TT Ads

” හෙලෝ සමන්ත මහත්තය නේද

ඔව්

මම කතා කරන්නේ එම් ඕ එච් එකේ ඩොක්ටර් කෙනෙක්

ඇයි ඩොක්ටර්

මහත්තයා ගිය පහලොස් වෙනිදා ගෙදර අයත් එක්ක සමනල හෝටලයට ගියා නේද ?

ඔව්

පොඩි පණිවිඩයක් තියෙනවා , එදා ඒ හෝටලේ හිටපු කෙනෙක් ට කොරෝනා රෝගය තියෙනවා කියලා ටෙස්ට් එක පොසිටිව් වෙලා තියෙනවා. ඒ කියන්නේ මහත්තයාට වගේම ගෙදර අයටත් ලෙඩේ හැදෙන්න අවදානමක් තියෙනවා තේරුනාද ? ”

මේ විදිහටම හරි මීට ටිකක් වෙනස් විදිහකට හරි මේ කියන දුරකතන ඇමතුම ලඟදිම ඔබටත් ලැබෙන්න පුලුවන්. එහෙම වුනොත් මොකද කරන්නෙ ?

මුලින්ම කියන්න තියෙන්නෙ බය වෙන්න එපා. එහෙම වුනා කියලා අනිවාර්යයෙන් ම ලෙඩේ හැදෙන්නෙ නෑ.

කෙනෙක් ගෙ ඇඟට කොරෝනා වෛරසය ආවම ඒ වෛරසය ඇඟ ඇතුලෙ බෝවෙන්න පටන් ගන්නව. ඊට පස්සෙ දවස් කීපයකින් එයාට ලෙඩේ හැදෙනවා. වෛරසය ඇඟට ඇතුලු වෙලා දවස් එකත් – දාහතරත් ඇතුළත එයාට උණ කැස්ස උගුරේ වේදනාව වගේ රෝග ලක්ෂණ මතු වෙන්න පුලුවන්. දැනට තියෙන තොරතුරු වලට අනුව වෛරසය ඇඟට ඇවිල්ලා දවස් පහක් හතක් වගේ කාලෙකින් තමයි ගොඩ දෙනෙකුට රෝග ලක්ශන එන්න පටන් අරන් තියෙන්නෙ.

වෛරසය ඇඟට ඇවිත් දවස් කීපයකින් ඒ කෙනා එයාගෙ කැස්සත් එක්ක වෛරසය එලියට දානවා, ඒ කියන්නෙ අනිත් අයට ලෙඩේ බෝ කරනවා. මතක තියාගන්න. මෙහෙම ලෙඩේ බෝ කරන එක රෝග ලක්ශන එන්න කලින්ම වෙන්න පුලුවන්. වෙන විදිහකට කියනවා නම් කිසිම ලෙඩ ගතියක් , කැස්සක් උණක් නැති කෙනෙක් ගෙන් උනත් ලෙඩේ බෝ වෙන්න පුලුවන්. හැබැයි එහෙම වෙන්න එයාට අඩි තුනකට වඩා කිට්ටු වුන අයටයි එයා අවට ඉඳල අත සෝඅදන්නෙ නැතුව මූන අල්ලපු අයටයි විතරයි.

ඉතින් කවුරු හරි කෙනෙක් ට රෝගය තියෙනව කියල දැනගත්තම සෞඛ්‍ය අංශ ඒ රෝගියා පහුගිය සති 2ක කාලය තුල ආගිය තැන් සහ හමුවුනු අයව හොයනවා. හොයල මේ කාරනාව දැනුම් දෙනවා. දැනුම් දීල කියනවා ඔබට ඒ කියන රෝගියා මුන්ගැසුනු දවසෙ ඉඳලා දවස් දාහතරක් ස්ව්‍යං නිරෝධායනය වෙන්න කියලා.

ඉතින් මොකද්ද මේ ස්ව‍යං නිරෝධායනය කියන්නේ. සරලවම කිවුවොත් ස්ව‍යං නිරෝධායනය කියන්නේ එලියට යන්නෙ නැතිව ගෙදරට වෙලා ඉන්න එකට. හැබැයි ටිකක් වෙනස් විදිහට. අපි බලමු මොකද්ද ඒ වෙනස් විදිහ කියලා.

