TT Ads

ඔබට යම් සිතිවිල්ලක් ඇති වන විට ඔබේ සිතේ සිටින හොඳ පුද්ගලයා සහ නරක පුද්ගලයා අතර විවිධ තර්ක විතර්ක, වාද විවාද ඇතිවේ. මෙහිදී මේ දෙදෙනාගෙන් කෙනකු අවසානයේ දිනන අතර අපේ සිත වඩාත්ම බර කෙලෙස්වලට නිසා වැඩිපුරම දිනන්නේ නරක පුද්ගලයාය.

ඔබ මඳක් විවේකීව සිටින මොහොතක ඔබේම සිතිවිලි කෙරෙහි අවධානය යොමු කළ හැකිදැයි මඳක් සිතා බලන්න.

මුලින්ම අපි සිතිවිලි වෙන් කර ගනිමු. මේවා හොඳ සිතිවිලි සහ නරක සිතිවිලි වශයෙන් දෙවර්ගයකි. මෙහිදී හොඳ සිතිවිලි පැත්තට හැරෙන තැනැත්තා හොඳ සිතිවිලිවල රූකඩයක් වන අතර නරක සිතිවිලි පැත්තට යන තැනැත්තා නරක සිතිවිලිවල රූකඩයක් වෙයි.

දැන් ඔබ ඉදිරියේ ගැටලුවක් තිබේ.
එනම් ඔබ මෙයින් රූකඩයක් වී සිටින්නේ කොහේද යන්නය. හිතට එකඟව අවංකව සිතා බැලුවොත් ඔබ වැඩිපුරම රූකඩයක් වී සිටින්නේ නරක සිතිවිලිවල බව පැහැදිලි වනු ඇත.

මෙයට ඇති විසඳුම කුමක්ද?

කළ හැක්කේ සිතට නරක සිතිවිලි එන විට එහි රූකඩයක් හෙවත් වහලකු නොවී හිඳීමය. එය ඔබම කළ යුතු සහ ඔබටම කළ හැකි දෙයක් මිස වෙන කාටවත් ඔබ වෙනුවෙන් කළ හැකි දෙයක් නොවේ. එය කළ හැක්කේ කෙසේදැයි අපි විමසා බලමු.

“මට මේ වෙලාවෙ සිගරැට් එකක් බොන්න තිබුණා නම් හොඳයි.”

කිසියම් මෙහොතක ඔබ තුළ මෙවැනි සිතිවිල්ලක් සිතට නැගුනේ යැයි සිතමු. මේ සිතිවිල්ල ඔබට ඇති වුණේ එයින් ඔබට කිසියම් ආශ්වාදයක් ලැබෙන්නේ යැයි ඔබ විශ්වාස කරන නිසාය. හරි, ඔබට ආශ්වාදයක් ලැබෙන්නට බැරි කමක් නැත. නමුත් මොහොතක් කල්පනා කර බලන්න. එයින් ඔබට ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? ඒ වෙනුවෙන් ඔබට නිකරුණේ මුදලක් වැය කරන්නට සිදුවේ. එය හරියටම බැලුවොත් ඒ මුදල් නෝට්ටුව ගින්දරට අල්ලා පුළුස්සා දැමීමක් හා සමානය. ඊළඟට එමගින් ඔබේ ශරීරයට දැනෙන වාසිය කුමක්ද? ඔබට අංශු මාත්‍රයකින්වත් යහපතක් වෙනවාද? කිසිසේත්ම නැත. දුම්පානය යනු රෝගවලට අත වැනීමක් බව දැන් පාසල් යන කුඩා දරුවන් පවා දන්නා කාරණයකි. එසේ නම් ඒ රෝග ඔබ අකාලයේ මරු වසඟයට කැඳවා ගෙන යාමේ කාර්යයද නොමසුරුව භාර ගනු ඇත. හරි එයත් අපි පැත්තකින් තබමු. ඔබ පවසන අන්දමට දුම්වැටියක් ඉරීමෙන් ඔබට ආශ්වාදයක් ලැබේ. හොඳයි එහෙනම් ඒ කොපමණ වේලාවකටද? දවසක් තිබිය හැකිද? නැත. එසේ නම් දවස් භාගයක්? ඒත් නැත. අඩුම තරමින් පැයක් ….? ඒත් නොමැත. එසේ නම් ඉතාම සුළු වේලාවක් තුළ විඳින්නට ලැබෙන ආශ්වාදයක් වෙනුවෙන් ඔබ මුදල් නෝට්ටුවකුත් පුළුස්සා අකාලයේ මරු තුරුලට යා හැකි මාවතකුත් එළි පෙහෙළි කර ගෙන තිබේ. මේ ව්‍යසනය ගැන බුද්ධිමත්ව සිතා සිගරැට්ටුවක් දල්වාගන්නට ඔබේ සිත ඔබට කළ යෝජනාවේදී ඊට අවනත නොවී සිටීමට ඔබට හැකි වූවා නම් ඔබේ සිතට ඔබව රූකඩයක් කර ගැනීමට හැකි වන්නේ නැත.

