TT Ads

“දවසක් දා අපේ චිත්‍ර ගුරුවරයා අපිට කිව්වා දරුවනේ අද මං ඔයාලට අඳින්න දෙන්නෙ ඔයාලාගෙ ජීවිතයේ වඩාත්ම අගය කළ හැකි සුවිශේෂීම පුද්ගලයෝ දෙන්නා. මීට වඩා දෙයක් මගෙන් අහන්න එපා. දැන් චිත්‍රය අඳින්න පටන් ගන්න විනාඩි 30 කින් චිත්‍රය ඇඳලා පැස්ටල්වලින් පාට කරලා ගුරු මේසේ උඩින් ගෙනත් තියන්න.”

එහෙම කියපු අපේ චිත්‍ර සර් පන්තියෙන් එළියට ගිහින් කැන්ටිමට රිංගුවේ නෑ. මු`ඵ පංතියෙම ළමයි නිශ්ශබ්දව චිත්‍රය අඳින්න ගත්තා. අපේ සර් හැම කෙනෙක්ම ළඟම නැවතිලා ඒ අය අඳින චිත්‍රය නිහඬව රස විඳිමින් පන්තිය තුළම ඇවිදිමින් ඒ පැය භාගය ගත කළා.
චිත්‍රය ඇඳීම සඳහා දී තිබූ කාලය නිමා වුණා. හැමෝම තමන්ගේ චිත්‍ර පොත් ගුරු මේසය උඩින් තිබ්බා.

අපේ සර් චිත්‍ර බලන්න වෙනම කාලයක් ගත්තේ නෑ. ළමයි චිත්‍ර පොත ගෙනත් මේසෙ උඩ තියන අතරේම අපේ සර් හැම චිත්‍රයක්ම ඉතාම විමසිල්ලෙන් නැරඹුවා.

ටික වෙලාවකින් චිත්‍ර සර් කටහඬ අවදිකළේ ලොකු සතුටකින්.

“දරුවනේ ඔයාලා බොහොම හොඳ සරුසාර පින්වන්ත අනාගතයක් තියෙන හොඳම දරුවෝ. මං හැම දරුවෙකුටම සුබ පතනවා. ඒ මේ දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාවට නෙමෙයි. චිත්‍රවලට තෝරගත්ත පුද්ගලයන් හා ඒ අය පිළිබඳව ඔය දරුවන්ගේ සිත්වල මැවිලා තියෙන චිත්ත රූපවලට”
අපට ආයුබෝවන් කී ගුරුවරයා පන්තියෙන් පිටවුණාට පස්සේ අපි හැමෝම චිත්‍ර පොත් හුවමාරු කරගෙන තම තමන් ඇඳපු චිත්‍ර නැරඹුවා. විශ්වාස කරන්න සරමයි කමිසයයි ඇඳගත්ත තාත්තයි. චීත්තෙයි හැට්ටෙයි ඇඳපු අම්මයි තමයි හැම දරුවම තමන්ගෙ ජීවිතයේ වඩාත්ම අගය කරන ගරු කරන පුද්ගලයො දෙන්නා විදිහට චිත්‍ර පොත්වල ඇඳලා තිබුණේ.

අද ළමයින්ගේ වීරයන් කවුද?

වර්තමානයේ කිසියම් විදුහලක ගුරුවරයෙක් ඉහත මාතෘකාවම යටතේ චිත්‍රයක් අඳින්නැයි දරුවන්ට කීවොත් දරුවන් අනිවාර්යයෙන්ම දැඩි උභතෝකෝටික ගැටලුවකට මැදිවනු නොඅනුමානය. එහිදී දරුවාගේ මනසට එකවර නැගෙන ගැටලු කීපය තුළින් ගැටලු දෙකක් මම ඔබට කියන්නම්

1. ජීවිතයේ තමා වඩාත් අගය කරන හා ගරු කරන පුද්ගලයන් කවුද?

ඊළඟට දරුවන්ගේ සිත තුළ පැනනගින ගැටලුව වන්නේ යම් හෙයකින් දරුවා එම දෙදෙනා අම්මා සහ තාත්තා බව සහතික ලෙස තීරණය කළහොත්ය. එම ගැටලුව මෙසේය.

2. අම්මා චිත්‍රයට නගනවා නම් අම්මා කුමන ඇඳුමකින් සැරසී සිටින්නීද තාත්තාගේ චිත්‍රයට ඇඳුම ලෙස කුමන ඇඳුමක් තෝරාගන්න ද ?

ඊළඟ ගැටලුව ලෙස තවත් ගැටලු රැසක් මෙහිලා ලිවිය හැකි මුත් එසේ නොලියා සිටින්නට සිතා අද දවසේ බොහෝ දරුවන්ගේ මනස තුළ රජ කරන සිත් පුරා වැජඹෙන විරුවන් වීරවරියන් අම්මා හෝ තාත්තම නොවන බව පමණක් ඉඳුරාම ලියා තබමි.

මෙහි වැරදිකරුවන් කවුරුන්ද?

දරුවන්ට හොඳින් උගන්වනවා යනු ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, සිංහල, පරිසරය, පරිගණක විද්‍යාව ආදී විෂයන් ඉහළින්ම සමත් වීමට ඉගැන්වීමම පමණක් නොවන බව සෑම මවක් හා පියෙකු විසින්ම අවබෝධ කර නොගන්නේ ඇයි?
අද බොහෝ මව්පියන් මවගේ හෝ පියාගේ “භූමිකාව” අමතක කර හෝ අමතක වී හෝ ක්‍රියාකරති. මේ නිසාම වර්තමානයේ දරුවන් අතර සැරිසරන ජංගම දුරකථන, ප්‍රමිතියක් නැති ළමා චිත්‍රපට, බාල ටෙලිනාට්‍ය, භයානක හා මාරාන්තික සටන් දැක්වෙන වීඩියෝ ගේම්, අසභ්‍ය වෙබ් අඩවි, නොගැළපෙන පොත්පත් සඟරා, හා මිතුරු මිතුරියන් දෙමාපියන් විසින්ම දරුවන්ට තෝරාදෙන විළි නොවැසෙනා ඇඳුම් පැළඳුම් දරුවන්ගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් සිදුකරයි.

