TT Ads

කෙස් ඉම එහෙමත් නැතිනම් කෙස්වැටිය හා නළල එකිනෙක හමුවන ස්ථානයේ කෙස් අඩුවී, ගැලවීගොස් නළල පෑදෙන්නට පටන් ගැනීම වර්තමානයේ බොහෝ කාන්තාවන් මුහුණදෙන සුලබම ගැටලු‍වක් වී අවසන්. කෙස් අඩුවීම ගැන මුල්ම අනතුරු ඇඟවීම කාන්තාවන්ට ලැබෙන්නෙත් මේ කියන නළල පෑදීම කියන තත්ත්වයත් සමගයි. පහසුවෙන්ම කාගෙත් ඇසට හසුවන මෙම අසහනකාරී තත්ත්වය, ඇලෝපීෂියා කියන කෙස් අහිමි වීමේ රෝගී තත්ත්වයේම එක් ආකාරයක් කියලා වැඩිදෙනෙක් දන්නේ නැතුවත් ඇති. මේ තත්ත්වයට ගොදුරු වෙන්නට පටන් ගත්තට පස්සේ ස්ථිර විසඳුමක් හෝ ප්‍රතිකර්මයක් නැතිවුණත් මේ අසහනකාරී තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් පාලනය කරගන්න බැරිකමක් නැහැ. ජානමය සාධක නිසාත් කෙස්ඉම පසුපසට යාම කියන තත්ත්වය හටගන්න ඉඩ තිබුණත්, හුඟක් වෙලාවට මේ කියන තත්ත්වයට හේතුවෙන්නේ කාන්තා අපේම දුර්වලකම්. එවැනි දුර්වලකම් මඟහරවා ගැනීමෙන් මේ තත්ත්වයෙන් වැළකී ඉන්න ඔබට උදව්වක් වේවි මේ ලිපිය.

කෙස් ඉම පසුපසට යන්නේ ඇයි ?

කෙස් ඉම හා නළල හමුවන ස්ථානයේ කෙස් හැලීමෙන් පසු සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට යළි කෙස් නොවැඩීම නිසා, නළල මුදුනින් වගේම දෙපසිනුත් හිසේ සම මතුවී පෙනෙන්නට ගැනීම තමයි මේ තත්ත්වයට මුල්වෙන්නේ. මේ තත්ත්වය ඇතිවෙන්නේ කොහොමද කියන එක නිවැරදිව අවබෝධ කරගන්න නම් කෙස්වල වර්ධන චක්‍රය ගැනත් කරුණු දැනගන්නම වෙනවා.

පළමු අවධිය – ඇනජන්

කෙස්ගස් වල කූපයෙන් කෙස්ගස පිටතට වැඩෙන්නට පටන්ගන්නා අවධිය වන මෙහිදී කෙස් ගසේ වර්ධනය අඛණ්ඩව සිදුවෙනවා. කෙස්ගස දිගින් වැඩිවෙන මේ කාලය සාමාන්‍යයෙන් වසර 2 – 6 ත් අතර කාලයකට විහිදෙනවා.

දෙවන අවධිය – කැටාජන්

කෙස්ගස් විවේක ගැනීමට පෙර සූදානම්වන මේ කාලය සති දෙකක් පමණ විය හැකියි.

තෙවන අවධිය – ටෙලොජන්

කෙස්ගස් විවේක ගන්නා මේ කාලයේදී කෙස්ගසේ වර්ධනය සම්පූර්ණයෙන්ම නවතිනවා. ක්‍රමයෙන් ගිලිහී වැටෙන කෙස්ගස වෙනුවට නව කෙස්ගසක් වර්ධනය වීමට ඉඩ සැලසෙන්නේ මේ කාලයේදීයි. සාමාන්‍යයෙන් සති 5 – 6 ත් අතර කාලයක් මේ සඳහා වෙන්වෙනවා.

සිව්වන අවධිය – නියෝජෙන් හා එක්සෝජෙන්

නියෝජෙන් අවධියේදී සිදුවෙන්නේ ගිලිහී වැටුණු කෙස්ගස වෙනුවට නව කෙස්ගසක් පුනර්වර්ධනය වීමයි. සුපුරුදු ඇනජන් අවධියට පත්වීමට පෙර ගතකරන කෙටිකාලය එක්සෝජෙන් ලෙස හැඳින්වෙනවා.

කෙස්ඉම පසුපසට යාමට හේතු මොනවාද ?

