TT Ads

දරුවන් අතින් පුංචි පුංචි වැරදි සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. සමහර මව්පියන් දරුවක් අතින් සිදුවෙන ඉතාම සුළු වරදටත් ඉතාම තදින් කිපෙනවා. මේ තත්ත්වය කොහෙත්ම සුදුසු නැහැ. දරුවෙක් අතින් සිදුවෙන ඕනෑම වරදකට දඬුවම් දෙන්න කලින් වරක් නොව දෙවරක් සිතා බැලිය යුතුමයි.
මනෝ විශ්ලේෂකයන් හා මනෝ වෛද්‍යවරුන්ගේ අදහස නම් දරුවන්ට දඬුවම් නොකළ යුතු බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ දඬුවම් දීමට වඩා වැරැද්ද ආදරයෙන් පෙන්වා දීමෙන් දරුවා ඉන් මුදවා ගැනීමට සාර්ථක පෙළඹවීමක් කළ හැකි බවයි. යම් වරදකට සමාවක් හෝ නොදී දඬුවම් කිරීමෙන් සිදුවන්නේ දරුවා සෘණාත්මක බලපෑමට ලක්වීමයි. මේ නිසා දරුවෙකුට ශාරීරිකව හෝ මානසිකව හිංසනයට පත්වන දඬුවම් කිසිවිටෙක නොපැනවිය යුතුයි. ඉතාම සුළු වරදකටත් දඬුවම් දීමට පෙළඹීමෙන් සිදුවන්නේ දරුවාගේ සිත තදින් කම්පනයට පත් වීමයි. දිගින් දිගටම මෙවැනි මානසික කම්පනවලට ලක්වන දරුවා තදින් මුරණ්ඩු බවට පත්විය හැකියි. එම තත්ත්වය දරුවාගේ අනාගතයට ඉතා සෘජුවම අයහපත් ලෙස බලපෑම් කරයි.

දරුවන්ට නොකළ යුතු දේ

 වරද කුමන ආකාරයේ වුවත් වැඩිහිටියන් විසින් දරුවාට නොකළ යුතු දේ මෙලෙස පෙළගස්වන්න පුළුවන්.
 කිසිසේත්ම දරුවාට ප්‍රසිද්ධියේ ලැජ්ජා කරන්න එපා.
 දරුවා හාස්‍යයට ලක් කරන්න එපා
 දරුවා මානසික අපහසුතාවට ලක් කරන්න එපා
 දරුවාට ශාරීරික හිංසා පමුණුවන්න එපා
 වරදට අනුව හෝ සිතට දැනෙන කේන්තියට දරුවාට විවිධ නම් පට බඳින්න එපා.
 දරුවාට දඬුවම් දීම වෙනුවට ඔබේ කෝපය පාලනය කර ගන්න.
 සමහර අවස්ථාවල දරුවන් අතරේ සරල උසුළු විසුළු ඇතිවිය හැකියි. ඒවා තුළින් ඔවුන් ලබන්නේ ඉතාම අහිංසක විනෝදයකි. එවන් අවස්ථාවල ඔබ කෝපයෙන් ඊට මැදිහත් නොවිය යුතුයි.
 වැරැද්ද මිස කිසි විටෙක දරුවා හෙළා දකින්න එපා.
 වැරැද්ද දුටු විට එම වරදට දරුවා සදාකාලික වරදකරුවෙකු ලෙස හංවඩු ගැසීමෙන් කරුණාකර වළකින්න

හිංසනයට ලක්වන දරුවන්
හිංසනයට ලක්වන දරුවන් වෙනුවෙන් ඔබට කළ හැකි ආදර්ශමත් බොහෝ දේ ඇත. මේ ඉන් කීපයකි.
* හිංසනයෙන් වළකා ගැනීමට උපකාරී වන්න.
 හැමවිටම දරුවා කෙරෙහි සහකම්පනය වන්න
 දරුවන් අපහාසයට හා ලැජ්ජාවට පත්වීම වළක්වන්න.
 දරුවන්ට හිංසා කරන දරුවන් ඇත්නම් ඒ පිළිබඳව විමසිලිමත් වන්න
 හිංසනයට ලක්වීමට හේතු සොයා ඒවාට පිළියම් යොදන්න
 කිසිවිටෙත් හිංසනය අනුමත නොකරන්න.
 ක්‍ෂණික කෝපය, ඊර්ෂ්‍යාව, තරහා පළිගැනීම, විනෝදය හෝ කැමැත්ත වේවා හිංසනය කුමන කරුණක් නිසා ඇති වූවාදැයි සොයා බලන්න.
 එකිනෙකා පිළිගැනීම, අගය කිරීම කණ්ඩායම් හැඟීම ආදියේ වැදගත් කම දරුවාට අවබෝධ කරවන්න.
 අවශ්‍ය නම් මානසික උපදේශන සඳහා යොමු කරවන්න.

මානසික පීඩාවට ලක්වූ දරුවෙකු හඳුනා ගන්නේ කොහොමද?
සරල මානසික පීඩාවන්ට පත් වූ සහ පත්විය හැකි ආකාරයේ දරුවන් අපට හමුවන අවස්ථා පවතී. එවැනි දරුවන් හඳුනාගෙන ඊට අවශ්‍ය පිළියම් යොදමින් ඔවුන්ට උපකාරී වීම ඔවුන්ගේ අනාගත යහපතට මහඟු රුකුලකි.

විශේෂයෙන් පාසලේදී ගුරු මව්පියවරුන්ට මෙවන් දරුවන් හඳුනාගත හැකි අවස්ථා කීපයකි.
 එවැනි දරුවන් පාසල් ගමන කඩින් කඩ සිදුකරයි
 හැසිරීම්, සිතුවිලි හා හැඟීම්වලින් අන් දරුවන්ට වඩා වෙනසක් පවතී.
 අධ්‍යාපන කටයුතුවල පසුබෑමක් දක්වයි.
 අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා ඇති උනන්දුව අඩුයි.
 පාඩමට අවධානය යොමු නොකර අන් කල්පනාවක හෝ අන් කාර්යයක නිරත වෙයි.
 සනීපාරක්‍ෂාව ගැන කිසිම සැලකීමක් නැත. ඇඳුම පැළඳුම පොත පත පවා පරිහරණය අපිළිවෙළයි.
 පැහැදිලි බර අඩුවීමක් හෝ බර වැඩිවීමක් ඇති වේ.
 අසාමාන්‍ය කතාබහ හා හැසිරීම අසාමාන්‍ය වෙයි.
 හිසරදය හා බඬේ අමාරුව ගැන නිතර පැමිණිලි කරයි.
 මිතුරු කණ්ඩායම්වලින් ඉවත් වෙයි.
 කිසිම කටයුත්තකට ඉදිරිපත් නොවීම /පසුබෑම
 සමාජගත නොවීම හා සමාජශීලී නොවීම
 මුහුණේ ප්‍රිය මනාප බව අඩුවීම

මෙවැනි ලක්‍ෂණ එකක් හෝ කීපයක් පෙන්නුම් කරන දරුවෙකු මානසික පීඩාවට ලක්වී ඇතැයි අනුමාන කළ හැකිය. මෙම තත්ත්වය මුල් අවධියේම හඳුනා ගැනීමෙන් විශාදය, සංකාව වැනි මානසික රෝගවලින් දරුවා මුදවා ගත හැකිය.

කීර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>