මේ ආකාරයට ඔබට යම් සිතිවිල්ලක් ඇති වන විට ඔබේ සිතේ සිටින හොඳ පුද්ගලයා සහ නරක පුද්ගලයා අතර විවිධ තර්ක විතර්ක, වාද විවාද ඇතිවේ. මෙහිදී මේ දෙදෙනාගෙන් කෙනකු අවසානයේ දිනන අතර අපේ සිත වඩාත්ම බර කෙලෙස්වලට නිසා වැඩිපුරම දිනන්නේ නරක පුද්ගලයාය. මෙහිදී නරක පුද්ගලයාට අනුව ක්‍රියාත්මක වීම සඳහා ඉක්මන් වන්නේ නැතිව එම නරක සිතිවිල්ලට චෝදනා කරමින් ඔබට ඉන් මිදෙන්නට හැකි නම් නරක සිතිවිලි ක්‍රියාත්මක වීමට තිබෙන ඉඩකඩ අහුරා දැමිය හැකිය.

බුද්ධ කාලයේ සැවැත්නුවර නංගලකුල නම් දිළිඳු තැනැත්තකු සිටියේය. දිරාගිය රෙදි කඩක් ඇඳ නිතර නගුලක් කර තබාගෙන ගිය හෙයින් නංගුලකුල නම් වූ ඔහු අනුන්ට බැල මෙහෙවර කර කීයක් හෝ උපයා ගනිමින් ජීවත් විය. දිනක් එක් භික්ෂුන් වහන්සේ නමකට අතරමගදී නංගුලකුල හමුවිය.

“මෙහෙම දුක් විඳ විඳ ජීවත් වෙනවාට වඩා මහණ වෙන්න කැමති නැද්දැයි” උන්වහන්සේ නංගුලකුලගෙන් විමසුවේ ඔහු කෙරෙහි හට ගත් අනුකම්පාව නිසාමය.

“මහණ වෙන්න තියනව නම් හොඳයි. ඒත් කවුද හාමුදුරුවනේ මාව මහණ කරන්නේ” නංගුලකුල කීය.
“මං මහණ කරන්නම්. කැමැත්ත තියනව නම් යමු.”

නංගලකුල ඒ ස්වාමින් වහන්සේ පසුපසින් විහාරස්ථානයට ගියේය.

පසුව ඔහු හොඳින් නහවා පිරිසිදු කොට ඒ මොහොතේදීම සිවුරු අන්දවා මහණ කරනු ලැබිණි. නංගලකුල හිමියන්ගේ නගුල සමග ඇඳ උන් දිරා ගිය රෙදිකඩ විහාරස්ථානයේ ගසක එල්ලනු ලැබීය.

නමුත් නංගලකුල හිමියන්ට නිතරම සිතුණේ තමන් මේ අඳින වස්ත්‍ර සිවුරු පිරිකර, වළඳන ආහාර පාන කිසිවක් තමන්ට අයත් නැති බවය. ඒ සියල්ල තමන්ට ලැබෙන්නේ බුදු හිමියන් නිසා බැවින් ඒවා පරිහරණය කිරීම තමන්ට නොගැළපෙන්නක් යැයි සිතූ නංගලකුල හිමියෝ සිවුර හැර යන්නට සිතා නගුලත් රෙදි කඩත් එල්ලා තිබූ ගස ළඟට පැමිණියහ.

