TT Ads

අරවින්ද සංචාරක ව්‍යාපාරයක නියුතු වී සිටි අයෙකි. ඔහුගේ ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා රුපියල් 500,000/-ක මුදලක් මාසිකව 5% පොලියට උපාලිගෙන් ලබා ගෙන තිබිණි. එම ණය මුදල ලබා ගන්නා ලද අවස්ථාවේ අරවින්දගේ දින රහිත චෙක් පතක් ඇපයක් ලෙස උපාලි ලබා ගන්නා ලදී. එකඟ වූ පරිදි අරවින්දට මාස 6ක් පමණ මාසිකව පොලී මුදල් ගෙවීමට හැකි විය. සංචාරකයන්ගේ පැමිණීම අඩු වූ බැවින් එකඟ වූ පරිදි ලබා ගත් ණය මුදලේ මාසික වාරිකය උපාලිට ගෙවීමට අරවින්ද අපොහොසත් විය. එවිට අරවින්ද විසින් උපාලිට ඇපයක් ලෙස ලබා දෙන ලද චෙක්පතට උපාලි දිනයක් යොදා බැංකුගත කළේය. නමුත් එය අගරු වීම නිසා උපාලි විසින් අරවින්දට එරෙහිව මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කරන ලදී. මෙකී තත්ත්වය මත අරවින්දට එරෙහිව අපරාධමය නඩුවක් පැවැරිය හැකිද?

අප සමාජයේ මෙවැනි ගනුදෙනු සුලභව සිදු වේ. ඒ සම්බන්ධව ඇති නීතිය පිළිබඳ මනා අවබෝධයකින් තොරව මෙලෙස චෙක්පත් ගනුදෙනු කිරීම නිසා පුද්ගලයන් අමාරුවේ වැටෙන අවස්ථාද ඇත. එබැවින් ඉහත කරුණ පිළිබඳව නීතිමය තත්ත්වය පිළිබඳව සලකා බලමු.

වංචා කිරීමේ වරද යනු කුමක්ද?
මෙය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 398 වගන්තියේ මෙලෙස විස්තර කර ඇත. යමෙකු යම් තැනැත්තකු රැවටීමෙන් පසුව එලෙස රැවටූ තැනැත්තා යම් තැනැත්තකුට දේපළක් බාර දීමට හෝ යම් තැනැත්තකු ළඟ යම් දේපළක් තබා ගැනීමට කැමති වීමට වංකව හෝ වංචකව පෙළඹවුවහොත් හෝ එලෙස රැවටුනු තැනැත්තා නොරැවටී සිටියේ නම් ඔහු කරනු නොලබන හෝ නොකර හරිනු නොලබන (කරනු ලබන) යම් දෙයක් කිරීමට හෝ පැහැර හැරීමට එකී තැනැත්තා ඕනෑකමින් පොළඹතොත් හෝ එකී ක්‍රියාවෙන් හෝ නොකර හැරීමෙන් එකී තැනැත්තාට කයින් හෝ සිතින් හෝ කීර්තියෙන් හෝ දේපළවලින් හානියක් හෝ පීඩාවක් නැතහොත් ආණ්ඩුවට අලාභයක් හෝ හානියක් සිදු වන්නේ නම් හෝ සිදු විය හැකි වන්නේ නම් එකී තැනැත්තා “වංචා කළ” ලෙස සලකනු ලැබේ.

