TT Ads

ජීවිතය කියන ප්‍රශ්න පත්‍රයට මිනිසුන් විවිධාකාර විදියට පිළිතුරු සපයනවා. සමහරු ලියන පිළිතුරු හරියටම හරි. සමහරු ලියන පිළිතුරු වැරදියි. ඒ විතරක් නමෛයි, තමන් ජීවත්වන සමාජ පසුබිම අනුව, තමන් කරන කියන ජීවන වෘත්තිය අනුවත් මේ ලෝකේ ජීවත් වන හැම දෙනාටම ලැබෙන ප්‍රශ්න පත්තරය වෙනස් වෙනවා. තමන්ගේ වටිනාකම හරියටම දන්නවා නම් ඔය කියන ප්‍රශ්න පත්තරයත් හරියටම තෝරාගෙන කල්පනාවෙන් පිළිතුරු ලියන්නට පුළුවන්.

තමන්ගේ වටිනාකම අපි හරියටම තේරුම් ගන්නේ කොහොමද? ඔන්න ඔය ප්‍රශ්නයට මම අද පුංචි කතාවක් කියන්නම්.
දවසක් පුංචි දරුවෙක් තමන්ගේ සීයා ළඟට ගියා. ඒ ගිහින් මෙහෙම ඇහුවා.

සීයේ ජීවිතේකට වටිනාකමක් තියෙනවද? අනේ සීයේ මගේ ජීවිතේ වටිනාකම කීයද? ටික වෙලාවක් මේ පුංචි දරුවා දිහා බලාගෙන හිටපු සීයා ගේ ඇතුළට ගිහින් රතුපාට ගලක් මිට මොලවාගෙන ආවා. ඊට පස්සේ ඒ ගල පුංචි දරුවා අතට දීලා මෙන්න මෙහෙම කිව්වා.

පුතා ගිහින් මේ ග‍ලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න…. හැබැයි මේ ගල කාටවත් දෙන්නවත්, විකුණන්නවත් එපා ඔන්න දැන් මේ පුංචි දරුවා මේ ගලත් අරන් නගරය පැත්තට දිව්වා. ඒ යනකොට මුලින්ම දැක්කේ දොඩම් වෙළෙන්දෙක්.
මාමේ මේ ගල කීයක් වෙනවාද? පුංචි දරුවා දොඩම් වෙළෙන්දාට රතු පාට ගල පෙන්වලා එහෙම ඇහුවා.

දොඩම් වෙළෙන්දත් ඒ ගල අතට අරගෙන හොඳට බැලුවා. රතු පාටට යන්තමින් දිලිසෙන මේ ගල ගැන දොඩම් වෙළෙන්දාට පුංචි සැකයකුත් ඇති වුණා.

මේ ගල මට දුන්නොත් මම දෙන්නම් පුතාට දොඩම් ගෙඩි දුසිමක්
දොඩම් වෙළෙන්දා එහෙම කිව්වා

ස්තූතියි මාමේ…, ඒත් සීයා කිව්වා මේ ගල කාටවත් දෙන්න එපා කියලා…. එහෙම කියපු දරුවා තව ටිකක් ඉස්සරහට ගියා. ඒ යනකොට පුංචි දරුවාට හමුවුණේ එළවළු වෙළෙන්දෙක්.

මාමේ මේ ගල කීයක් වෙයිද?

එළවළු වෙළෙන්දන් මේ ගල අරගෙන එහෙට මෙහෙට පෙරළ පෙරළා බැලුවා.
පුතා මට මේක විකුණන්නද යන්නේ…. මම මේකට දෙන්නම් එළවළු ගෝනියක්ම. පුංචි දරුවාට එළවළු වෙළෙන්දා එහෙම කිව්වා.

ස්තූතියි මාමේ…. ඒත් සීයා මට කිව්වා මේ ගල කාටවත් විකුණන්න එපා කියලා. එහෙම කියපු දරුවා තවත් ඉස්සරහට ඇවිදගෙන ගියා. ඒ යනකොට කඩපේළියක් දැක්කා. මේ කඩපේළිය ළඟ ආභරණ වෙළෙන්දෙක් හිටියා. පුංචි දරුවා ආභරණ වෙළෙන්දා ළඟට කිට්ටු වෙලා ආයෙමත් අර ග‍ලේ වටිනාකම දැනගන්න හිතුවා. මාමේ මේ ගල කොච්චරක් විතර වටිනවාද? ආභරණ වෙළෙන්දා ගල අතට අරන් පරීක්ෂා කරන්න ගත්තා.