මුලින්ම තමන් ගේ ඇතුලට වෙලා ඉන්න ඔනෙ කවද වෙනකල් ද කියල හරියටම හොයාගන්න. අදාල රෝගියා මුනගැහුනෙ පලවෙනිදා නම් දාහතර වෙනිදා වෙනකල් ගේ ඇතුලට වෙලා ඉන්න ඕනෙ.

වෙනම කාමරයක් තියාගන්න . ඒ කාමරේ ඇතුලට වෙලා ඉන්න. ඒ කාමරේට වෙන කාටවත්ම එන්න දෙන්න එපා.

ගෙදර වයසින් වැඩි අය වගේම දියවැඩියාව ප්‍රෙශර් එක වගේ ලෙඩ තියෙන අය ඉන්නව නම් ඒ අය පුලුවන් තරම් ඈත් කරල තියන්න.

වෙනම වැසිකිලියක් තියෙනවා නම් හොඳයි. ඒත් හැමෝටම එහෙම වෙනම වැසිකිලි නැති නිසා අදාල කෙනා පාවිච්චි කරාට පස්සෙ වැසිකිලිය , පයිප්ප කරාම වගේ දේවල් සබන් දියරයක් දාලා හෝදලාදමන්න. සබන් ශැම්පු වගේ දේවල් වෙනම තියාගන්න. හවුලේ පාවිච්චි කරන්න එපා

ගෙදරට කාටවත්ම එන්න දෙන්න එපා. සති දෙකක් ඉවසන්න

කෑම පිඟන්, කෝප්ප , තුවා , වගේ දේවල් වෙනම තියාගන්න . හවුලේ පාවිච්චි කරන එක නතර කරන්න.

තුවා , ඇඳ ඇතිරිලි වගේ දේවල් සබන් සහ වතුරෙන් සෝද දමන්න.

ගෙදර හැමෝම එකිනෙකාගෙන් මීටරයක දුරක් තියගන්න පුලුවන් හැම වෙලාවකම.

හැමෝම පැයකට සැරයක් වත් සබන් දාල තත්පර විස්සක් විතර අත් සෝදන්න.

තමන්ගෙ මුහුන අල්ලන එක හිතල අඩු කරගන්න. සාමාන්‍ය කෙනෙක් පැයකට විසි පාරක් විතර නොදැනුව්ත්වම මූන අල්ලනවා.

මුහුනු ආවරනයක් එහෙමත් නැත්ටම් ෆේස් මාස්ක් එකක් දාගන්න. අදාල කෙනා විතරක් දාගත්තම ඇති. ගෙදර අනිත් අය දාන්න ඔනෙ නෑ. හැබැයි පාවිච්චි කරපු මුහුනු ආවරන වෙනම එකතු කරල පුච්චලා දාන්න ඕනෙ.

ඔන්න ඔහොම ඉන්න අතරෙ දවසට දෙපාරක් විතර උණ කටුවකින් උණ බලාගන්න. මේක තමන් ම කරගන්න.

ඔන්න ඔහොම ඉන්න අතරෙ බැරි වෙලාවත් උණ ගතියක් , කැස්සක් , උගුරෙ අමාරුවක් , හුස්ම ගන්න අමාරු ගතියක් ආවොත් වහාම , වහාම කියනෙ වහාම PHI  මහතාට හරි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දන්වන්න.

තවත් එක දෙයක් , අඩුම තරමේ මේ දවස් ටිකට හරි සිගරට් අරක්කු පාවිච්චිය නවත්තලා දාන්න

ඔබ මේ දේවල් හරියට පිලිපදිනවද කියන දේ වගේම ඔබේ සෞඛ්‍ය තත්වය කොහොමද කියල බලන්න විටින් විට කවුරු හරි නිලදාරියෙක් එන්න හරි දුරකතනයෙන් අමතන්න හරි පුලුවන්. හැබැයි ඒ නිසා නෙවෙයි ඔබත් ඔබේ පවුලේ අයත් අවට අයත් හැමෝම මේ ලෙඩෙන් බේරගන්න පුලුවන් ක්‍රමය ම කියන දේවල් පිලිපදින එක නිසා මේ දේවල් පුලුවන් තරම් හරියට කරන්න.