මෙය වැඩිදුරටත් මෙලෙස විස්තර කළ හැකිය. යම් පුද්ගලයකු චෙක්පතක් ලබා දී එහි වටිනාකමට මුදල් ලබා ගැනීමක් හෝ භාණ්ඩ ලබා ගෙන චෙක්පත් මගින් මුදල් ගෙවීමක් සිදුකළ විට එකී චෙක්පත බැංකු ගත කිරීමේදී අගරු වුවහොත් ඒ චෙක්පත ලබා දුන් තැනැත්තාට වංචා කිරීමේ චෝදනාව මත අපරාධ නඩුවක් පැවැරිය හැක. එසේ වන්නේ චෙක්පතක් ලබා දී, එකී චෙක්පතේ වටිනාකමට මුදල හෝ භාණ්ඩ ලබා ගැනීමේදී එම චෙක්පත ලියන අවස්ථාවේදී එම චෙක්පතේ සඳහන් කරන වටිනාකමට අදාළ මුදල් එම පුද්ගලයාගේ බැංකු ගිණුමේ තිබේයැයි විශ්වාස කරමින් එකී ගනුදෙනුව සිදු කරන නිසාය.

මේ අනුව වංචාවක් වීමට නම් රැවටීමක් සිදු වී තිබිය යුතු අතර, එම පුද්ගලයා එලෙස රැවටීම නිසා යම් තැනැත්තකුට දේපළක් භාර දීමට හෝ වංචාව හෝ වංචක ලෙස පෙළඹවීමක් චේතනාන්විතව සිදු කර තිබිය යුතුය. එනම්, එලෙස එම පුද්ගලයා රැවටුණේ නැතිනම් කිසිදු විටකත් එම පුද්ගලයා විසින් කිසිදු ක්‍රියාවක් (මුදල් හෝ භාණ්ඩ දීමක්) සිදු නොකරනු ලබන බව මින් අදහස් වේ.

උදා- යම් තැනැත්තකු රජයේ සේවකයකු බව අසත්‍ය ලෙස පවසමින් ඕනෑකමින්ම තවත් පුද්ගලයකු රවටා එම තැනැත්තා දීමට අදහස් කරනු නොලැබූ බඩු ණයට දීමට වංක ලෙස එම පුද්ගලයා පෙළඹුවහොත් එම තැනැත්තා එම පුද්ගලයාට වංචා කර ඇත. එසේ වන්නේ එම පුද්ගලයා රජයේ සේවකයකු නොවන බව දැනගත්තේ නම් එම තැනැත්තා කිසිදු විටකත් බඩු ලබා දීමක් සිදු නොකරන නිසාය.
එහෙත් සුරැකුමක් වශයෙන් චෙක්පත් ලබා ගෙන පොලියට ණය මුදල් ගනුදෙනු කිරීමේදී නීතිමය තත්ත්වය මීට වඩා වෙනස්වේ.

ඒ අනුව ඉහත සඳහන් කළ කරුණ සැලකීමේදී, මුදල් ණයට ලබා ගැනීමේදී සුරැකුමක් වශයෙන් චෙක්පත් අරවින්දගෙන් ලබා ගත්තද එම ණය මුදල් ගෙවීම් සම්බන්ධයෙන් අරවින්ද හා උපාලි අතර වාචික එකඟතාවක් ඇති වී ඇත. එනම්, මාසිකව එකඟ වූ පොලිය ගෙවීමට අරවින්ද එකඟ වී ඇත. එහිදී දින රහිත චෙක්පත් ලබා ගෙන ඇත්තේ සුරැකුමක් වශයෙනි.

ඒ අනුව මාසිකව අරවින්ද විසින් එකඟ වූ පරිදි පොලිය ගෙවමින් සිට ඉන් පසුව උද්ගත වූ තත්ත්වය මත අරවින්දගේ ආදායම පහත වැටීම නිසා පොලිය ගෙවීමට නොහැකි වී ඇත.
එලෙස එකඟ වූ පරිදි මාසිකව නියමිත පරිදි මුදල් හෝ පොලිය ගෙවීම පැහැර හැරීම නිසා සිදු වී ඇත්තේ දෙදෙනා අතර තිබූ වාචික ගිවිසුම කඩ වීමකි.

