TT Ads

 

මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලය කරා ඔසවා තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් අතර, ශ්‍රියානි කුලවංශගේ නමද ඉදිරියෙන්ම කියැවෙන්නකි. මීටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව නියෝජනය කළ ඇය දකුණු ආසියානු, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය ආදී අන්තර්ජාතික ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට රන්, රිදී, සහ ලෝකඩ පදක්කම් රැසක් දිනා දීමට සමත් වූවාය. ඇය මීටර් 100 කඩුළු මතින් දිවීමේ ඉසව්ව සඳහා සිය හොඳම කාලය වූ තත්පර 12.91 වාර්තා කළේ 1996 ඇට්ලන්ටා ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදීය. ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් අභිමානයක් ගෙන දුන් ශ්‍රියානි කුලවංශගේ නම තවත් ඉදිරියට ගෙන යන්නට දැන් ඇගේ දියණියද ක්‍රීඩා පිටියේ හපන්කම් පෙන්නන්නට පටන්ගෙන තිබේ. කවදා හෝ දිනක ඇයත් තමන්ගේ අම්මා මෙන් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගෙන යයිද? ඒ ගැන කියන්නට ශ්‍රියානිටත් කතාවක් තිබේ.

 

■ එදා ක්‍රීඩිකාවක් ලෙසින් ලංකාවට ජයග්‍රහණ රැසක් අත්පත් කරදුන් ඔබ අද මොනවද කරන්නේ කියන තැනින් අපි මේ කතා බහ ආරම්භ කරමු.
මම ක්‍රීඩාවෙන් සමු අරන් දැන් අවුරුදු 15කටත් වැඩියි. තරගකාරී ක්‍රීඩාවෙන් සමුගත්තත් මම අදටත් ක්‍රීඩාවට සම්බන්ධයි. මම දැනට අධ්‍යාපන අමාත්‍යාංශයේ කළමනාකාරිනියක් ලෙස සේවය කරනවා. එම අමාත්‍යාංශය හරහා සංවිධානය කෙරෙන සියලුම ක්‍රීඩා තරග සඳහා මගේ දායකත්වය ලැබෙනවා. ඒ වගේම මම පුහුණුකාරිනියක්. ඊට අමතරව, මෙතෙක් ඔලිම්පික් තරග සඳහා සහභාගි වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ීරස ඛ්බන් ධකහපචස්බි සංගමයේ සභාපතිනිය ලෙසත් මම දැනට කටයුතු කරනවා. මේ නිසා එදා මා සමග ක්‍රීඩා කළ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මට මුණ ගැසෙනවා. අදටත් ක්‍රීඩාව ගැන මගේ දැනුම මම නිතරම අලුත් කර ගන්නවා.
■ ක්‍රීඩාපිටියෙන් සමු අරන් වසර 15කට පස්සේ, ලංකාවේ වර්තමාන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දිහා බලද්දී ඔබට සතුටු වෙන්න පුළුවන්ද?
පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඉන්දියාවත් අභිභවමින් ජයග්‍රහණ ලබා ගන්න අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. ඒ ගැන මට සතුටුවෙන්න පුළුවන්. නමුත් දැන් දකුණු ආසියානු මට්ටමින් ඔබ්බට යන්න අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි විය යුතුයි. 1990 ඉඳන් 2004 – 2005 පමණ වනතුරු ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලීය, ආසියා සහ දකුණු ආසියානු තරග ජයග්‍රහණ ලබා ගන්න අපේ රටට පුළුවන්කම ලැබුණා. නමුත් 2018 ආසියානු ක්‍රීඩා උළෙලේදී එකම පදක්කමක්වත් අපට ලැබුණේ නැහැ. ඒ ගැන මට තියෙන්නේ කනගාටුවක්. 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලැබුණේ මලල ක්‍රීඩාවලින් නෙවෙයි, අනෙකුත් ක්‍රීඩාවලින්. අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මීළඟ ඉලක්කය විය යුත්තේ ආසියානු ක්‍රීඩා ජයග්‍රහණයි. ඒ සඳහා දීර්ඝ කාලීන සැලැස්මකට අනුව පුහුණු වුණොත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. නමුත් ඒ ගැන කතා බහ කරද්දී කනගාටුවෙන් වුණත් සිහිපත් කළ යුතුම කාරණාවක් තියෙනවා.