ඇයි මෙහෙම කරන්න කියන්නෙ ?

රෝගය පැතිරෙන්නෙ කෙනාගෙන් කෙනාට. එක්කෙනෙක් තුන් දෙන්නෙකුට බෝවුනොත්

දවස් පහකින්
පළවෙනියගෙන් තුන් දෙනෙකුට
තව දවස් පහ කින්
ඒ තුන් දෙනාගෙන් තව නව දෙනෙකුට
තවත් දවස් පහකින්
ඒ නව දෙනාගෙන් තව විසි හත් දෙනෙකුට
තව දවස් පහකින්
ඒ විසිහත් දෙනාගෙන් තව අසූ එක්දෙනෙකුට
තව දවස් පහකින්
ඒ අසූ එක් දෙනාගෙන් තව දෙසිය හතලිස් තුන් දෙනකුට
තව දවස් පහකින්
ඒ දෙසිය හතලිස් තුන් දෙන ගෙන් තව හත්සිය විසි නව දෙනෙකුට

ඒ කියන්නෙ මාසයකින් 1 + 3+ 9 + 27 + 81 + 243 + 729 = 1093

මේ අංකයේ එක්ක දැනගන්න උවමනා අනිත් කාරණය තමයි මුලු ලංකාවටම අපිට තියෙන්නෙ දැඩිසත්කාර ඒකක වල ඇඳන් 500 විතර වීම කියන එක.

තත්වය කොයි තරම් සංකීර්නද කියන එක තේරුම් ගන්න ඕනෙ නම් මෙන්න මේ කාරණය ගැන හිතන්න. කොරෝන කියලා හඳුනාගත්හ එක රෝගියෙක් නැවිත්ලා හිටපු හෝටලයක එදා සේවය කරල තියෙන සේවකයන් ගනන විතරක් 51ක් . මේවෙනකොට ඔවුන් ගෙන් හදුනාගත්ත අය ඔය කියන විදිහෙ ස්ව‍යං නිරෝධායනයක ඉන්නව. මම හිතන්නෙ ඔබට තේරෙනව. අර මම කලින් ලියල තියෙන ඉලක්කම් පේලියෙ තුනේ ඉලක්කම තියෙන තැනට පනහ දාල බලන්න. ඒක එහෙමම නොවෙන්න පුලුවන්. හැබැයි සැබෑ අවදානම තමයි ඒ.

ඒත් හිතන්න ඔබ අර මම පෙන්නලා තියෙන රෝගීන් පෝලිමෙ පළවෙනි තුන්දෙනාගෙන් කෙනෙක් කියලා. ඔබ ඔය කියන දේ උනන්දුවෙන් කලා කියලා. එතකොට ඔබට ලෙඩේ හැදුනත් ඔබෙන් කාටවත් ම ලෙඩේ හැදෙන්නෙ නෑ. එතකොට පලවෙනි කෙනාගෙන් ලෙඩේ තුන් දෙනෙකුට හැදුනත් ඒ තුන් දෙනාගෙන් ලෙඩේ හැදෙන්නෙ තවත් හය දෙනෙකුට විතරයි. එහෙම වුනොත් මොකද වෙන්නෙ බලමු.

දවස් පහකින්
පළවෙනියගෙන් තුන් දෙනෙකුට
තව දවස් පහකින්
ඒ තුන් දෙනාගෙන් තව හය දෙනෙකුට දෙනෙකුට
( මොකද ඔයගෙන් කාටවත් ලෙඩේ බෝ නොවෙන්න ඔය වග බලා ගත්තා )
තවත් දවස් පහකින්
ඒ හය දෙනාගෙන් තව දහ අට දෙනෙකුට
තව දවස් පහකින්
ඒ දහ අට දෙනාගෙන් තව පනස් හතර දෙනෙකුට
තව දවස් පහකින්
ඒ පනස් හතර දෙනාගෙන් තව එකසිය හැට දෙන්නෙකුට
තව දවස් පහකින්
ඒ එකසිය හැට දෙන්න ගෙන් තව හාරසිය අසූ හය දෙනෙකුට

ඒ කියන්නෙ මාසයකින් 1 + 2 + 6 + 18 + 54 + 162 + 486 = 729

ඒ කියන්නෙ ඔබ තනියම තව තුන්සිය හැට හතර ( 1093 – 729 = 364) දෙනෙකුට ලේඩේ හැදෙන එක නවත්තලා.