අපරාධමය වරදක් සිදු වීමට වංක චේතනාවක් තිබිය යුතු මෙන්ම, එමගින් අපරාධමය ක්‍රියාවක්ද සිදුවී තිබිය යුතුය. ඉහත කී අවස්ථාව සලකා බැලීමේදී පෙනී යන්නේ වංචා කිරීමේ අදහසින් චෙක්පතක් ඇපයට තබා මුදල් පොලියට ලබා ගැනීමක් සිදු කර නොමැති බවයි. එවැනි තත්ත්වයක් යටතේ මුදල් පොලියට ලබා දී සුරැකුමක් ලෙස ලබා ගෙන ඇති දින රහිත චෙක්පතට පසුව දිනයක් යොදා බැංකු ගත කර චෙක්පත අගරු වීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වංචා කිරීමේ චෝදනාවට යම් තැනැත්තකු ලක් කළ නොහැක.

මෙහිදී අරවින්ද ණය මුදල ලබා ගැනීමෙන් පසු එකඟවූ පරිදි මුදල් ගෙවා තිබීමෙන්ම එම ණය ගනුදෙනුව සිදුකරන අවස්ථාවේදී එකඟවූ පරිදි මුදල් නොගෙවා සිටීමට චේතනාවක් නොතිබූ බව පැහැදිලිය. එනම් විදේශිකයන්ගේ පැමිණීම අඩු වීම නිසා ඔහුගේ ආදායම අඩු වී තිබීම හේතුවෙන් නිසි පරිදි මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. මේ අනුව අරවින්ද විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 398 වන වගන්තියේ විස්තර කර ඇති පරිදි වංචා කිරීමක් සිදු කිරීමට චේතනාවක් නොමැති බැවින් ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි බවට චෝදනාවක් ඉදිරිපත් කළ නොහැක.
මෙලෙස ගිවිසුමක් කඩ කර ඇති අවස්ථාවක එකී කරුණු ඉදිරිපත් කර උපාලිට සිවිල් අධිකරණයක අරවින්දට එරෙහිව නඩුවක් පවරා එම මුදල හා පොලිය ලබා ගැනීමට කටයුතු කළ හැකිය.

බොහෝ අවස්ථාවල අප සමාජයේ මෙලෙස චෙක්පත් ඇපයට තබා පොලියට මුදල් ලබාදී, පොලිය මාස කිහිපයක් ලබා ගෙන, එකී චෙක්පතට පසු කාලයකදී දිනයක් දමා බැංකු ගත කර අගරු වීමෙන් පසු, එකී සත්‍ය කරුණ සඟවා පොලීසියට පැමිණිලිකර චෙක්පත සම්බන්ධයෙන් වංචා කිරීමේ චෝදනාව මත අපරාධ නඩු පවරා ඇති අවස්ථා ඇත.

එවැනි අවස්ථාවලදී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු වසන් කර ඇති බවත්, එනම් එකී චෙක්පත සුරැකුමක් සඳහා දී ඇති බව සහ/හෝ එකී ලබා ගත් ණය මුදල වෙනුවෙන් පොලිය ගෙවා ඇති බව යන කරුණු අධිකරණයට තහවුරු කළහොත් විත්තියේ සාක්ෂි නොකැඳවාම එකී පැමිණිල්ල අධිකරණයක් විසින් නිශ්ප්‍රභ කර ගත හැකිය. එබැවින් යම් පුද්ගලයකු මෙලෙස මුදල් පොලියට ගන්නේ නම් එකී කරුණු තහවුරු කර ගැනීමට අවශ්‍ය සාධක/සාක්ෂි (උදා- පොලිය ගෙවූ බවට රිසිට් පත් හෝ අත්සන් ලබා ගෙන ඇති පොත් වැනි දෑ) තබා ගෙන එකී ගනුදෙනු සිදු කිරීම සඳහා වැදගත් වේ.

මෙහි ඉතිරි කොටස ලබන සතියේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ මහින්ද ලොකුගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>