■ ඒ මොකක්ද?
විනය කියන දේ ක්‍රීඩාවේදී ඉතාම වැදගත්. අපේ ක්‍රීඩාව පසුබෑමට ලක්වෙන්න එක් හේතුවක් තමයි ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ විනයක් නැතිකම. විනය කියලා මෙහිදී මම අදහස් කරන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු වීමේ කාලය තුළ ඒ සඳහා මොනතරම් කැපවීමක් කරනවාද කියන කාරණයයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නේවාසිකාගාරවලට සහ ක්‍රීඩාංගණවලට ගිය අවස්ථාවලදි මම දැකපු දෙයක් තමයි, අපේ කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පුහුණුවීම් අතරතුර දුරකථන කනේ තියාගෙනයි ඉන්නේ. එහෙමත් නැත්නම් තවත් යාළුවෙක් එක්ක ෆේස්බුක් බලනවා. මේ නිසා පුහුණුව ගැන නිසි අවධානයක් ඔවුන්ට නැහැ. මේ හේතුවෙන් පුහුණුව අතරතුර බොහෝ විට ඔවුන් ආබාධවලටත් ලක්වෙන්න පුළුවන්. ඒ වගේම පුහුණුවීම්වලදී පුහුණුකරු බලාපොරොත්තු වෙන විදියේ දක්ෂතා පෙන්වන්නත් ඔවුන්ට බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි, පුහුණුකරු පිට්ටනියට එන්නේ හයට නම් අද කාලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිට්ටනියට එන්නේ හයහමාරට. ඒක නෙවෙයි විය යුත්තේ. අපේ කාලේ අපි ලබාගත් ජයග්‍රහණවලට ප්‍රධානම හේතුව වුණේ විනය. අපි ඒ කාලේ පුහුණුකරුට කලින් ක්‍රීඩාංගණයට ඇවිත්, අපට අවශ්‍ය උපකරණ සූදානම් කරගෙන, එදා දවසේ අපට පුහුණුවීම්වලදී කරන්න තියෙන දේවල් ගැන භාවනාවක් වගේ මෙනෙහි කරනවා. ඒ වගේම තමයි මම දන්නවා සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් අවසානයේ ගත යුතු විවේකයවත් හරියට ගන්නේ නැහැ. එහෙම වුණාමත් ඔවුන් පහසුවෙන් ආබාධවලට ලක්වෙනවා.


■ අපේ රටේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරමින්වත් ජයග්‍රහණ ලබා ගත්තේ ප්‍රමාණවත් තරමේ පහසුකම් නැතිවයි කියලා නැගෙන චෝදනාවත් බැහැර කරන්න බැහැ නේද?
අපේ ක්‍රීඩක ක්‍රීඩකාවන්ට අවශ්‍ය තරම් පහසුකම් නෑ කියන කාරණය මම පිළිගන්නවා. මොකද, ඔවුන්ට පුහුණුවීම් සඳහා තියෙන්නේ සුගතදාස ක්‍රීඩාංගණය විතරයි. මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයත් කැඩිලා තිබිලා දැන් යථා තත්ත්වයට පත් කරමිනුයි තියෙන්නේ. මම විශ්වාස කරන විදිහට, ඉදිරි කාලයේදී ලංකාවේ හැම පළාතකම ක්‍රීඩාංගණයක්, කෘත්‍රිම ධාවන පථයක් හෝ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකරලා යටිතල පහසුකම් දියුණු කළොත් ඒ තුළින් තවත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමට පුළුවන්කම ලැබේවි.