ඇලෝපීෂියා කියන ස්වයං ප්‍රතිශක්තිහානිකරණ රෝගී තත්ත්වය මෙයට ප්‍රධානම හේතුවක්. ආර්තවහරණයට ලක්වූ කාන්තාවන් පහසුවෙන් ගොදුරු විය හැකි මේ තත්ත්වයේදී සිදුවන්නේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය විසින් කෙස්ගස් ආක්‍රමණය කරමින් ඒවා හැලීයාමට පෙළඹවීමයි. ඊට අමතරව නව කෙස් වර්ධනයත් මින් අඩාල කෙරෙනවා. ජානමය සාධක නිසාත් ඇතිවිය හැකි ඇලෝපීෂියා තත්ත්වයේදී නළල මුදුනත වන කෙස් ඉම අඟල් පහක් පමණ පසුපසට යාමේ අවදානමක් තිබෙනවා.
කෙස්මුල් පවා ඇදෙන ආකාරයට විලාසිතා කිරීම, කෙස් වර්ණ ගැන්වීම, පර්ම් කිරීම හා ස්ටේ්‍රට්නින් කිරීම වැනි රසායනික ආශ්‍රිතව සිදුකරන විලාසිතාවන් නිසාත් මේ තත්ත්වය ඇතිවෙන්න ඉඩ තියෙනවා. ශීඝ්‍රයෙන් සිදුවන සිරුරේ බර අඩුවීම, මානසික හා ශාරීරික ආතතිය නිසා මුක්ත ඛණ්ඩක නිපදවීම බහුලව සිදුවීම, තයිරොක්සින් වැනි හෝමෝනවල වෙනස්කම්, කීමොතෙරපි වැනි ඇතැම් ඖෂධමය ප්‍රතිකාර නිසාත් නළල ආශ්‍රිතව කෙස්හැලී යාමෙන් හිසේ සම මතුවී පෙනෙන්නට හැකියි. යකඩ, ෆෝලික් අම්ලය, විටමින් සී වැනි කෙස්ගස්වල නීරෝගි වර්ධනයට ඇවැසි විටමින් හා ක්ෂුද්‍ර පෝෂකවල ඌනතාවනුත් මෙලෙස කෙස්ඉම පසුපසට යමින් නළල පෑදෙන්නට හේතුවෙනවා. අනෙක් වැදගත්ම කාරණය තමයි හිසේ අපිරිසිදුකම. වැඩිදෙනෙක් හිතුවේ නැතිවුණාට හිස හොඳින් සෝදා පිරිසිදුව තබා නොගැනීම නිසා කෙස් කූප අවහිර වීමෙන් කෙස් ගසේ වර්ධනයට ඇවැසි පෝෂක නොලැබී යාමත්, හැලෙන කෙස් වෙනුවට අලු‍තින් කෙස් වර්ධනය වීම වළක්වනවා. කෙස් ගසක සජීවී කොටස වන කූපය (ෆොලිකලය) පිහිටලා තිබෙන්නේ හිස්කබලේ නිසා එහි පිරිසිදුබවත්, නීරෝගිභාවයත් මතයි කෙස්වල වර්ධනය තීරණය වෙන්නේ.

කෙස් ඉම පසුපසට යාම වැළැක්වීමට නම්

මේ තත්ත්වය පටන්ගත්තට පස්සේ එය ස්ථිරවම නැවැත්වීමට ක්‍රමයක් නැතිවුණත්, හිස්කබල මතුවී පෙනීම වළක්වාගන්නට නම් කෙස් බද්ධ කිරීම වැනි ප්‍රතිකර්ම තිබෙනවා. ඉන් අහිමිවූ කෙස් නැවත ලැබෙනවා සේම නව කෙස්වල වර්ධනයත් උත්තේජනය කෙරෙනවා. නමුත් මෙය ඉතාම මිල අධික ප්‍රතිකාරයක්. නමුත් මේ තත්ත්වය අපේ මට්ටමින් අපිට පාලනය කරගන්න බැරිකමකුත් නැහැ. ඒ සඳහා වැදගත්ම දේ තමයි කෙස් සම්බන්ධයෙන් කරන කටයුතුවලදී හැකිතාක් මෘදුව, කෙස් මතට ආතතියක් එල්ල නොවන ආකාරයට ඒ කටයුතු සිදුකිරීම.
හිසකෙස් විලාසිතා කිරිමේදී කෙස්ගස්වල මුල ඇදෙන ආකාරයේ පෝනිටේල් වැනි විලාසිතා පුරුද්දක් විදියට නොකරන එක තමයි වඩාත්ම සුදුසු. කෙස් කළඹට හැකිතාක් නිදහසේ තිබෙන්න ඉඩ හරින්න. විශේෂයෙන්ම කෙස් තෙත්ව තිබියදී එයට අමතර සැලකිල්ලක් දැක්විය යුතුමයි. එවැනි අවස්ථාවක කෙස්ගසක් 70% ක් පමණ ඇදී තිබෙන නිසා පහසුවෙන්ම ඊට හානිවීමේ හැකියාව ඉහළයි. තෙත්ව තිබියදී කෙස් පීරිමෙන් වළකින තරමට වඩාත් කෙස්වල ආරක්ෂාව තහවුරු වේවි. කෙස් පිරීමට භාවිත කරන පනාවත් ඔබේ කෙස්වල ස්වභාවයට ඔබින පළලැති දැති සහිත එකක් වීම වැදගත්. තෙදිනකට වරක්වත් කෙස් හොඳින් සෝදා පිරිසිදුව තබාගැනීිමත්, පැරබන්, සල්ෆෙට් හා සිලිකන් වැනි හානිකර රසායනිකවලින් තොර නිෂ්පාදන පමණක් කෙස් සඳහා භාවිත කිරීමටත් මතක තබාගන්න. සතියකට වරක්වත් කෙස්වලට හොඳ පෝෂණයක් ලබාදීමට “ඩීප් කන්ඩිෂන්” සත්කාරයක් කිරීම මගිනුත් කෙස්වල වර්ධනය උත්තේජනය කළ හැකියි.

රුක්ලන්ති පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>