TT Ads

සමහර දරුවන්ට යමක් කරන්නට නම් “ඇන ඇන“ කියන්නට ඕනෑ වෙයි. නමුත් තවත් සමහර දරුවන් හිතාමතා වැඩ කිරීමට දක්ෂය. ඔවුන්ට යමක් කරන්නට කාගේවත් පෙළඹවීම් අවශ්‍ය වන්නේ නැත. මෙසේ කවුරුත් කියන නිසා හෝ තමන්ට හිතෙන නිසා හෝ යමක් කරන්නේ සිතට එන පෙළඹීම හේතුවෙනි.

මේ පෙළඹීම දෙආකාර වේ. එකක් නම් අභ්‍යන්තර පෙළඹවීමයි. අනෙක බාහිර පෙළඹවීමයි.
යමක් කරන්නට තමන්ටම සිතෙන පෙළඹීම අභන්තර පෙළඹවීමයි. මව්පියන් හෝ වැඩිහිටියන් කියන නිසා කරන්නේ බාහිර පෙළඹවීම මතය. මෙය මනෝ විද්‍යාත්මක ඉතාම වැදගත් සාධකයක් සේ සලකනු ලබන අතර පෙළඹවීම යනු යමෙකුට යම් දෙයක් කිරීම සඳහා ලැබෙන උත්තේජනයකි.
දරුවා ලවා යමක් කරවීමේදී මෙම පෙළඹවීම හෙවත් උත්තේජන සැපයීම නොයෙක් ආකාරවලින් කළ හැකිය. හොඳම ක්‍රමය දරුවා දිරි ගැන්වීම තුළින් යමක් කිරීමට පෙළඹවීමක් ඇති කිරීමය.

 දරුවා දිරි ගන්වන්නේ කොහොමද?
දරුවාට “අරක කරන්න, මේක කරන්න” ආදී වශයෙන් නිතර කියන්නට සිදු වන්නේ කිසිවක් තනිව සිතා බලා කරන්නට ශක්තියක් දරුවා තුළ නොමැති වූ විටය. එසේ තනිව සිතා යමක් කළ නොහැකි වන්නේ දරුවාගේ ස්වයං අභිප්‍රේරණය දුර්වල වීම හේතුවෙනි. දරුවා තුළ ස්වයං අභිප්‍රේරණය ඇති වන ආකාරයට කටයුතු කිරීමේ වගකීම ඇත්තේ දෙමාපියන්ටය.

 දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩ නංවන්නේ කෙසේද?
ආත්ම විශ්වාසය යනු තමන්ට යමක් තනිව කළ හැකිය යන විශ්වාසයයි. දරුවා කළ දෙය සාර්ථකදැයි දරුවාට ඒත්තු ගැන්වෙන්නේ මව්පියන්ගේ ප්‍රතිචාර තුළිනි. සෑම විටම දරුවකු තනිව කරන කාර්යයන් සීයට සීයක්ම සර්ව සම්පූර්ණ වීම සහ නිවැරදි වීම මව්පියන් අපේක්ෂා කළ යුතු නැත. සාර්ථක වූ සුළු ප්‍රමාණය ගැන හෝ දරුවා ධෛර්යයමත් වන ආකාරයට කතා කිරීම වැදගත්ම දෙයයි. නමුත් ඒ වෙනුවට අසාර්ථක වූ ප්‍රමාණයම උලුප්පා දක්වමින් දරුවාට දොස් නැගුවොත් සිදු වන්නේ දරුවාගේ ආත්ම විශ්වාසය බිඳ වැටී ස්වයං අභිප්‍රේරණය නැත්තටම නැති වී යාමය.

දරුවාගේ සාර්ථකත්වයට මූලිකවම බලපාන හැඟීම වන්නේ “මට හැකිය” යන්නයි. ඒ හැඟීම සමග දරුවාගේ හැකියාවන් දිගින් දිගටම වර්ධනය වීම මිස දුර්වල වන්නේ නැත. මේ වාරයේදී ලකුණු පනහක් ගත් දරුවාට ඊළඟ වාරයේදි ලකුණු අසූවක් ගන්නා ලෙස නියම කිරීම සුදුසු නොවේ. හේතුව එය දරුවාට අසීරු විය හැකි බැවිනි. ඒ අනුව ලකුණු අසූවක් බලාපොරොත්තු වී දරුවාට ගත හැකි වූයේ ලකුණු හැත්තෑවක් නම් දරුවා තුළ ඇති වන්නේ “මට හැකිය” යන හැඟීම නොව “මට නොහැකිය” යන්නය. එමගින් ආත්ම විශ්වාසය වර්ධනය වීමක් සිදු නොවන අතර දරුවා තුළ ඇති ධෛර්යයද හීන වේ. සෑම දෙයක්ම කළ යුත්තේ ක්‍රම ක්‍රමයෙනි. හැකිය යන විශ්වාසය නිතරම දරුවා තුළ ඇති කරවමින් දරුවා ටිකෙන් ටික ඉහළට ගැනීම තුළින් ස්වයං අභිප්‍රේරණය ඉතා හොඳින් වර්ධනය වනු ඇත.

උපදෙස්
ප්‍රවීණ මනෝ චිකිත්සක
සුරංග අමරකෝන්

උත්පලා සුභාෂිණි ජයසේකර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>