මේ යටිතල පහසුකම් පිළිබඳ ගැටලුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මොනම හෝ ක්‍රීඩාවක් රටේ සංස්කෘතික අංගයක් බවට පත්වෙන තැනට පත් කරන්න නම් ඒ සඳහා රජයේ අනුග්‍රහය ලැබිය යුතුමයි. ක්‍රීඩාවෙන්, ව්‍යායාමවලින් ශාරීරික යෝග්‍යතාවය වර්ධනය වෙනවා විතරක් නෙවෙයි. බෝ නොවන රෝගවලින් වැළකී සිටින්නත් එය දායක වෙනවා. රජයකට සෞඛ්‍ය සඳහා යන වියදමත් ඒ හරහා අඩු කර ගන්න පුළුවන්. ක්‍රීඩා කළ හැකි ස්ථාන ප්‍රමාණවත් තරම් තියෙනවා නම් ජනතාව වැඩිපුර ක්‍රීඩාව පැත්තට යොමු වෙනවා. ඒ නිසා ක්‍රීඩාංගණ වසා දමනවා වෙනුවට, ක්‍රීඩා කළ හැකි ස්ථාන සහ ඇවිදින මංතීරු ආදිය වැඩිවැඩියෙන් විවෘත කරන්න රජය යොමු වෙනවා නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පමණක් නෙවෙයි, සමස්ත ජනතාවගේම යහපතටත් රටේ සංවර්ධනයටත් ඒක ඉවහල්වේවි කියලයි මම හිතන්නේ.
■ ඔබේ දියණියත් දැන් ඔබ එදා තරග වැදුණු ඉසව්වෙන්ම දක්ෂතා පෙන්වමින් සිටිනවා. ක්‍රීඩාවෙන් ඇය යන ගමන ගැන ඔබට මොනවද හිතෙන්නේ?
දුවගේ නම රනුති කුලවංශ ෆොන්සේකා. ඇගේ වයස අවුරුදු 14යි. ඉගෙන ගන්නේ කොළඹ විශාඛා විද්‍යාලයේ. මෑතකදී දුව සමස්ත ලංකා කනිෂ්ඨ තරගාවලියකදී කඩුළු පැනීමෙන් දෙවැනි ස්ථානය දිනා ගත්තා. මමත් ඔය වයසේදී කඩුළු පැනලා නැහැ. අද වන විට ඇය පෙන්වන දක්ෂතාවල හැටියට මට විශ්වාසයක් තියෙනවා වයස අවුරුදු 20-21 වෙද්දී ඇය මටත් වඩා දක්ෂ, ඒ වගේම රටට ගෞරවයක් අත්කර දෙන විදිහේ ක්‍රීඩිකාවක් බවට පත්වේවි කියලා.
■ ඔබ නම් දැරූ මලල ක්‍රීඩිකාවක් නිසා ඔබේ දියණියත් කවදා හෝ දක්ෂ ක්‍රීඩිකාවක් බවට පත් කළ යුතුයි කියලා බලාපොරොත්තුවක් ඔබ තුළ තිබුණාද?
කොහෙත්ම නැහැ. ඒ වගේම පොඩිම කාලේ දුවටත් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමේ අදහසක් තිබුණේ නැහැ. නමුත් මම ඇගේ ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීම සඳහා ඇයව ක්‍රීඩාංගණයට එක්කර ගෙන ගියා. පාසලේ නිවාසාන්තර තරගවලිනුත් ඇය ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලබා ගත්තා. පසුව මම හඳුනාගත්තා ඇයට තියෙන්නේ කඩුළු පැනීම සඳහා ගැළපෙන ශරීරයක් බව. ඒ නිසා ඇය දිවීම පුහුණු වෙද්දී මම ඉදිරියෙන් කඩුළු ටිකක් තියලා බැලුවා ඇයට ඒ දේ කරන්න පුළුවන්ද කියලා. ඒකෙන් ඇය සාර්ථක වුණා. දැන් ඇය ඒක ටිකෙන් ටික ප්‍රගුණ කරමින් සිටිනවා.
■ දුවගේ දක්‍ෂතා ගැන තාත්තා මොනවද කියන්නේ?
