TT Ads

 

සිල්වා මහතාට අයත් පර්චස් දහයක හිස් ඉඩමක් මහ පාරට ආසන්නයේ පිහිටා තිබිණි. ඔහුගේ අසල්වැසියකු එම ඉඩම අයිනේ තැඹිලි ලෑල්ලක් ගසා ගෙන තැඹිලි විකුණන්නට පටන් ගත්තේ සිල්වා මහතාටද ඒ බව දැන්වීමෙන් අනතුරුවය.
මඳකලක් යන විට තැඹිලි ලෑල්ල කුඩා තාවකාලික ලෑලි කුටියක් දක්වා වර්ධනය විය. එය පාර අයිනේ සිට සිල්වා මහතාගේ වැටක් නොතිබූ ඉඩමෙන් අඩි කිහිපයක්ද ආවරණය වන සේ තනා තිබිණි. “අසරණ මිනිහනේ. ඔන්න ඔහෙ වෙළඳාමක් කර ගත්තාවේ” යනුවෙන් සිල්වා මහතාද ඒ සම්බන්ධ පියවරක් නොගත්තේ අවශ්‍ය විටෙක ඔහු තමාගේ තාවකාලික ලෑලි කුටිය ඉවත් කර ගනීවි යන පරම විශ්වාසයෙනි.
මෙසේ සදාගෙන කලක් ගත විය. දැන් තැඹිලි පමණක් නොව කොළ කැඳ, කෑම පාර්සල් වැනි දෑ පවා එහි අලෙවි වෙයි. කැඳ බොන්නට කෑම කන්නට පැමිණෙන මිනිසුන්ට ලෑලි බංකු තනා ඇත්තේත් සිල්වා මහතාගේ ඉඩමෙහිය. මෙය තව දුරටත් වර්ධනය වුවහොත් මහා විනාශයක් වනු ඇතැයි සිතා සිල්වා මහතා එය ඉවත් කර ගන්නැයි අදාළ තැනැත්තාගෙන් ඉල්ලා සිටි විට ඔහු ඊට එකඟ නොවිණි. අවසානයේ මෙය ආරවුලක් බවට පත් වී පොලීසිය දක්වා දුර දිග ගියේය.
සිල්වා මහතාට එම අවුල විසඳා ගත හැකි විණිද?
මේ තවත් සිද්ධියකි.
ලලිතාගේ ඉඩමට යාබද ඉඩමේ තිබූ ළිඳකින් අසල්වැසි පවුලක් වතුර ගත්හ. එම ළිඳ වෙත ලලිතාගේ ඉඩම හරහා යාම ඒම පහසු වූ නිසා එතැනින් ඉබේම අඩි පාරක් හැදී තිබිණි. පසුව ලලිතා තම ඉඩමේ වැටක් ගැසුවාය. එවිට අසල්වැසි නිවසේ අය ලලිතාගේ වැට කඩා දමා පුරුදු විදියටම වතුර ගෙන යන්නට එම ඉඩම හරහා යාම නිසා විශාල ආරවුලක් ඇති විය.
ලලිතාට ලැබුණු විසඳුම කුමක්ද?
මෙවැනි අවස්ථාවලදී 66 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීමට හැකියාව ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ මෙය දක්වන්නේ ”66 නඩු” ලෙසිනි.

කුමක්ද මේ 66 නඩුව?
මෙය 1979 අංක 44 දරන ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 66 වන වගන්තිය යටතේ පවරනු ලබන නඩුවකි.
මෙවැනි නඩුවක් පැවරීමට ඉඩමකට බලපාන ආරවුලක් උද්ගත වී තිබිය යුතු අතර ඒ හේතුවෙන් සාමය කඩවීමේ තර්ජනයක් එල්ල වී ඇති හෝ සාමය කඩ වීමට ඉඩ ඇති වී තිබිය යුතුය.
මෙම වගන්තිය යටතේ පහත දැක්වෙන කරුණු ඔස්සේ ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් නඩු පැවැරීමට පුළුවන.
1. යම් ඉඩමක හෝ ඉඩම කොටසක හෝ සන්තකයට ඇති අයිතිවාසිකම පිළිබඳව,
2. එහි පිහිටි ගොඩනැගිලි පිළිබඳව,
3. ඉඩමේ නැතහොත් ඉඩම් කොටසේ මායිම් පිළිබඳව,
4. යම් ඉඩමක හෝ ඉඩමක කොටසක් වගා කිරිමේ අයිතිවාසිකම පිළිබඳව,
5. යම් ඉඩමක හෝ ඉඩම් කොටසක බෝග වලට හෝ ඵලදාවට ඇති අයිතිවාසිකම පිළිබඳව,
6. ඉඩමට බලපාන පරවශ්‍යතාවයක ස්වභාවයේ යම් අයිතිවාසිකමක් පිළිබඳව.
වැනි කරුණු එකක් හෝ කිහිපයක් මුල් කරගෙන ඇතිවන ආරවුලකදි 66 වගන්තිය ඔස්සේ නඩු පැවැරිය හැකිය.
