TT Ads

 යකඩ ඌනතාවය හෙවත් නීරක්තිය පාසල් දරුවෙකුට බලපෑම් කරන්නේ කොහොමද?

යකඩ ඌනතාවය හෙවත් නීරක්තියෙන් පෙළෙන දරුවෙකුගේ මතක ශක්තිය ඉක්මනින් දුර්වල වෙනවා. ඒ වගේම යකඩ ඌනතාවය ඉගෙන ගන්නා දරුවාගේ සංඥානන කුසලතාවයන් දිගින් දිගටම දුර්වල කරනවා. මේ නිසා දරුවාගේ අධ්‍යාපන කටයුතුවලදී, වගේම විෂය බාහිර කටයුතුවලදී, ක්‍රීඩා සහ විනෝදාත්මක කටයුතුවලදී පවා දරුවාගේ ක්‍රියාකාරකම් ඉතාම දුර්වල තත්ත්වයකට පත් කරනවා. දරුවාගේ බුද්ධි මට්ටම අඩු කිරීම සෘජුවම බලපාන සාධකයක් ලෙස යකඩ ඌනතාවය හඳුන්වා දිය හැකියි.

 යකඩ ඌනතාවයට බලපාන හේතු මොනවාද?
යකඩ ඌනතාවය ඇති වීමට හේතු කීපයක්ම බලපානවා. ඉන් ප්‍රධානතම හේතුව වන්නේ අපි එදිනෙදා ගන්නා ආහාරවල ප්‍රමාණවත් තරම් යකඩ කියන පෝෂණ සංඝටකය අඩංගු නොවීමයි. අද බහුතරයක් දරුවන් ක්ෂණික කෑම බීමවලට හුරුවී තිබීම මේ තත්ත්වයට ප්‍රධානම හේතුවයි.

ගෙදර හදන කෑමබීම වලට වඩා කඩකෑමවලට දරුවන් හුරුකරවීම බොහෝ මව්පියන් අතින් සිදුවෙන බරපතළ වරදක්. අනෙක් හේතුව වන්නේ අපි දිනපතා ගන්නා ආහාරවල අඩංගු යකඩ ප්‍රමාණවත් ලෙස ශරිරයට උරා නොගැනීමයි. මීට අමතරව කොකු පණු රෝගයෙන් පෙළෙන දරුවන්ටත්, දිගු කාලයක් අර්ශස් රෝගයෙන් පෙළෙන වැඩිහිටියන්ටත් (අධිකව රුධිරය පිටවීම නිසා) යකඩ ඌනතාවය හෙවත් රක්ත හීනතාවය ඇති වෙන්න පුළුවන්. මීටත් අමතරව මැලේරියා පරපෝෂිත ආසාදනයන් නිසාද කෙනෙකුට රක්ත හීනතාවය ඇති විය හැකියි. නීරක්තිය හෙවත් යකඩ ඌනතාවය ඕනෑම පුද්ගලයෙකුගේ පෝෂණයට හා සෞඛ්‍යයට ඉතාම අහිතකරයි. ගර්භණී මාතාවක් නීරක්තියෙන් පෙළෙනවානම් ඇයට උපදින දරුවාගේ උපත් බර අඩුවෙනවා. මෙවැනි දරුවන් බිලිඳු අවධියෙදීම හෝ ළමා අවධියේ දී බොහෝ දුරට මියයන්න පු`ඵවන්. ඒ වගේම තමයි දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයට, පාසල් අධ්‍යාපනයට, ශරීර සෞඛ්‍යයට නීරක්තිය හෙවත් යකඩ ඌනතාවය මගින් සිදුකරන්නේ ප්‍රබල හානියක්.

 යකඩ ඌනතාවයෙන් පෙළෙන කෙනෙක් හඳුනාගත හැකි රෝග ලක්ෂණ මොනවාද?
කාලයක් තිස්සේ පවතින ශාරීරික වෙහෙසකාරි බව, ශරීර ශක්තිය දුර්වල වීම, නිතර හිසරදයෙන් පෙළීම, හිසකරකැවිල්ල, පියගැට පෙළක් නැගීම, කෙටි දුරක් වුවත් පයින් ඇවිදගෙන යාම වැනි තත්ත්වයකදී පවා අධික වෙහෙසක් දැනීම, විනෝදවීමට වගේම ක්‍රීඩා කිරීමට පවා දක්වන උනන්දුව අඩුවීම, සමාජ සබඳතාවලින් මදින් මද ඈත් වීම ආදී රෝග ලක්ෂණ තුළින් යකඩ ඌනතාවයෙන් පෙළෙන දරුවෙක් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. දිගින් දිගටම යකඩ ඌනතාවයෙන් පෙළීමෙන් නීරක්තිය තවදුරටත් වර්ධනය වෙන ගමන්ම ඒ හා බැඳුණු රෝගි තත්ත්වයන් තවදුරටත් නරක අතට හැරෙනවා. යකඩ ඌනතාවයෙන් පෙළෙන දරුවෙකුගේ මොළයේ වර්ධනය පැහැදිලිවම අඩු වෙනවා.

 යකඩ ඌනතාවයෙන් මිදෙන්නේ කොහොමද?
මේ සඳහා මුලින්ම කළ යුත්තේ යකඩ යහමින් අඩංගු ආහාර නිරතුරුවම එදිනෙදා කෑම වේලට එක්කර ගැනීමයි. යකඩ යහමින් අඩංගු ආහාර බොහොමයක් තිබෙනවා. එම ආහාර කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. පළමු කොටසට අයත් වන්නේ, හීම් යකඩ අඩංගු ආහාරයි. ඉක්මනින් ශරීරයට යකඩ උරා ගන්නා ආහාරවල තමයි හීම් යකඩ අඩංගු වන්නේ. මස්, මා`ඵ, කරවල, හාල්මැස්සන් මේ ආහාර කාණ්ඩයට අයත් වෙනවා. දෙවන කොටසට අයත් වන්නේ හීම් නොවන යකඩ, අඩංගු ආහාරයි. මේ ආහාර වර්ග තුළින් අපේ ශරීරයට යකඩ උරාගන්නේ මදක් සෙමෙන්. කතුරු මුරුංගා, සාරණ, ගොටුකොළ, නිවිති, තම්පලා වැනි නැවුම් පලා වර්ග වගේම කොළ පැහැති නැවුම් එළවළු වර්ගත් බෝංචි, සෝයා බෝංචි, කඩල, මුංඇට, කව්පි, පරිප්පු, උඳු, සෝයා මීට් වැනි ආහාර වර්ගවලත් බිත්තර හා කිරි ආහාරවලත් හීම් නොවන යකඩ බහුලව අඩංගු වෙනවා. යම් හේතුවක් මත සමහර විට වැරදි ආහාර පුරුදු නිසා හීම් නොවන යකඩ අඩංගු ආහාරවල අන්තර්ගත යකඩ ශරීරයට උරා ගැනීමට බාධා ඇති කරන බව අපේ දරුවෝ වගේම වැඩිහිටියොත් දැනසීටිම බොහොම වැදගත් කාරණයක්.

කිර්ති එස්. කුමාර

TT Ads

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>