“මං ගිහි ඇඳුම අයින් කරලා පැවිදි වුණේ මොකටද? මහණදම් පුරන්න නේද? සසර දුකෙන් මිදෙන එක නේද මගෙ අරමුණ වුණේ? එහෙනම් ඇයි මං ආපහු යන්න හදන්නේ.”

මෙසේ සිතූ නංගලකුල හිමියෝ සිවුරු අරින අදහස අතහැර ආපසු හැරුණහ.

යළිත් ටික දවසක් සිටින විට උන්වහන්සේට දැනෙන්නේ තමන් මේ ගත කරන්නේ තමන්ට අකැප ජීවිතයක් ලෙසිනි. යළිත් සිවුරු අරින අදහසින් නගුල සහ රෙදිකඩ එල්ලා තිබෙන ගස ළඟට පැමිණෙන එම හිමියෝ යළිත් වරක් එම අදහස අතහැර ආපසු හැරුණහ.

මෙසේ නංගලකුල හිමියෝ දිනපතාම දිනකට කිහිප වතාවක් නගුල සහ රෙදිකඩ එල්ලා තිබෙන ගස ළඟට ගොස් මද වෙලාවක් කල්පා කරමින් හිඳ ආපසු හැරී ඒම එම විහාරස්ථානයේ සෙසු භික්ෂුන්වහන්සේලාගේ අවධානයට ලක් විය.

“මොකද ඔබ වහන්සේ ගහ ළඟට යනවා. කල්පනා කර කර ඉන්නවා. ආයෙත් ආපහු එනවා. ආයෙ ඊළඟ දවසෙදීත් ඒ විදිහටම කරනවා.”
උන්වහන්සේලා නංගලකුල හිමියන්ගෙන් විමසූහ.

“මගේ ගුරුවරයා ඉන්නේ එතන” නංගලකුල හිමියන් දුන් පිළිතුර එය විය.

නංගලකුල හිමියන්ගේ තිබූ වටිනා ගුණයක් වූයේ තමන්ගේ සිතට නැගෙන සිතිවිල්ල පසු පස ලුහු නොබැඳීමයි. සිවුරු හැර යන අදහස උන්වහන්සේ පරාජය කළේ එය වැරදි සිතිවිල්ලක් බව වටහා ගෙන එයට චෝදනා කරමිනි. ගහ ළඟට ගිය හැම වතාවකම ආපසු ආවේ ඒ නිසාය. එසේ තමන්ගේ සිතිවිල්ලට තමන්ම චෝදනා කර ආපසු නොහැරුණා නම් උන්වහන්සේ සිවුරු හැර ගොස් බොහෝ කල්ය. මේ අයුරින් නගුල සහ රෙදිකඩ දෙස බලා හිඳ ඒ ඔස්සේම සත්‍යය අවබෝධ කරගෙන අවසානයේ නංගලකුල හිමියෝ රහත්ඵලයට පැමිණියහ. ඉන්පසු උන්වහන්සේ යළිත් ගස ළඟට ගියේ නැත.

“දැන් ඔබ වහන්සේගේ ගුරුවරයා නැද්ද?” එවිට සෙසු භික්ෂුහු විමසූහ.

“ගුරුවරයාගෙන් ලබන්න තියන උපරිම ප්‍රයෝජන මං ගත්තා. ඒ නිසා තව දුරටත් එතනට යන්න අවශ්‍ය නෑ” නංගලකුල හිමියෝ කීහ.

මේ පුවත බුදුරජාණන් වහන්සේටද සැල විය.

“නංගලකුල හිමියන් සත්‍යාවබෝධය ලබලයි තියෙන්නේ. ඒ තමන්ගේ සිතේ ඇති වූ වැරදි සිතිවිලිවලට චෝදනා කරලයි.”

බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර එයයි.

මෙලෙස ඔබ රූකඩයක්ව හිඳින්නේ ඔබ තුළ පවතින හොඳ සිතිවිලිවලද නරක සිතිවිලිවලද යන්න ඔබම ප්‍රඥාවෙන් සිතා බලන්න. එවිට ඔබට නරක සිතිවිලිවලට ගැති නොවී හොඳ සිතිවිලිවල රූකඩයක් වීමට හැකි වනු ඇත.

මහරගම සිරි වජිරඥාන ධර්මායතනවාසී පූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද හිමිපාණෝ අවධාරණය කරති

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>