TT Ads

 

2018 වසරේ ආබාධ සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය එසේත් නැතිනම්  International Day of Persons with Disabilities  යෙදී තිබුණේ දෙසැම්බර් මස 3 වනදා ට ය. එදින ආබාධ සහිත වූවන් සඳහා ලොව වටා විවිධ ආකාරයෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණි. මේ අතරින් වැදගත් තැනත් ගනු ලැබුවේ උගන්ඩාවේ පවත්වනු ලැබූ අපූර්ව වැඩසටහනකි. මෙය සංවිධානය කර තිබුණේ Malengo Foundation නම් වූ පදනමක් මගිනි. මලෙන්ගෝ පදනම අප‍්‍රිකානු රටවල් සියල්ලම එකට එක්ව පිහිටුවා ගන්නා ලද්දක් වූ අතර මෙමගින් අප‍්‍රිකානු රටවල ආබාධ සහිත වූවන් සඳහා අගනා සේවාවක්   ඉටු කරනු ලබයි. මෙම පදනම මගින් මෙතෙක් සංවිධානය කර තිබුණේ ආබාධ සහිත වූවන් හට ලෝක වැසියන්ගේ අවධානය ලැබිය යුතු බවත් ඔවුන්ට උපකාර කළ යුතු බවත් හැගවෙන කාර්යයන් ය. නමුත් මෙවර ඔවුන් සංවිධානය කර තිබුණේ ආබාධ සහිත වූවන් ට අගනා ජීවිතයක් ඇති බව ලොවට පවසන ආකාරයේ වැඩසටහනකි.

ඒ ආකාරයට පටන් ගත් මෙම වැඩසටහන මෙම වසරේ ද අති සාර්ථක ලෙස පවත්වනු ලැබිණි. ඒ ලෝකයේ රටවල් 12 ක ආබාධිත පුද්ගලයින් 100 කට වැඩි පිරිසකගේ නිර්මාණ දායකත්වයෙන් සහ සහභාගිත්වයෙනි. මෙය විලාසිතා නිරූපණ සංදර්ශණයක් වූ අතර එහි විලාසිතා නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා සහභාගි වූ සියළුම නිරූපන ශිල්ප ශිල්පිණියන් ආබාධ සහිත වූවන් වූහ. සමහරුන් වේදිකාව වෙත පැමිණෙනු ලැබුවේ රෝද පුටුවෙනි. තවත් සමහරුන් අත්වාරුවල උපකාරයෙන් ඇවිද ආ අතර තවත් අය අඩි තුනකට වඩා උස නැති කුරු පුද්ගලයෝ වූහ. කිසිදු බාහිර ආබාධයකින් තොරව කැට් වෝක් නම් වූ ලැසි ගමනින් පැමිණ විලාසිතා නිර්මාණ ඉදිරිපත් කළ සමහර සුරූපී තරුණියන් එක්කෝ දෘෂ්‍යාබාධිත වූ අතර තවත් එවැනි තරුණියන් ශ‍්‍රවණාබාධ සහිත වූවන් විය. ඒ අතර ඩවුන්ස් සින්ඩ්‍රොම් නම් තත්වයෙන් පසුවූවන් ද ඇලි පුද්ගලයන් ද සිටිය හ.

කෙසේ වුවද මේ සියල්ලෝම තමන් කිසිදු ආකාරයක ආබාධයක් නැත්තවුන් මෙන් ඔවුන්ට පවරා තිබූ කාර්යය මනාව ඉටු කරනු ලැබීය. මෙය මෙම විලාසිතා නිරූපණ සංදර්ශණය, නැරඹීමට පැමිණ සිටි පිරිසගේ දැඩි අවධානයට ලක් වූ අතර මොවුන් ආබාධිත අය බවට හැගීමක් ඒ කිසිවකුත් තුළ ඇති නොවුණි. එයට හේතු වූයේ මොවුන් සියල්ලන්ම නිරෝගී නිරූපන ශිල්ප ශිල්පීන් මෙන් ඉතා තාත්වික ආකාරයට සිය කාර්යය කොටස ඉටු කොට තිබීමයි. මෙම නිරූපන විලාසිතා සංදර්ශණය නම් කර තිබුණේ Hot Pink Catwalk  නමිනි. ඉන් අර්ථ ගැන් වී තිබුණේ ”මොවුන්ගේ ලෝකය අඳුරු නැත, ඔබේ මෙන් රෝස පැහැයෙන් යුතු වර්ණවත් ලොවක් ඔවුන්ට ද  හිමි ය” යන්නයි.

දුලංජලී මුතුවාඩිගේ

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>