මෙම වගන්තිය යටතේ නඩු පැවැරීම කළ යුත්තේ ඉඩම පිහිටි ප්‍රදේශයේ ප්‍රාථමික අධිකරණයකය. ප්‍රාථමික අධිකරණයක් නොමැති අවස්ථාවක එම ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීමට පුළුවන.
සාමාන්‍යයෙන් ඉහත සිදුවීම් දෙක වැනි ඉඩම් ආරවුලක් මුල් කරගෙන ඇති වන ගැටලුවකදී අදාළ පාර්ශ්වයන් පොලීසියට පැමිණිලි කිරීම සිදුවේ. එහිදී පොලීසිය විසින් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා මෙම ගැටලුව නිසා එම පවුල් අතර සාමය කඩවීමක් හෝ සාමය කඩ වීමේ තර්ජනයක් ඇති බව පැහැදිලි වුවහොත් 66 වගන්තිය යටතේ ප්‍රාථමික හෝ ප්‍රාථමික අධිකරණයක් එම ප්‍රදේශයේ නොමැති විටෙක ඉඩම පිහිටි ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයෙහි හෝ මෙවැනි නඩුවක් පැවැරිය හැකිය.
යම් හෙයකින් එම ආරවුල සම්බන්ධයෙන් පොලීසිය විසින් නඩුවක් පැවරීම සිදු නොකළහොත් පෞද්ගලිකව තමන්ටම තම ඉඩම සම්බන්ධයෙන් 66 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවැරීමේ හැකියාව තිබේ.
මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තේ අදාළ ඉඩම් ප්‍රශ්නය නිසා සාමය කඩවීමක් සිදු වී තිබේ නම් හෝ සාමයට තර්ජනයක් විය හැකි බවට සනාථ වුවහොත් පමණක් 66 වගන්තිය යටතේ නඩු පැවරීම කළ හැකි බවය. පොලීසිය විසින් මෙහිදී 66 නඩුවක් පවරනු ලැබුවොත් එහි සාමය කඩවීමේ තත්ත්වයක් ඇති බවට පූර්ව නිගමනය කරනු ලබන අතර පෞද්ගලිකව 66 නඩුවක් පැවරීමේදී සාමය කඩවීමේ තත්ත්වයක් ඇති බවට අධිකරණයට කරුණු සනාථ කළ යුතුය.
මෙසේ සාමය කඩ වී ඇති බවට අධිකරණය සෑහීමට පත් වූ විට ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු සතියක් ගත වීමට පෙර ආරවුල්වලට බලපෑ එම ඉඩමේ නොතීසි අලවා වාර්තාවක් කැඳවීමට නියම කරනු ලැබේ. එසේ නොතීසි ඇලවීමෙන් පසු එකී ආරවුලට සම්බන්ධතාවක් හෝ උනන්දුවක් දක්වන යම් පාර්ශ්වකරුවකුට මෙම නඩුවට ඉදිරිපත් වී ඒ කරුණු කීම සඳහා අවස්ථාවක් සැලසේ. ඉන් අනතුරුව සති තුනක් ඇතුළත නඩුවට අදාළ සියලුම පාර්ශ්වකරුවන් ලේඛන හා දිවුරුම් ප්‍රකාශ ගොනු කළ යුතුය.
යම් පාර්ශ්වයක් පෞද්ගලිකව නඩු පවරා ඇති විටෙක මුල් අවස්ථාවේදීම තොරතුරු ලේඛනය ගොනු කර තිබෙන බැවින් එහි වගඋත්තරකරුවන් වන පාර්ශ්වයන්ට දිවුරුම් ප්‍රකාශ ගොනු කිරීමට අවස්ථාවක් ලබා දෙයි.
ඉන්පසු දෙපාර්ශ්වයටම සති දෙකක් ඇතුළත හරස් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා දින ලබා දිය යුතුවේ. මෙහිදී මුල් දිවුරුම් ප්‍රකාශ සති තුනක් ඇතුළතදීත්, සියලුම පාර්ශ්වයන් හරස් දිවුරුම් ප්‍රකාශ සති දෙකක් ඇතුළතදීත් ගොනු කළ යුතු අතර එම දිවුරුම් ප්‍රකාශ සමග තමා විශ්වාස කරන තමන්ගේ ලේඛනද ගොනු කිරීම අනිවාර්ය කරුණකි.
මේ ආකාරයට මුල් දිවුරුම් ප්‍රකාශ හා හරස් දිවුරුම් ප්‍රකාශ ගොනු කළ පසු එකී පනතේ 66 (6) වන වගන්තියට අනුව පාර්ශ්වකරුවන් අතර සමථයකට පත් වීමක් විය හැකිදැයි සලකා බැලිය යුතුය. සාමාන්‍යයෙන් මෙවැනි නඩුවකදී ප්‍රාථමික අධිකරණයේ මූලික අරමුණ පාර්ශ්වයන් අතර සමථය සඳහා ක්‍රියා කිරීම සහ ඒ සඳහා පාර්ශ්වකරුවන් පෙළඹවීමට ප්‍රයත්න දැරීමය.