හ්ම්… මම මේකට දෙන්නම් ලක්ෂ දහයක් පුංචි දරුවා ආභරණ වෙළෙන්දාට ස්තූති කරලා අනිත් අයට දුන් උත්තරයම දීලා පිටත් වෙන්න හැදුවා.

හා… හා… දරුවා යන්න එපා. මම ලක්ෂ දහයට අමතරව තව රත්තරන් මාල දෙකකුත් දෙන්නම්. ඔය ගල මට දීලා යන්න
නෑ මාමේ මට ඕන වුණේ මේ ග‍ලේ වටිනාකම දැන ගන්න විතරයි…

එහෙම කියපු පුංචි දරුවා ආභරණ වෙළෙන්දාටත් අත වනලා හයියෙන් දුවන්න ගත්තා. ඔහොම දුවගෙන යනකොට මැණික් මිලදී ගනු ලැබේ කියලා සඳහන් කළ පුවරුවක් මේ පුංචි දරුවා දැක්කා.

මම මෙතනටත් ගිහින් මේ ග‍ලේ වටිනාකම දැන ගන්නවා.

එහෙම හිතපු පුංචි දරුවා මැණික් සාප්පුව ඇතුළට ගියා.

මාමේ මගේ ළඟ ලස්සන ගලක් තියෙනවා. මාමට කියන්න පුළුවන්ද මේ ගල කොච්චර විතර වටිනවාද කියලා මැණික් සාප්පුවේ හිටපු වයසක වෙළෙන්දා පුංචි දරුවා දීපු රතුපාට ගල ඒ මේ අත පෙරළමින් පරීක්ෂා කළා. කළුවර තැනකට ගිහින් ටෝච් එකක් ගහලත් බැලුවා. ඊට පස්සේ ඇවිදින් ඒ ගල ආයෙමත් පුංචි දරුවාගේ අතටම දුන්නා.

කවුද මේ ගල පුතාට දුන්නේ?
මගේ සීයා

පුතේ මේ ගල වටිනා රතු මැණිකක්. මේ රතු කැටේ ගන්න මගේ ළඟ තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි. පුතා පරිස්සමින් මේ ගල අරගෙන ගිහින් සීයාටම දෙන්න… මතක තියාගන්න පුතා මේ ගල ගොඩක් වටිනවා.

එහෙම කියපු මැණික් වෙළෙන්දා කුරුල්ලෙක් වගේ සතුටින් පියඹලා යන පුංචි දරුවා නොපෙනී යනතුරුම ඇස්පිල්ලන් ගහන්නේ නැතිව බලාගෙන සිටියා.

පුංචි දරුවා තමන්ගේ ගමන නිමා කරලා සීයා ළඟට දුවගෙන ආවේ හරිම සතුටින්.
පුතේ කියන්න බලන්න… මොකද වුණේ

දරුවා තමන්ට හමුවුණු අය…. ඔවුන් කියපු දේවල්… මේ හැම දෙයක්ම සීයාට කිව්වා. ඊට පස්සේ සීයාගෙන් මෙන්න මෙහෙම ඇහුවා… ඉතින් සීයේ කියන්න… මගේ ජීවිතේ වටිනාකම කීයද?

එතකොට සීයා මෙන්න මේ විදියේ උත්තරයක් දුන්නා.

ඒකට උත්තරය තමයි පුතේ ඔයා ඔය හොයාගෙන ආවේ. එක එක්කෙනා ඒගොල්ලන්ගේ දැනුමේ හැටියට, ඒ ගොල්ලන්ගේ විශ්වාසේ හැටියට ඔයාගේ ජීවිතේ මිල තීරණය කරයි. සමහරු කියයි ඔයාගේ කිසිම වටිනාකමක් නෑ කියලා. සමහරු ඔයා ගැන හරි හැටි නොදැන පුංචි වටිනාකමක් කියයි. ඒත් කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ හරි වටිනාකම කියලා දෙයි. ඔයා කොච්චර වටිනා කෙනෙක්ද කියලා ඔයාටම පෙන්වලා දෙයි. ඒ නිසා ඔයා ඔයාවම විශ්වාස කරන්න. ඔයාවම අගය කරන්න…. ඔයාගේ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා. කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්නත් එපා…

මේ කතාව මම අද ඔබට කිව්වේ ඔබේ ජීවිතේ වටිනාකමත් කාටවත් තීරණය කරන්න ඉඩ තියන්න එපා කියලා කියන්නයි. ඔබේ ජීවිතේ වටිනාකම ඔබම තීරණය කරන්න

 

ගීත් ගුණසේකර

 

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>