෙක එම දරුවා කළ යහපත් ක්‍රියාව පුල පුලාම අගය කරමින් එම දරුවාගේ පෙර සියලු වැරදි අමතක කළ ආකාරයට වැඩිහිටියන්ට කටයුතු කළ හැකි නම් දරුවා බොහෝ යහපත්වීමට එම ප්‍රතිචාරයට ඉවහල් විය හැකිය.

සෑම විටම ජයග්‍රහණයම පතන සහ ජයග්‍රහණය ගිලිහී යන සෑම අවස්ථාවකදී දරුවා හෙළා දකිමින් අවතක්සේරුවට ලක් කරන වැඩිහිටියෝ සිටිති. බොහෝ මව්පියන් නොසිතා කළද මෙය දරුවන්ට සිදු කරන විශාල අසහනයකි. විභාගයකදී හෝ වෙනයම් තරගයකදී දරුවෙකුට ජයග්‍රහණය අහිමි වුවද උත්සාහය හා ඉදිරිපත් වීම පිළිබඳව දරුවාට ප්‍රශංසා කිරීමට මව්පියන් අමතක නොකළ යුතුය.

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වැනි තරගකාරී විභාගයන්හිද විශිෂ්ටයින් වීමට ඉහළ බුද්ධි මට්ටමක් පැවැතීම අවශ්‍යය. එහෙත් ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටයෙකු නොවූ පමණින් “දරුවෙකු ශිෂ්‍යත්වය අසමත්” යැයි පවසා පීඩාවට පත් කිරීම සුදුසු වන්නේ නැත.

ඒ ආකාරයට ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු නොලැබුවද වෙනත් අංශයකින් විශිෂ්ටයකු වීමට එම දරුවා දක්ෂ විය හැකිය. භාවමය බුද්ධියෙන් ඉහළ දරුවකු කලා හැකියාවන්ගෙන් අනූන වීමෙන් කලා අංශයෙහි විශිෂ්ටයෙකු වීමට හැකිව තිබේ. දරුවකු බුද්ධිය මෙහෙයවා ජයග්‍රහණය ලබන විභාගවලදී දක්ෂ නොවූවද වෙනත් හැකියාවන් තුළින් නොවන දක්ෂතාවන් පවුල, සමාජය හා පාසල තුළින් ඇගැයීමට ලක් විය යුතුවේ. එවිට එම දරුවා කවර හෝ අංශයකින් විශිෂ්ටයෙකු වීමට අවශ්‍ය ධෛර්යය හා අභිමානය ලබනු ඇත. දරුවෙකු ධෛර්යමත් කිරීමට ජයග්‍රහණයම ලැබීමම අවශ්‍ය නැත. දිරිගැන්වීම වඩා වටින්නේ පරාජය වූ විටය.

උත්පලා සුභාෂිණී ජයසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>