TT Ads

“අම්මේ ඇයි අර අක්ක අඬන්නෙ?”
පුතාගේ පැනයට අනුව දියණිය සිටි කාමරයට එබී බැලූ ඇය කොට්ටය බදාගෙන ඇඳේ වැතිරී හඬන විසි හැවිරිදි දියණියට කතා කළේ සාමකාමීවය.
“ඇයි දුවේ මොනවත් ප්‍රශ්නයක්ද?”
එක් වරම කොට්ටයත් පසෙකට විසි කළ දියණිය
“ඇයි දැන් මට අඬන්නවත් නිදහසක් නැද්ද?” කීවේ කෝපයෙන් පුපුරා හැලෙමිනි.
“අනේ ළමයො ඇයි මේ? ඔයාට මොනවගෙන් අඩුවක්ද? අපි ඉල්ලන ඉල්ලන හැමදේම දෙනව නේද? ඔයාගෙ වයසෙ අපිට මේ මොනවත් තිබුණෙ නෑ……” මව ඇයව සන්සුන් කිරීමට උත්සාහ කරමින් පැවැසීය.’
“ඇති ඇති. දැන් ඉතින් ආයෙ මෙතන පරණ කතා දිග අරින්නෙ නැතිව කරුණාකරල මෙතනින් යනවද මට මගේ පාඩුවෙ ඉන්න ඇරල…”
වෙනදා සතුටින්, ආදරයෙන් ඇයට කතා කරන දියණිය මෙසේ හැසිරෙන්නේ ඇයිදැයි වටහා ගත නොහී ඒ දෙස බලා සිටි මවගේ දෙනෙතේද කඳුළක් නැගී ආවේ මෙය විසඳිය හැකි මගක් නොවූ හෙයිනි. මසකට වරක් පමණ මෙසේ හේතුවක් ‘නැතිව හැසිරීම වෙනස් වන දියණිය වෛද්‍යවරයෙකුටවත් පෙන්නා ගතහොත් හොඳ යැයි සිතුනද එයට ඇයව කැමැති කරවා ගැනීම අපහසු විය.

* මෙසේ සිදු වන්නේ ඇයි?
ඵලදායි වයස් කාණ්ඩයේ සිටින කාන්තාවන්ට ඔසප් වීමට සතියක් පමණ ආසන්න වන විට විවිධ රෝග ලක්ෂණ මතු වීම (Pre – Menstrual Syndrome) අතීතයේ සිට හඳුනාගත් තත්ත්වයකි. මෙය සිදු වන්නට ස්ථිර හේතුව අදටත් සොයා ගෙන නැත. හිටි ගමන් මෙසේ “මූඞ්” වෙනස් වන දියණියන්, සහෝදරියන්, බිරින්දෑවරුන්, මිතුරියන් නිසා පවුලේ, සේවා ස්ථානයේ ඇසුරු කරන අය පත් වන්නේ දැඩි අපහසුවකටය. එහෙත් කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය අනුව වෙනස්වන හෝමෝන්වල බලපෑම නිසා මෙය සිදුවන බව දැනට පවතින වෛද්‍ය මතයයි. මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සීරොටොනින් මට්ටමේ අඩුවක්ද මෙයට හේතු වන බව අනුමාන කෙරේ. ලොව පුරා කර ඇති පරීක්ෂණවලට අනුව ඔසප් වීම සිදුවන කාන්තාවන්ගෙන් 50%කට ආසන්න පිරිසකට මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් ඇති වේ. ‘ඔසප් චක්‍රයේ පළමු සති දෙක තුළ ඊස්ට්‍රජන් හෝමෝනයද, ඊළඟ සතිදෙක තුළ ඊට අමතරව ප්‍රජෙස්ටෙරොන් නමැති හෝමෝනයද රුධිරයට එක් වේ. කාන්තාවකගේ ප්‍රජනක පද්ධතිය නිසි පරිදි පවත්වා ගැනීමට මේ හෝමෝන අත්‍යවශ්‍යය.