මගේ සැමියාත් ක්‍රීඩකයෙක්. ඔහු දැනටත් පුහුණුකරුවෙක් විදිහට කටයුතු කරනවා. ඔහු ගොඩක් සතුටු වෙනවා දුව දක්‍ෂතා දක්වමින් ක්‍රීඩාවෙන් සාර්ථක ගමනක් යන එක ගැන.
■ අද තිබෙන තරගකාරි අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන්ට ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව කරගෙන යාම තරමක් අපහසුයි. ඔබේ දරුවාට ඒ අභියෝගය ජය ගැනීමට ඔබ මග පෙන්වන්නේ කොහොමද?
ක්‍රීඩාව සහ අධ්‍යාපනය කියන දෙකම සමබරව කරගෙන යෑම ඉතාම වැදගත්. මෙතරම් හොඳට ක්‍රීඩාව කළත් අධ්‍යාපනය හරිහැටි නොකළොත් වැඩක් නැහැ. ක්‍රීඩිකාවක් සහ පුහුණුකාරිනියක් විදිහට මට තිබෙන අත්දැකීම්වලට අනුව මට පුළුවන් මගේ දරුවාගේ පසුපසින් ඉඳලා ඒ දෙකම සමබරව කරගෙන යාමට උපදෙස් ලබා දෙන්න. නමුත් රටේ අනිත් දරුවන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන විශාල බව නිසා දරුවන්ට බොහෝ විට ක්‍රීඩාව මග හැරෙනවා. ක්‍රීඩාව දිගටම කරගෙන යනවා නම් පුහුණුවීම් කටයුතු නිසා එයින් අධ්‍යාපනයට යම්කිසි බලපෑමක් එල්ල වෙනවා. මේ නිසා ක්‍රීඩාවෙන් ඉදිරියට යන දරුවන්ට විශ්වවිද්‍යාල ආදියට ඇතුළත්වීමේදී යම් කිසි විශේෂත්වයක් ලබාදීමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් රජය ඉදිරියේදී ගත්තොත් ඒ දරුවන්ට නිදහසේ තමන්නේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව කරගෙන යන්න පුළුවන් වේවි. දරුවන් වෙනුවෙන් මට කියන්න තියෙන්නේ අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබරව කරගෙන යන්න අපහසුයි. නමුත් ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි කියන එකයි.
■ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක්, පුහුණුකාරිනියක් වගේම මවක් විදිහට දෙමව්පියන් වෙනුවෙන් ඔබට යමක් කියන්නට තිබෙනවාද?
අපේ රටේ සෑම දෙමව්පියකුගෙන්ම මම කරන ඉල්ලීම තමයි තමන්ගේ දරුවා යම්කිසි ක්‍රියාකාරකමක යොදවන්න කියන කාරණය. මොකද අද බොහෝ දරුවන් ක්‍රියාකාරිත්වයක් නැතිවීම නිසා බෝ නොවන රෝගවලට බිලි වෙනවා. එයින් දෙමව්පියනුත් පීඩාවට පත්වෙනවා. අපි රටට දායාද කරන්න ඕනෑ නිරෝගි දරුවෙක්. කොච්චර අධ්‍යාපනයෙන් ඉහළට ගියත් නිරෝගි බව නැත්නම් ලෙඩෙක් තමයි අන්තිමේදි බිහි වෙන්නේ. ඒ නිසා ශරීර යෝග්‍යතාවය නිසි පරිදි පවත්වා ගැනීම සඳහා දරුවන් ව්‍යායාමවල සහ ක්‍රීඩාවන්හි යෙදවීම අත්‍යවශ්‍ය කාරණයක් බව දෙමවුපියන් සිහියේ තබාගත යුතුමයි.
■ අවසන් වරට අසන මේ ප්‍රශ්නයට මා ඔබෙන් කෙළින් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ජවය සහ වේගය අතින් කිසියම් හෝ දිනක ඔබේ දියණිය ඔබව පරාජයට පත් කරාවිද?
අනිවාර්යයෙන්ම මා ඇයට පරදීවි. “මා ඇගේ අම්මා” කියන සතුටින් එදාට මම හිනැහේවී.

කිෂාන් කනංකෙ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>