වැඩිහිටියන් ආදර්ශමත් වීමේ වටිනාකම

දරුවාගේ ලෝකය තුළ වීරවරයෙක් සහ වීරවරියක් වීමට අම්මා සහ තාත්තා එදිනෙදා ජීවිතයේදී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
කුඩාකල සිටම දරුවන් අම්මාට තාත්තාට කීකරු කරගත හැක්කේ දරුවන්ගේ ලෝකයේ වීරවරිය හා වීරයා වෙමින් පමණි. එහෙත් අද බොහෝ මව්පියන් තම දරුවන් ඉදිරියේ විවිධ හේතු මත තම වීරත්වය බාලකරගත් අය බව නොකියාම බැරිය. එවැනි අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තම දරුවා අනාගත ලොව දිනන රටට වැඩදායී යහපත් පුද්ගලයෙකු කිරීම බොහෝ අසීරුය.

“කෙළිලොල් ළමා ක්‍රියාකාරකම් මැද නිරතුරුවම අම්මා සහ තාත්තාගේ ගතිගුණ දරුවාට නිසැකවම ආකර්ෂණය වෙයි.”

ඒ සුප්‍රකට මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඞ්ගේ අදහසකි. අම්මාගේ කතා තාත්තාගේ කතා අම්මාට තාත්තාට කේන්ති යන ආකාරය, කන බොන හැසිරෙන ආකාරය අසල්වැසියන් සමග ආශ්‍රය කරන ආකාරය ආදී සියල්ල දරුවාටත් නොදැනීම දරුවාගේ මනස හා බැඳෙයි. අම්මා ඉවුම් පිහුම් කරන, ගේ දොර පිරිසුදු කරන, අඳින පළඳින, එදිනෙදා ජීවිතයේදී සුලභව භාවිත කරන ද්‍රව්‍යය දෙස දරුවා බලා සිටින්නේ ඇස්වලින් නොව මනසිනි. තාත්තාගේ දිනචරියාව, රැකියා ස්ථානයේ අත්දැකීම් අම්මා සමග පවසන ආකාරය, තාත්තාගේ කතාබහ කරන වචන, තාත්තාගේ පුරුදු ද දරුවන් විඳින්නේද මනසිනි. වැඩිහිටියන් ආදර්ශමත් විය යුත්තේ මේ නිසයි.

මව් පදවිය සහ පිය පදවියෙහි අගය

මව්කම පදවියකි. උතුම්ම පදවියකි. පියකම ද උතුම්ම පදවියකි. මේ පදවියට නිශ්චිත හැඩයක් වර්ණයක් පැවැත්මක් මෙන්ම යහපත් සුවඳක් දෙන්නට මවට හා පියාට අනිවාර්යයෙන්ම හැකිවිය යුතුය. දුප්පත්කම හෝ පොහොසත්කම මේ පදවියට කිසිදු බාධාවක් නොවේ.

අමුද්‍රව්‍ය හිඟයක්

“කුඩා වයසේ දී මනසේ ඇඳෙන, රැඳෙන පිළිගැනීම් පහසුවෙන් දරුවාගේ මනසින් ඈත් නොවේ. හැම දරුවෙක්ම තම මවගෙන් හා පියාගෙන් දැන හඳුනාගත් අමු ද්‍රව්‍ය මනසේ පොදි බැඳගෙන ඒවාත් රැගෙන අනාගතයට පියමනින බව අප අමතක කරන්නේ කෙසේද? මවගෙන් පියාගෙන් දරුවන්ට තැගි ලැබෙන “අමු ද්‍රව්‍ය වර්ග හතරකි”

1. කායික අමුද්‍රව්‍ය

2. චිත්තවේගි අමුද්‍රව්‍ය

3. ආධ්‍යාත්මික අමුද්‍රව්‍ය

4. සමාජයීය අමුද්‍රව්‍ය

අම්මා කරුණාවන්තය, දයාවන්තය, ඉවසිලිවන්තය, මෘදු ගති ඇත්තීය, පින්වන්තය, ආදර්ශමත්ය.
තාත්තා නිවසේ සොඳුරු ආඥාදායකයාය, නොසැලෙන සු`ඵය, ධෛර්යවන්තය, තේජාන්විතය, ආදර්ශමත්ය.
මේ අම්මාටත් තාත්තාටත් ආවේණික වූ සැබෑම මානුෂීක සාධාරණ ආරෝපණයන්ය. මව් පදවිය හා පිය පදවියේ ගෞරවනීය බව අම්මාත් තාත්තාත් රකින තාක් හැම දරුවෙකුගේම හැම දවසක්ම සුබවනු ඇත.
අධ්‍යාපන තරගයටම පමණක් තම දරුවා හුරු නොකර “ජීවිතය හඳුනාගැනීමට දරුවාට උගන්වන්න. එවිට ඔබේ දරුවනුත් ඔවුන්ගේ දරුවන්ට ඒ වටිනා ගුණ දහම් උගන්වනු නිසැකය. අපේ මාතෘභූමිය ඉතාම සරුසාර හා තිරසාර ලෙස දරුවන්ට බාරදිය හැක්කේ එවිටය.

රඹුක්කන කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>