TT Ads

මේ 2020 වසර සඳහා පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගන්නා කාලයයි. ඕනෑම දෙමාපියකු තම දරුවා ඇතුළු කර ගැනීමට අපේක්ෂා කරන මෙන්ම කැමැත්තෙන් සිටින පාසල් තිබේ. එම අපේක්ෂාව ඉටු කර ගැනීමට නොලැබීම බොහෝ දෙමාපියන්ට ගෙන දෙන්නේ වේදනාවකි.

දරුවකුගේ අනාගත සුබ සිද්ධියට ඔහු/ඇය ඉගෙනුම ලැබූ පාසලද පිටිවහලක් වෙයි. මෙම අදහස නොපිළිගන්නා අයද නැතිවා නොවේ. කෙසේ වෙතත් මෙම මතය පිළිබඳව හෝ එහි වැරදි/නිවැරදි බව පිළිබඳව අපි තර්ක නොකරමු. ඒ මන්දයත් ඕනෑම මවකගේ පියකුගේ අපේක්ෂාව තම දරුවාගේ අනාගතය යහපත් වනු දැකීම නිසාය.

2020 වසරේ පාසලට ඇතුළත් වන දරුවන් අතරද දෙමාපියන් අපේක්ෂා කරන ලද පාසල ලැබුණු දරුවන් මෙන්ම එසේ නොලැබුණු දරුවන්ද සිටින බව අපි දනිමු.

සමහර දෙමාපියන් තම අපේක්ෂාව ඉටු නොවීම පිළිබඳ තම නෑදෑ හිතවතුන් සමග කතා කරන්නේ ඉතා කනගාටුවෙනි. සමහර විට එසේ කතා කරන්නේ දරුවාද ළඟ තබාගෙනය.

“අපි බලාපොරොත්තු වුණේ …. පාසලට දරුවව ඇතුළු කරන්න. බැරිවුණානේ හරිම දුකයි.”
“අපේ උත්සාහයෙන් වැඩක් වුණේ නෑ. දැන් ඉතින් ….. යන්න වෙන්නේ …. පාසලට. ඒක හොඳ නැහැ. ඒකෙ ළමයිනුත් කිසිම කමකට නැහැ.”

මෙවැනි වදන් දෙමාපියන් වෙතින් කියවේ. ඇත්තෙන්ම මෙය ඉතාම අනුවණ ක්‍රියාවකි. මේවා සවනට වැටෙන විට දරුවාට හැඟෙන්නේ “එම පාසල තමාට නුසුදුසුය” යන සිතිවිල්ලයි. එය පාසලට පා තබන විටම තම පාසල පිළිබඳව දරුවා තුළ අයහපත් ආකල්පයක් ගොඩනැගෙන අත්තිවාරමක් වනු ඇත. පාසල මෙන්ම පාසලේ ගුරුභවතුන් පිළිබඳවද දරුවා තුළ අයහපත් ආකල්ප ඇතිවීම කිසිසේත් යහපත් වන්නේ නැත.

එමෙන්ම තම පංතියේ සිටින සම වයස් සිසුන් පිළිබඳවද දරුවාගේ සිතේ පැහැදීමක් ඇති නොවේ. ඒ අනුව ඔවුන් දෙස පිළිකුලෙන් බැලීමටත්, මිතුරු ඇසුර ප්‍රිය නොකිරීමටත් දරුවෝ පෙළඹෙති.

දරුවකු පාසල් යා යුතු වන්නේ සතුටිනි. ඒ සඳහා පාසල වටපිටාව, පාසලේ ගුරුවරු මෙන්ම අනිකුත් සිසුන් පිළිබඳවත් දරුවන්ගේ සිත් තුළ යහපත් ආකල්ප ගොඩනැගී තිබීම ඉතාම වැදගත්ය. ඒවා ගොඩනැගීමේ කාර්යභාරය දෙමාපියන් සතුය. දරුවකුට සතුටින් අධ්‍යාපන කටයුතු වල නිරත වීමටත් ඒවා මහත් සේ උපකාරී වනු ඇත.

තමා ඇතුළත් වීමට නියමිත පාසල අවතක්සේරුවට ලක්වන විට දරුවා තුළ එවැනි පාසලකට යාම පිළිබඳව ඇතිවන්නේ හීනමානයකි. තමන් පිළිබඳවද අවතක්සේරුවෙන් සිතන්නට එම දරුවා පෙළඹිය හැකිය. එවිට සිදුවන්නේ පාසලේ සිදු කරන වැඩකටයුතු පිළිබඳවද දරුවා තුළ ඇති උනන්දුව අඩු වීමයි. පාසල් යාමට තිබෙන ආශාවද එවිට අඩු වෙයි. එවැනි තත්ත්වයන් ඇති වූ විට බහුතර අයගේ මතය වනුයේ පාසල හෝ ගුරු භවතුන්ගේ අඩුපාඩු නිසා එසේ සිදුවන බවයි.

පාසල් වල පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සිදු කරනුයේ උත්සවාකාරයෙනි. එම දිනය දරුවන්ට සුවිශේෂී දිනයන් විය යුතුයි. එමෙන්ම එය සුන්දර සිහිවටනයක්ද විය යුතුයි.

නමුත් දෙමාපියන්ගේ ඉහත දක්වන ලද ක්‍රියාවලියන් හරහා දරුවා තුළ පාසල පිළිබඳව ගොඩනැගෙන අයහපත් ආකල්ප එම සිහිවටනය සුන්දර සිහිවටනයක් කරන්නේ නැත.

දරුවකු පාසල් යා යුතු වන්නේ සතුටිනි. එමෙන්ම තමන් පිළිබඳව ආත්ම අභිමානයක්ද සමගිනි. දෙමාපිය යුතුකම වන්නේ එය ගොඩනැගීම සඳහා කටයුතු කිරීමයි.

තමන් අපේක්ෂා කරන ලද පාසලට දරුවා ඇතුළු කර ගැනීමට නොහැකිවීම දෙමාපියන්ට වේදනාවන් ගෙන දෙන බව සත්‍යයකි. නමුත් කිසිම විටක එය දරුවාට නොපෙන්විය යුතුයි. එම වේදනාව දරුවා ඉදිරියේ ප්‍රකාශ කිරීම නොකළ යුතුයි.

එමෙන්ම දරුවා ඇතුළු වීමට නියමිත පාසල, එහි ගුරුභවතුන් මෙන්ම එම පාසලේ ඉගෙනුම ලබන අනෙක් දරුවන් පිළිබඳවද යහපත් සිතුවිලි දරුවා තුළ ඇති කර සතුටින් පාසල වෙත යාම සඳහා දරුවාව සූදානම් කිරීම ඉතාම වැදගත් බව දෙමාපියන් මතක තබා ගත යුතුය.

 

ජලදිනි සේනානායක

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>