* මෙහිදී ඇති වන ලක්ෂණ මොනවාද?
ඔසප් වීමට නියමිත දිනට දින 11 – 5 දක්වා කාලය තුළ වෙනස්කම් පෙන්නුම් කරයි. මූලික වශයෙන් සිදු වන වෙනස්කම නම් මානසික තත්ත්වයේ වෙනසකි. (mood swings). එනම් කිසිම හේතුවක් නැතිව ශෝකී, නුරුස්නා සුලු බවක්, කලබලකාරී ගතියක් දැනීම, තරහ යෑම, නින්ද නොයාම, මහන්සිය, කිසිවක් කිරීමට උද්යෝගයක් නොමැති වීම ආදිය වැඩි දෙනෙකුට ඇති වේ. මීට අමතරව හිසරදය, ශරීරය පිම්බුන ගතියක් දැනීම, බඬේ කැක්කුම, පියයුරුවල වේදනාව, කෙස්වල ඇලෙන සුලු ගතිය, ආහාර අරුචිය, ලිංගික ආශාවන්හි වෙනස්කම් ඇති විය හැකිය. මෙම තත්ත්වය කෙනෙකුගෙන් කෙනෙකුට අඩු වැඩි වශයෙන් වෙනස් විය හැකිය. සමහර අයට ඉතා දැඩි මානසික අවපාතයක් ඇති වී දිවිනසා ගැනීමට පවා පෙළඹෙන අවස්ථා වාර්තා වී ඇත.⁣ ඔසප් ආරම්භයත් සමග මෙම ලක්ෂණ මගහැරීයයි. ඔසප් වීම අවසන් වූ විට සහනදායී ගතියක් දැනේ.දැනටත් මානසික අවපාත තත්ත්වයකින් පෙළෙන අයට, මෙවැනි තත්ත්වයක් ඇති පවුල් ඉතිහාසයක් ඇති අයට, ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන, ගැටලුකාරී පරිසරයක සිටින අයට මෙය වැඩිපුර සෑදීමේ ප්‍රවණතාවයක් ඇත.

* රෝග විනිශ්චයට එළඹෙන්නේ කෙසේද?
ඒ සඳහා විශේෂ පරීක්ෂණ නැත. එහෙත් තමාගේ එදිනෙදා කටයුතු කරගැනීමට අපහසු තත්ත්වයක් ඇති වේ නම් හා වෙනත් බොහෝ රෝගවලදීද ‘මීට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන බැවින්, වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය. සිරුර නිරෝගීදැයි බැලීමට අවශ්‍ය මූලික පරීක්ෂණ කිහිපයක් හා තයිරොයිඞ් හෝමෝන් මට්ටම බැලීම සාමාන්‍යයෙන් කරනු ලැබේ. වඩා වැදගත් රෝග ඉතිහාසයයි. සෑම මසකම එකම පිළිවෙළකට සිදුවන බව නිරීක්ෂණයෙන් තීරණය කිරීමට සිදු වේ.

* මෙම තත්ත්වය සමනය කර ගැනීමට ගතහැකි පියවර මොනවාද?
මෙවන් තත්ත්වයක් ඇති බව නොදැනීම තුළින් බොහෝ පවුල්වල අසමගිතා ඇති වේ. මානසික මට්ටම දියුණු කර ගැනීමට උපදේශන සේවාවන් ලබා ගැනීම සුදුසුය. විශේෂයෙන්ම යම් කාන්තාවකට මෙවන් තත්ත්වයක් ඇති බව දැන ගත් විට පවුලේ පිරිමි පක්ෂය ඒ ගැන දැනුවත් වී එම දින කිහිපය සාමයෙන් ‘සිටීමට ඇයට උදව් දිය යුතුය.දිනපතා ව්‍යායාම කිරීම, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, විටමින්B6 අඩංගු සමබල ආහාර ගැනීම, ඒ සඳහා පලා වර්ග, ‘කඩල, මුං ඇට, කව්පි, පලතුරු වැනි දෑ ආහාරයට එක් කර ගත යුතුය. ආගමික කටයුතුවල යෙදී සිත සන්සුන් කර ගැනීමද වැදගත්ය.රුධිරයේ සීරොටොනින් මට්ටම ඉහළ දමන ඖෂධ, වේදනා නාශක, විටමින් වර්ග සිරුරෙන් ජලය ඉවත් කරන ඖෂධ (Diuretics) ප්‍රතිකාර ලෙස භාවිත වේ.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>