TT Ads

ස්ටේ‍රච් මාක්ස් එහෙමත් නැතිනම් සම ඇදීම නිසා ඒ මත හටගන්නා ඉරිතැලු‍ණු ස්වභාවයෙන් යුතු ඇදීම් ලකුණු ඇතිවෙන්නේ වැඩිහිටියන්ගේ හා ගර්භණී කාන්තාවන්ගේ විතරයි කියලයි හුඟක්දෙනා හිතාගෙන ඉන්නේ. ඒ නිසා යොවුන් වියේදීත් මේ කියන කරදරකාරී තත්ත්වය ඇතිවෙන්න පුළු‍වන් කියන එක බහුතරයකට පුදුමයක් වෙන්න පුළු‍වන්. සම වර්ධනය වෙනවාට වඩා වේගයෙන් සිරුරේ වර්ධනය සිදුවෙනකොට ඇතිවෙන මේ කියන ස්ටේ‍රච් මාර්ක්ස් යොවුන් වියේදී සිදුවන තවත් එක් ස්වාභාවික ශාරීරික වෙනස්කමක් කියලා ඔබේ තරුණ දියණිවරුවන්ට කියලා දෙන එක මවක් විදියට ඔබගේ වගකීමක්. ඒ විතරක් නෙවෙයි සුන්දරත්වය ගැන වෙනදාට වඩා සැලකිලිමත්වෙන මේ කාලයේදී ඇතිවෙන, සිරුර අවලස්සන කරවන මේ වගේ ලකුණු නිසා ඔබේ දරුවා මානසිකව සිත්තැවුලට පත්වීම වළක්වා ගැනීමත් වැදගත් වෙනවා. අන්න ඒ නිසයි අද අපි මේ ස්ටේ‍රච් මාර්ක්ස් ගැන කතා කරන්න හිතුවේ.

කොහොමද මේ කියන ස්ටේ‍රච් මාර්ක්ස් ඇතිවෙන්නේ ?

සිරුර වේගයෙන් වර්ධනය වෙද්දී, ප්‍රමාණයෙන් වැඩිවන මාංශපේශිවලට ඉඩකඩ සලසන්න ඒ හා සමාන වේගයකින්ම සමත් ඇදිලා වර්ධනය වෙන්න ඕනෑ. නමුත් සිරුරේ සිදුවන මේ ශීඝ්‍ර වර්ධනය කෙටි කාල පරාසයක් තුළ වේගයෙන් සිදුවන වර්ධනයක් වෙනකොට, සමට ඒ හා සමාන වේගයකින් ඇදෙන්න සිදුවීම අසීරු කටයුත්තක්. එහෙම වේගයෙන් ඇදෙන්න සම උත්සාහ ගැනීමේ ප්‍රතිඵලය තමයි සම තැනින් තැන ඉරෙන එක. මේ ඉරීම සිදුවෙන්නේ සමේ මතුපිට ස්ථරය හා ගැඹුරින්ම පිහිටි ස්ථරයට අතරමැදිව පිහිටි චර්මය කියන කොටසේ. එහෙම සම ඉරුනම සමේ ඇතුළතින්ම පිහිටි ස්ථර බාහිරට දිස්වෙන්නේ ඉරිතැලීම් විදියටයි. මේවා තමයි අපි ස්ටේ‍රච් මාර්ක්ස් කියලා හඳුන්වන්නේ. සිරුරේ වර්ධනය වේගයෙන් සිදුවන කලවා, පියයුරු, උදරය හා තට්ටම්වල මේ ස්ටේ‍රච් මාර්ක්ස් බහුලව දැකගන්න පුළුවන්.

කලවා හා පියයුරුවල ඇතිවන ස්ටේ‍රච් මාර්ක්ස්

යොවුන් වියේදී පහළ වන ද්විතියික ලිංගික ලක්ෂණ සමඟ, සිරුරේ මාංශපේශිවල ශීඝ්‍ර වර්ධනයක් හා ක්‍රියාකාරීත්වයක් සිදුවන කොටස් තමයි කලවා හා පියයුරු කියන්නේ. රතු, සුදු වගේම රෝස පැහැයෙනුත් මේ ඉරිතැලීම් හටගන්න ඉඩ තියෙනවා.

පිට, ඉණ, තුනටිය හා අත්වල ඉහළ කොටසේ  ඇතිවන ස්ටේ‍රච් මාර්ක්ස්

ශීඝ්‍ර වර්ධනයත් සමඟ සිදුවන සිරුරේ බර වැඩිවීම වගේම ශීඝ්‍රයෙන් බර අඩුවීමත් මේ කියන ස්ථානවල ඉරිතැලීම් ලකුණු හටගන්න බලපාන හේතුවක්.