එසේම පාර්ශ්වයන් අතර සමථයකට එළඹීමේ අවස්ථාවක් ලෙස සියලු පාර්ශ්වයන්ගේ කැමැත්ත මත අදාළ ස්ථානය පරීක්ෂා කර බලා සුදුසු ආඥාවක් කිරීමට ගරු අධිකරණයට ස්ථාන පරීක්ෂණයකට නියම කළ හැකිය. එසේ කළ හැක්කේ සියලු පාර්ශ්වයන් එකඟ වී නඩු වාර්තාවට අත්සන් කිරීමෙන් පසුවය. එනම් ස්ථාන පරීක්ෂණයකින් පසු අධිකරණය දෙන ලද නියෝගයක් අවසාන නියෝගයක් වන බැවිනි.
මෙලෙස සමථයක් නොමැති විට අධිකරණය විසින් එම නඩු විභාගය ලඝු ආකාරයෙන් පැවැත්විය යුතු බවත්, විභාගය ආරම්භ කර මාස තුනක් ඇතුළත එකී සෑම
විභාගයක්ම අවසන් කළ යුතු බවත් එම පනතේ 67 (1) වගන්තියෙහි දැක්වේ.
සාමාන්‍යයෙන් මෙලෙස යම් ඉඩමක භුක්තිය පිළිබඳ සලකා බැලීමේදී සැබෑ භුක්තිය තිබුණේ කාටද යන්න සලකා බැලීම සිදුවේ. මේ අනුව ඉඩමකට යම් පුද්ගලයකු බලහත්කාරයෙන් ඇතුළු වුවද ආරවුල සිදුවූ දින සිට මාස දෙකක් අතීතයට සලකා බලා ඒ කාලය තුළ සිට එම පුද්ගලයා භුක්තියක් පවත්වා ගෙන ගොස් ඇති බවට කරුණු තහවුරු වන්නේ නම් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ තැනැත්තා එම භුක්තියෙහි පිහිටුවනු ඇත. එවිට සැබෑ අයිතිකරුට සිවිල් අධිකරණයක් මගින් නඩු පවරා භුක්තිය තහවුරු කර ගැනීමට සිදුවේ.
එනිසා ඔබේ හිස් ඉඩමක් තිබේ නම් ඒ පිළිබඳව නිතර සොයා බලමින් වැට මායිම් ආදිය සකස් කර ඔබ එය භුක්ති විඳින බව සෙසු අයට ඒත්තු ගැන්විය යුතුය. එවිට තව කෙනෙකුට එහි මෙලෙස බලහත්කාරයෙන් පදිංචි වීමට ඉඩකඩ ලැබෙන්නේ නැත. යම් හෙයකින් බලහත්කාරයෙන් පදිංචි වී ඔබ ඒ ගැන සැලකිල්ලක් නොදැක්වුවහොත් ඉහත දැක්වූ ආකාරයට ඔබට එහි භුක්තිය සිවිල් නඩුවකින්ම මිස යළි ආපසු ගැනීමට නොහැකි විය හැකිය. භුක්තිය පිළිබඳව සැලකීමේදී දේපළ කෙළින්ම පාලනය කළ හැකි වීම සැබෑ භුක්තිය ලෙසද දේපළ පාලනය කිරීමට බලතල සහ චේතනාව තිබීමත්, විටෙක කෙළින්ම හෝ අන් විටෙක වෙනත් අයකු මගින් පාලනය කිරීමට හැකියාව තිබීමත් අනුමිත භුක්තිය ලෙසද නීතියෙහි සැලකේ.
අධිකරණය විසින් මෙවැනි ආඥාවක් සිදු කළ පසු 76 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව එම ආඥාව අධිකරණයේ පිස්කල්වරයා විසින් ක්‍රියාත්මක කළ යුතුය. පිස්කල්වරයා විසින් ආඥාව ක්‍රියාත්මක කර පාර්ශ්වයන්ට ආඥාව දැනුම් දී තිබියදීත් පාර්ශ්වකරුවන් එය කඩ කරමින් කටයුතු කරයි නම් හෝ ආඥාව අනුව ක්‍රියා කිරීම පැහැර හරින්නේ නම් එසේ කරනු ලබන පාර්ශ්වය පනතේ 73 වන වගන්තියට අනුව අධිකරණයට වරදක් කරනු ලබයි. ඒ අනුව එම තැනැත්තාව එලෙස වරදකරු කරනු ලැබූ විට මාස 6ක් නොඉක්මවන කාලයක් සඳහා දෙආකාරයෙන් එක් ආකාර වූ බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් දහස නොඉක්මවන දඩයකට හෝ එකී දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු වෙයි.
එනිසා ඔබගේ හිස් ඉඩමක් හෝ ඉඩමේ හිස් කොටසක් හෝ ඔබ සතු දේපලක් තවත් කෙනෙකුට මෙලෙස භුක්තිය ලබා ගැනීමට තිබෙන ඉඩකඩ වළක්වා ගැනීමට පියවර ගැනීම ඔබේ වගකීම වේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ
මහින්ද ලොකුගේ

සටහන – ඉන්දු පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>