ඔබ ඒ කියන හෝටලයෙ සේවකයෙක් වුනත් , නැවතිලා හිටිය කෙනෙක් වුනත් ඔබ අමුත්තන් සමග මීටරයකට වඩා ලං වෙන්න ගියේ නැති නම් , නිතර අත් සේදුවා නම්, හෝටලයේ හිටපු කාලය තුල මුහුන ඇල්ලුවේ නැති නම් කවුරු කෝල් කරලා මොනව කිවුවත් ඔබට රෝගය හැදෙන්න තියෙන ඉඩ කඩ ඉතාම අඩුයි. හැබැයි එහෙම කියලා නිරෝදායනය නොවී ඉන්න බෑ. මොකද එහෙම කරන්න ඔබ නීතියෙන්ම බැඳී ඉන්නව.

තවත් දෙයක්, ඔබට පණිවිඩේ ලැබුනට පස්සෙ ඔබ ට ඒ මොහොතෙම මේ වැඩේ පටන් ගන්න වෙනව. එහෙම නැතුව එදා රෑ විවෙකයෙන් ඉඳල පහුවදා ගෙදර අයත් එක්ක එකතු වෙලා කාමරේ අස් කරල පහුවදා හවස කාමරේ ට යන්න බෑ. කාමරේ ඉන්නකොට රූපවාහිනියෙ තමන් කැමති වැඩසටහනක් යනකොට ඒක බලන්න දුවගෙන එන්න බෑ.

ඒ වගේම ගෙදර නිරෝධායනයට ලක්වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ සති දෙක සතුටින් ගතකරන්න උදවු කරන්න. රූපවාහිනිය එයාගෙ කාමරේට දාල දෙන්න. එයාට පොත් කීපයක් දෙන්න. හැබැයි සති දෙක ගිහින් ආපහු පිරිසිදු කරල ගන්නකල් ඒදේවල් පොදුවේ පාවිච්චි කරන්න එපා.

අන්තිමට කියන්න තියෙන්නෙ මේ තියෙන තත්වය අනුව ඕනම කෙනෙක් ට ඔනෙම වෙලාවක මේ දේ සිද්ද වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් අය ගෙදර කාමරයක් ඒ සඳහා සූදානම් කරල තියාගන්න. එතකොට කලබලයක් නෑ. මොකද ඔබ වඩ කරන තැනට රෝගියෙක් එන්න පුලුවන්. ඔබ යන වාහනේ රෝගියෙක් යන්න පුලුවන්. ඒ නිසා ඕනෙම වෙලාවක ඔබට අර කෝල් එක එන්න පුලුවන්. මේක කියවනවෙලාවෙ ඔබේ දුරකතනය ට නොදන්නා අංකයකින් ඇමතුමක් එනව නම් ඒ මම කියපු දුරකතන ඇමතුම වෙන්නත් පුලුවන්.

හැබැයි වැදගත්ම දේ ඔය එකක් වත් නෙවෙයි : ඔබට ඔබ ගැන පොඩි හරි සැකයක් තියෙනවා නම් ඔබේ ඇඟේ වෛරසය තියෙනවා කියලා හිතෙනවා නම් , ඔබගෙන් ඔබේ පවුලෙම කෙනෙක්ට ලෙඩේ බෝ වෙනවට , ඔබේ වයසක දෙමවුපියන් ගෙ ජීවිත අවධානමේ වැටෙනවට අකමැති නම් ඔබට මේ දේ කරන්න වෙන කවුරුවත් කෝල් කරනකල් ඉන්න ඕනෙ නෑ. ඔබට තනිවම නිරෝධායනය වෙන්න පුලුවන්.

වෛද්‍ය නුවන් තොටවත්ත

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>