TT Ads

නව යෞවනයේ පසුවන දරු දැරියන් හොඳ සෞඛ්‍ය සම්පන්න එසේම හොඳ රූප සොබාවකින් යුතු පිරිසක් කිරීමේ මුල් අඩිතාලම දැමිය යුත්තේද ළමා වියේදීමය. තරුණ වියට එළැඹි පසු විවිධ ප්‍රතිකාර විධි, ආලේපන වර්ග හරහා සමේ පැහැපත් බව ඉස්මතු කර ගැනීමට උත්සහ කරනවාට වඩා එය ශරීරය තුළින්ම ක්‍රමානුකූලව සකස් කර ගැනීම වඩාත් නිවැරදි ක්‍රමයයි. එය කළ හැක්කේ දරුවන් නිවැරදි චර්යා රටාවකට, නිරෝගී ආහාර පරිභෝජනයකට හුරු කිරීම තුළිනි. එසේම දරුවාට තමන්ගේ ශරීරයේ උස, බර , නිවැරදි අගයන්ගෙන් පවත්වා ගෙන යා යුත්තේ කෙසේද යන්න ගැන අවබෝධයක් ලබා දීමද අතිශයින්ම වැදගත්ය.

සෞඛ්‍ය අංශ විසින් සිදුකර තිබෙන පර්යේෂණයන්ට අනුව 6 වසර සිට 12 වසර දක්වා, ඉගෙනුම ලබන දරුවන්ගෙන් 6.1%ක් අධිබරෙන් පෙළෙන බව හෙළිව තිබේ. 2.9%ක් ස්ථුලතාවයෙන් පීඩා විඳින බව හෙළිවී ඇත. මේ වනවිට එම අගයන් බොහෝ සේ ඉහළ ගොස් ඇතිබවද සැලකිය යුතුය. මේ දත්ත අපට නොකියා කියා සිටින්නේ අනාගතයේ මේ දරුවන්ට මුහුණපාන්නට සිදුවන අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් ගැන ඉඟිය.
මේ වයසේ ඇතිවන ස්ථුලතාවය නිසා ඉතා අඩු වයසකදී අධි රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ කොලොස්ටරෝල් වැඩිවීම, අක්මාව වකුගඩු ආශ්‍රිත රෝග වැනි බෝ නොවන රෝග ගණනාවකට ගොදුරු වීමේ අවදානම ඉහළ දමයි.

BMI අගය මගින් දරුවාගේ බර අඩුද, සාමාන්‍යද, අධිබරද, ස්ථුලද යන්න නිගමනයකට ඒමට හැකි ආකාරයට දැනුවත් කළ හැක. තමන්ගේ BMI අගය දැන ගැනීම සඳහා තිබෙන BMI බර (Kg)

උස (M) x උස (M)

තමන්ගේ ශරීර බර කිලෝග්‍රෑම් (Kg)වලින් මැන ගෙන උස මීටර (M) වලින් මැන ගෙන, ඒ මැනගත් බර උසේ වර්ගයෙන් බෙදීමෙන් තමන්ට හිමි BMI (ශරීර ස්කන්ධ දර්ශකය) දැන ගැනීමට හැකිය. එසේම මේ වනවිට පාසල් දරුවන්ට, වර්ධක සටහන් පොතද හඳුන්වා දී තිබේ. දරුවාගේ වයසට අදාළ වර්ධක සටහනේ ඇති පාට තීරුවලින් දරුවාගේ BMI අගය ගැළපේදැයි විමසිලිමත් විය හැක.

කොළ පාට තීරු – බර සාමාන්‍යයි
ළා දම්පාට තීරුව – අධි බර
තද දම්පාට තීරුව – ස්ථුලතාවය

දරුවා තමන් සිටින්නේ කොතැනදැයි දැනගත් විට නිවැරදි තැනට ළඟාවීමට උත්සාහ කරනු ඇත. දෙමාපිය වැඩිහිටියන් විසින් කළ යුත්තේ එයට උදව් කිරීමය. දරුවාගේ සුන්දර බවට බෙහෙවින්ම බලපාන සිරුරේ හැඩය රැකගැනීමට නම්, නිවැරදි උස සහ බරින් යුතුවීම අත්‍යාවශ්‍ය වෙයි. නීරෝගී බව හා සුන්දර බව එක්ව ගමන් කරන තත්ත්වයන් බව දරුවාට අවබෝධ කර දීම, දෙමාපිය වැඩිහිටියන්ගේ යුතුකමකි.

දරුවාගේ උදෑසන ආහාරය. පෝෂ්‍යදායක එකක්ම කිරීමට උත්සාහ ගන්න. කෙටි කෑම වර්ග, පිටි සීනි තෙල් අධික ආහාර නොදී නිවසේ පිළියෙල කරන ලද සමබර ආහාර වේලක් දරුවාට ලබා දෙන්න.

 පාසල් විවේක කාලය තුළදී පවා දරුවාට අහිතකර ආහාරයක් ලබා ගැනීමට තිබෙන අවකාශය අවහිර කරන්න. ඒ සඳහා ඔබට නිවසේම පිළියෙළ කළ යමක් යැවිය හැක. නැත්නම් පාසල් ආපන ශාලාවේ දරුවන්ට ආහාර පාන පමණක් අලෙවි කිරීම සඳහා පාලන අධිකාරිය සමග සාකච්ඡා කරන්න.

 එසේම තමන්ට අහිතකර ආහාර වර්ග ප්‍රතික්‍ෂේප කිරීමට සේම පෝෂ්‍යදායක හොඳ ආහාර වර්ග තෝරා ගැනීම ගැන දරුවා දැනුවත් කොට තබන්න.

උපදෙස්
පවුල් සෞඛ්‍යය කාර්යාංශයේ නව යොවුන් සහ යොවුන් ඒකකයේ
ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිරන්තිකා විතාන

නිර්මලා කුමාරි සේනාරත්න

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>