උදරය, උකුල, උරහිස්, තට්ටම් හා දෙපාවල කෙණ්ඩා පෙදෙස්

සිරුරේ සිදුවන ශීඝ්‍ර වර්ධනය ස්ටේ‍රච් මාර්ක්ස් ඇතිවෙන ලොකුම හේතුව කියලා කිව්වට ජානමය සාධකවල බලපෑමත් මේකට එක හේතුවක් වෙනවා. ඊට අමතරව ස්ටෙරොයිඩ හා කෝර්ටිසෝන් කාණ්ඩයේ ක්‍රීම්වර්ග මාත්‍රාව ඉක්මවා භාවිත කිරීම නිසාත් මෙවැනි ඉරිතැලීම් මෙවැනි ස්ථානවල සම මත හටගන්න ඉඩ තියෙනවා.

යොවුන්වියේ ස්ටේ‍රච් මාර්ක්ස්වලට පිළියම් මොනවාද ?

වැඩිහිටි අයට නම් මේවා එතරම් දේවල් නොවුණට යොවුන්වියේ සිටින තරුණියන්ට නම් මේවා දැවෙන ප්‍රශ්න. විශේෂයෙන්ම වෙන කවරදාටවත් වඩා තමන්ගේ පෙනුම හා රූසපුව කෙරෙහි අවධානය යොමුකරන කාලයක ඇතිවෙන මෙවැනි අවලස්සන සලකුණු නිසා එයාලගේ ආත්ම විශ්වාසයට එල්ලවෙන්නේ ලොකු පහරක්. මේ නිසාම වැඩිහිටියෙකු ලෙස මේවාට ප්‍රතිකාර කරන අතරම දරුවාගේ පෞරුෂයට හා ආත්ම විශ්වාසයට බලපෑමක් එල්ලනොවෙන හැටියට වගබලා ගන්නත් ඔබට වගකීමක් තියෙනවා. දරුවා සමඟ විවෘතව කතාකරමින් ඔබේ අත්දැකීමුත් එයාලා සමඟ බෙදාගැනීම මීට උදව්වක් වේවි.

දිනපතා ව්‍යායාමවල නිරතවීම

නිරෝගි සුන්දර සිරුරක පැවැත්මට වගේම මේ කාලයේදී ඇතිවන ස්ටේ‍රච් මාර්ක්ස් සෑහෙන දුරට පාලනය කරගන්නත් දිනපතා ව්‍යායාමවල නිරතවීම අත්‍යවශ්‍යයි. එමඟින් අනවශ්‍ය ලෙස සිරුරේ බර වැඩිවීම පාලනය කරනවා වගේම මේදය තැන්පත්වීමත් අවම කරනවා. ව්‍යයාම මඟින් සිරුරේ තානය (ටෝනින් ) පවත්වාගෙන යාමට ලැබෙන උදව්ව නිසා ස්ටේ‍රච් මාර්ක්ස් සුවවෙලා යන්නේ ඉබේටමයි.

සිරුරේ තෙතමනය හා පෝෂණය මනාව පවත්වා ගැනීම

සිරුරේ දෛනික තරල අවශ්‍යතාවට සරිලන ලෙස ප්‍රමාණවත් පරිදි වතුර පානය කිරීම ඉතාම වැදගත්. එමඟින් සම වඩාත් සුමුදු හා සුනම්‍ය තත්ත්වයට පත්කරන නිසා ස්ටේ‍රච් මාර්ක්ස් මැකී යන්නත් ඉවහල් වෙනවා. දිනකට වතුර වීදුරු 8 -12 ක් පමණ පානය කිරීමට දරුවාව පුරුදු කරවන්න. ඒ වගේම වෙනදාටත් වඩා හොඳ පෝෂණයක් ඕනෑකරන මේ කාලයේදී විටමින් ඒ හා සී අඩංගු ආහාර වර්ගත් යහමින් ලබාගැනීම වැදගත්. මේ කියන විටමින් වර්ගවලට පුළුවන් ස්ටේ‍රච් මාර්ක්ස් සුවකිරිමට අත්‍යවශ්‍ය කොලැජන් හා ඉලාස්ටින් කියන සංඝටක සිරුර තුළ නිපදවන්න. දොඩම්, ග්‍රේප්ෆෘට්, පේර, වගේ පලතුරු වර්ගවල මේ කියන විටමින් හොඳහැටි තියෙනවා.

විටමින් ඊ අඩංගු තෙල් හා ආලේපකරන ඖෂධ වර්ග

වෛද්‍යවරයෙකුගේ අනුමැතිය මත වෙළඳපොළන් මිලදීගත හැකි ස්ටේ‍රච් මාර්ක් වෙනුවෙන්ම නිෂ්පාදිත ආලේපනයක් භාවිත කිරීමෙනුත් කඩිනම් සහනයක් ලබාගන්න බැරි කමක් නැහැ. ඊට අමතරව විටමින් ඊ අඩංගු තෙල් වර්ගයක් හෝ හොඳ මොයිස්චර්රයිසර් වර්ගයක් මෙවැනි ඉරිතැලීම් මත ආලේප කොට හොඳින් සම්බාහනය කිරීමෙනුත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. මින් සමේ ඇදෙන සුලු‍ බව වැඩිවෙන නිසා ස්ටේ‍රච් මාර්ක්ස් ඇතිවෙන්න කලින්ම ඒවා වළක්වා ගන්නත් උදව්වක් වේවි.

රුක්ලන්ති පෙරේරා

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>